ඉස්ලාම් හා ලොව අනෙකුත් දහම් අතරේ ඇති ප්‍රධාන වෙනස්කම් 

ලොව සියළු දහම් මනුෂ්‍යය වර්ගයාව යහකම වෙත දිරිගන්වන අතර අයහකමින් දුරස්ථ වන්නට මඟ පෙන්වයි. මෙයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ අපගේ පුද්ගලික හා සමුහ ජීවිතයන් යහකම වෙත යොමු කරවන අතර අයහපතින් වැළකී සිටින්නට මාර්ගය පෙන්වාදෙයි. මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව මිනිසාගේ ස්වභාවය හා සමාජයේ ඇති සංකීර්ණතාව සැලකිල්ලට ගෙන මෙම කාර්යයට අවතීර්ණ වෙයි. මේ හේතුවෙන්ම ඉස්ලාමය ‘දීනුල් ෆිත්රා’ නොහොත් මිනිසාගේ ස්වභාවික ජීවන මඟ ලෙස හැඳින්වෙයි. 

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100:8).

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද? ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44).

“එහි (සිතෙහි) යහපත ද අයහපතද ඔහු(අල්ලාහ්) එයට කාවැද්දුවේය. කවුරුන් තමන් ව (තම සිත) පාරිශුද්ධ කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:8-10).

මිනිසාගේ තෘෂ්ණාව හා අනෙකුත් චෛතසික ආශාවන් හේතුවෙන් මිනිසා තිරිසන් හෝ ඉන් පහත් වූ තත්ත්වයකට පත්විය හැකි බව ඉහත වැකි දන්වයි. ඉහත අවසාන වැකියෙන් දන්වා ඇත්තේ මිනිස් සිතෙහි දැහැමි මෙන්ම දුෂ්ඨ හැකියාවන් දෙකම ඇති බවය. මෙයින් දුෂ්ඨකම් දුරලා දැහැමිකම ඇතිකර ගැනීම සඳහා සියළු ක්‍රියාවන් හි මූලය වූ සිත පිරිසිදු කර ගතයුතු බව දන්වයි. අපගේ සියළු ක්‍රියාවන් සඳහා පාලකයින් විවිධ ආයතන මගින් පත්කොට ඇත. නමුත් ක්‍රියාවේ මූලය වූ සිතට භෞතික පාලකයෙකු කිසිදු ආයතනයකින් පත්කළ නොහැක. එය තමන් විසින් ම කළයුතු ක්‍රියාවක් ව ඇත.

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

මිනිසාගේ සිතට පත්කර ගන්නා පාලකයා පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක.

එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකි ද? 

මෙම පාලකයා සත්‍යයක් ද නැතිනම් මිත්‍යාවක් ද? මෙම මාතෘකාව ද විශ්වාසය පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කර ගෙන සාකච්ඡා කළ හැක. මෙම පාලකයා පිළිබඳ සිතෙහි ඇති ධාරණය ඇතැම් විට මිනිස් ස්වභාවය අනුව අමතක වී යන අවස්ථා තිබිය හැක. එය එසේ නොවී මෙම පාලකයා පිළිබඳ විශ්වාසය සදා සවිඥානකත්ව තබා ගැනීම පිණිස ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමය මගින් පමණි.

මෙම විශ්වාසය නිරන්තර ව තහවුරු කොට මිනිසා ව යහකමේ ශ්‍රේෂ්ඨත්වයට ගෙන යා හැකි වැඩ පිළිවෙළක් තිබේ ද? දෛනික ව මෙන්ම නිශ්චිත කාල වකවානුවන්හි තම චෛතසිකය පිරිසිදු ව සම්මා මගක තබා ගැනීමට ඇති ප්‍රායෝගික ඉස්ලාමීය වැඩ පිළිවෙළ පිළිබඳ ව විමසා බලමු.

පළමුව දෛනික ව කළයුතු පස් වේල සලාතය වෙත අවධානය යොමු කරමු. 

“සැබැවින්ම සලාතය, ලැජ්ජා සහගත හා පාපතර ක්‍රියාවන්ගෙන් ඔබ ව ආරක්ෂා කරන්නේය” (29:45)
දෙවනුව වාර්ෂික ව මසක් පුරාවට රක්ෂා කළ යුතු උපවාස ශීලය සඳන් කළ හැක.

“විශ්වාස කළවුනි, නුඹලා බියබැතිමත් වීම පිණිස (දේව සවිඥානකත්වය ඇතිකර ගනු පිණිස) නුඹලාට පෙර වූවනට අනිවාර්ය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහිද උපවාසය අනිවාර්ය කරනු ලැබ ඇත.” (අල් කුර්ආන් 2:183).

තුන්වෙනුව වාර්ෂික ව ගෙවිය යුතු දානමය කටයුත්තක්වූ ‘සකාතය’ දැක්විය හැක.

“(නබිවරය) ඔවුන්ගේ වස්තුවෙන් දානමය කොටසක් (සදකාව) ගනිවු. එමගින් නුඹ ඔවුන් ව පිවිතුරු කරව. තව ද එය වර්ධනයක් ඇති කරයි” (අල් කුර්ආන් 9:103).

අවසන් වගකීම ලෙස ජීවිත කාලයටම වරක් අනිවාර්ය හජ් නැමදුම සඳහන් කළහැක. 

“හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් දන්නා වූ මාසයන්(හි)ය. කවරෙකු එහි හජ් අනිවාර්ය කර ගැනේ ද, ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් සඳහා) අවශ්‍ය කළමනා රැස්කර ගනිවු. සැබැවින් ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් කමය. තවද අවබෝධ කරගන්නනි, නුඹලා මා හට බියභක්තිමත් වවු”. (අල් කුර්ආන් 2:197).

මේ සියල්ලෙන් සිදුවන්නේ සිතට පත්කර ගන්නා ලද පාලකයා පිළිබඳ විශ්වාසය සවිඥානකත්ව තබා ගැනීම වෙයි. මෙම දේව සවිඥානකත්වය තුළින් මිනිසා සදා නිරීක්ෂණයට ලක්ව ඇති බව තහවුරු කර ගනී. මෙමගින් රහසිගත හා ප්‍රසිද්ධ යන චරිත දෙකක් තමාට ඇතිකර නොගෙන සදා දැහැමි ශ්‍රේෂ්ඨ ඒකීය චරිතයක් පමණක් ඇතිකර ගැනීමට මිනිසා ඉදිරිපත් වෙයි. ඉස්ලාමය විසින් යහකම උදන්වනවා පමණක් නොව එය සදා තම ජීවිතයේ ස්ථාපිත කරගැනීම සඳහා වූ ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද ඉහත දක්වා තිබු අයුරින් ඉදිරිපත් කරයි.

තවත් ප්‍රායෝගික උදාහරණ කිහිපයක් වෙත අවධානය යොමු කරමු. 

ඉස්ලාමය සොරකම තහනම් කොට ඇති අතර එයින් වැළකී සිටීමට අවශ්‍යය ප්‍රයෝගික මාර්ගය ද පෙන්වා දෙයි. ලොව සියළු දහම් සොරකම තහනම් කොට ඇත. ඉස්ලාමය ද එයම උගන්වයි. එසේ නම් ඉස්ලාම් හා අන් දහම් අතර ඇති වෙනස කුමක් ද?

1. ලොව සියළු දහම් සොරකම හෙවත් අන්සතු දෑ අනවසරයෙන් ගැනීම පාපකාරී ක්‍රියාවක් බව දක්වා ඇතත් ඉස්ලාමය විසින් මිනිසුන් සොරකමින් වැළකී සිටීමට අවශ්‍යය ප්‍රායෝගික සමාජ සැකසුම ඉදිරිපත් කොට ඇත.

2. ඉස්ලාමය විසින් ‘සකාත්’ නම් වූ දානමය වාර්ෂික දීමනාවක් අනිවාර්ය කොට ඇත. මේ අනුව රත්තරන් ග්‍රෑම් 85 කට වැඩි වත්කමක් වර්ෂයක් පුරාවට තමන් සතුව තිබුනේ නම් මුදල්. රත්තරන්, රිදී හා වාණිජ භාණ්ඩ සඳහා මුළු ප්‍රමාණයෙන් 2.5% ක් ගෙවිය යුතුය. වත්කම් හිමි සෑම අයෙකුම මෙම දානමය දීමනාව ගෙවන්නේ නම් ලොව දුගීකම සහමුලින්ම තුරන්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ඉස්ලාමීය රාජ්‍යයක් තුල මෙම මුදල් රැස්කිරීම සඳහා හා බෙදාදීම සඳහා ආයතන පිහිටවනු ලබන අතර එම මුදල් ලබා ගත හැකි පිරිස ද අල් කුර්ආනය පැහැදිලිව සඳහන් කොට ඇත. මෙලෙස දුගීකම තුරන්කිරීමේ ප්‍රායෝගික පිළිවෙතක් ඉස්ලාමීය ඉගැන්වීම් තුල දක්නට ඇත. මෙම තත්ත්වය තුල සොරකම් කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවී එම ප්‍රවනතාව ඉවත්ව යනු ඇත.

3. මෙම ක්‍රියාපිළිවෙත් සියල්ල ක්‍රියාත්මක කිරීමෙන් පසුව ද යමෙක් සොරකම් කරන්නේ නම් ඔහුට දඬුවම් දීම ගැන කිසිවෙකු නියත වශයෙන් ම විරුද්ධ නොවනු ඇත. අල් කුර්ආන් 5:38 වැකියෙන් මේ සඳහා දඬුවම් නියම කොට ඇත. සොරකම සඳහා අත කැපීම ඉස්ලාමීය නීතියේ අනුමත දඬුවමකි. නමුත් සියලුම ආකාරයේ සොරකම් සඳහා මෙම දඬුවම් ලබා දිය නොහැක. සොරකමට ලක් වූ වස්තුව අන් අයට පහසුවෙන් ළඟාවීමට නොහැකි අයුරින් සුරක්ෂිත ස්ථානයක තබා තිබුණු එකක් විය යුතුය. එමෙන්ම ඉතා සුළු සොරකම් සඳහා මෙම අත කැපීමේ දඬුවම ලබාදිය නොහැක. නිදසුනක් ලෙස රටේ දුර්භික්ෂයක් පවතින කාල වකවානුවක දී ආහාර සොරා ගැනීමට පවා මිනිසුන් පෙලඹීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් අවස්ථාවකදී මෙම නීතිය ක්‍රියාත්මක නොවේ. එමෙන්ම අදාල ඉස්ලාමීය පරිපාලනය විසින් සොරකමට භාජනය කරන වස්තුවේ අවම අගයක් නිර්ණය කර තිබිය යුතුය. අදාල දඬුවම දිය හැකි වන්නේ මෙම කොන්දේසි සියල්ල සම්පුර්ණ ව තිබුනොත් පමණි.

දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ඉස්ලාමීය පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.
මරණාසන්න තත්ත්වයේ පසුවන තම මවගේ ප්‍රතිකාර සඳහා ගෙවීමට ගෙනයන මුදල් අතරමග දී යමෙකු සොරකම් කරගත්තේ නම් ඔබ පත්වන්නේ කුමන අසරණභාවයකට ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙම දඬුවම් පිළිවෙතින් අපේක්ෂා කරන්නේ දඬුවමේ දැඩිකම මත මිනිසාව වැරදි මගට යොමු වීමෙන් වළකා ගැනීමය.
මීළඟට ඇති වැදගත් සාධකය නම් මිනිසා නොමඟ ගොස් දුරාචාරයේ යෙදී ලිංගික අපරාධ සිදුකිරීමට ඇති හැකියාවය. සියළු දහම් ලිංගික අපචාරයේ නොදෙන ලෙස දන්වා සිටී. නමුත් ඉස්ලාමය එසේ පවසන අතර එවැනි දෑ සිදුවිය හැකි වාතාවරණය ඉවත් කිරීමට කටයුතු කොට ඇත. ලිංගික හැඟීම් ඇතිවන්නේ සිතෙහිය. සිතට එවැනි හැඟීම් පුබුදු කරවන්නට පසිඳුරන්, විශේෂයෙන් ම දෑස බොහෝ දුරට දායක වෙයි. මෙය වළකා ගැනීම සඳහා ‘හිජාබය’ ඉස්ලාමය විසින් නියම කොට ඇත.

මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත්වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී.

ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු (motor nerve) ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරවයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම කායික වේදී ක්‍රියාදාමයෙන් මතු වන චිත්තාවේග මර්දනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එවන් අනිසි තත්ත්වයන් වළකා ගැනීම අරමුණු කොට ගෙනයි හිජාබය ඉස්ලාමයේ අනුමත කොට ඇත්තේ. මෙම හිජාබය පළමුවෙන් ම නියම කොට ඇත්තේ පිරිමින්ටය.

“ (නබිවරය) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරන මෙන් ද විශ්වාසවන්තයින්ට පවසවූ. එය නුඹලාට ඉතාමත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය”. (අල් කුර්ආන් 24:30).

හිජාබ් පිළිබඳ ව ස්ත්‍රීන්ට දන්වා ඇත්තේ ඊට පසු එන වැකියෙන් ය. මෙම සවිස්තරාත්මක දිග වැකියෙන් කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“(නබිවරය) පවසන්න, තවද තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරන මෙන් ද තමන්ගේ අලංකාරයන් එයින් බාහිර දේ හැර (සෙසු දෑ) හෙළි නොකරන මෙන් ද තමන්ගේ අලංකාරය ස්වාමි පුරුෂයින්ට හෝ තමන්ගේ පියවරුන්ට හෝ ….හැර අන් අයටහෙළි නොකරන මෙන්…” (අල් කුර්ආන් 24:31).

ස්ත්‍රියකගේ හිජාබය සම්පුර්ණ ශරීරයම වැසෙන පරිදි විය යුතුය. මුහුණ හා අතේ අත්ලේ සිට මැණික් කටුව දක්වා වූ පෙදෙස පමණක් නිරාවරණය කරගත හැක. නමුත් ඇතැම් ඉස්ලාමීය විද්වතුන්ගේ මතය වන්නේ මුහුණ ද ආවරණය කර ගත යුතු බවය.

ශාරීරික වශයෙන් පිරිමියාට වඩා දුබල ස්ත්‍රිය ලිංගික අතවරයන්ට හා අපචාරයන්ට ලක් නොවී ආරක්ෂා කර ගැනීම මෙම පිළිවෙතින් අපේක්ෂිත අරමුණයි. මහා කාරුණික අල්ලාහ් විසින් ස්ත්‍රීන්ට හිජාබය නියම කිරීම පහත සඳහන් අල් කුර්ආන් වැකියෙන් පැහැදිලි කොට ඇත.

“නබිවරය, නුඹගේ බිරියන්ට ද නුඹගේ දැරියන්ට ද විශ්වාසවන්තයින්ගේ කාන්තාවන්ට ද ඔවුන්ගේ උතුරුසළුව ඔවුන් මත (හිසේ සිට) එල්ලන්නට සලස්වන මෙන් පවසවූ. එය ඔවුන් හඳුනා ගනු ලැබීමටත් හිරිහැර වලට ලක්නොවීමටත් උචිත වන්නේය. තවද අල්ලාහ් අති ක්‍ෂමාශීලී පරම කරුණාභාරිත විය”. ( අල් කුර්ආන් 33:59).

අල් කුර්ආනය පවසන අන්දමට හිජාබය හේතුවෙන් ඔවුන් වඩා සංවරශීලී කාන්තාවන් බවට හඳුනා ගැනීමටත් මේ හේතුවෙන් අතවරයන්ගෙන් මිදී සිටීමටත් උචිත වන බවත්ය.

මෙම තත්ත්වය පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස උදාහරණයක් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. සමාන කාය අලංකාරයෙන් හෙබි නිවුන් සොයුරියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු හිජාබයෙන් ද අනිත් ස්ත්‍රිය දුටුවන් මන කළඹන මිනිගවුමකින් සැරසී මහමඟ ගමන් කරන්නේ යැයි මොහොතකට සිතමු. ස්ත්‍රීන්ට හිරිහැර කරන අදහසින් සිටින්නා වූ පිරිසකගෙන් කරදර සිදුවිය හැක්කේ සදාචාර සම්පන්න ලෙස හිජාබයෙන් සැරසී සිටින්නියට ද නැතිනම් මිනිගවුමකින් අන් පිරිමින්ගේ මනසේ නොසන්සුන්බවක් ඇති තත්ත්වයේ සිටින්නියට ද? පිළිතුර වඩාත් පැහැදිළිය. එනිසා අල් කුර්ආනය ස්ත්‍රීන්හට සිදුවිය හැකි හිරිහැර හා ගැහැට වලින් මිදෙන්නට හිජාබය උපකාරී වන බව පවසයි.

මේ සියල්ල අතික්‍රමණය කරමින් යමෙක් ලිංගික දුෂණයක යෙදුනේ නම් ඉස්ලාමීය අධිකරණයකින් ඔප්පු වුවහොත් මරණීය දඬුවම හිමිවනු ඇත. මේ ආකාරයෙන් යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වී සදාචාරාත්මක සමාජයක් ගොඩ නැඟීමට ඉස්ලාමීය පිළිවෙත් සකස් වී ඇත. අන් දහම් හා සසඳා බලන විට මෙවැනි බොහෝ හේතුන් මත ඉස්ලාමීය පිළිවෙත් අන් දහම් හා වෙනස් වෙයි. යමක් පැවසීම පමණක් නොව එය යථාර්ථයක් බවට පත් කිරීමේ ප්‍රායෝගික පිළිවෙතක් ඉස්ලාමයේ අන්තර්ගතව තිබීම එහි ප්‍රධානතම හේතුවයි.

By: අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *