සෑම දහමකටම ආවේනිකවූ ලක්ෂණයක් ඇත. ඉස්ලාමයේ එම ලක්ෂණය නිහතමානිකමයි. මිනිස් ජීවිතය ජය ගැනීම සඳහා නිහතමානිකම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම නිහතමානිකම නබිවරුන් ලඟද උසස් ගතිගුණ ඇති මිනිසුන් ලඟද දැක ගත හැකිය. කෙනෙකුගේ නිහතමානිකම නිසා ඔහු දෙවියන් ඉදිරියේද මිනිසුන් ඉදිරියේද ගෞරවයට පාත්‍ර වනු ඇත. ඔවුන් ගැන අල්කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.
“යම් කෙනෙක් පොළොවෙහි උඩඟුකමද, කලහයද නොකරයිද ඔවුනට අපි එලෝ නිවස (ස්වර්ගය) උරුම කර දෙන්නෙමු” (කුරානය 28:83).

නිහතමානිකම ස්වර්ගය අත්කර ගැනීම සඳහා තිබිය යුතු අතාවශ්‍ය සාදකයකි. අනෙක් අතට උඩඟුකම සාතන්ගේ ලක්ෂණයකි. එය කෙලවර වන්නේ නිරයේදීය.

කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.

“අර්රහ්මාන්ගේ ගැත්තන් පොළොවෙහි නිහතමානිව ඇවිදින්නෝය. දැනුම නොමැත්තන් ඔවුන් සමග තර්ක කලේ නම්, ‘සලාම්’ යැයි (ඔවුන්) පවසන්නෝය” (කුරානය 25:63).

නබි වදනක සඳහන් වන ආකාරයට ප්‍රඥාවන්තයා කව්රුන්ද යත් තමන්ව පහත්කරගෙන එලොව ජිවිතයේ අරමුණ කරා ගමන් කරන තැනැත්තාය.

මිනිසාගේ ආරම්භය ගැන සිතා බලන කල ඔහුට උඩඟු වීමට කිසිම හේතුවක් නොමැත. මිනිසාගේ ආරම්භය සිදු වන්නේ මිනිසුන් පිළිකුල් කරන ශුක්රානුවකිනි. එහෙත් දෙවියන් ඔහුව අලංකාර රුපයෙන් මවා සෑම ජිවියෙකුටම වඩා ගෞරවයට පාත්‍ර කොට ඇත. එහෙත් ඇතැම් අයගේ ක්‍රියා කලාපය නිසා ඔවුන් තිරිසනුන්ට වඩා පහත් තත්වයට ඇද වැටෙන්නේය.

මිනිසා මෙලොවට උපත ලැබූ විට කිසිම දෙයක් තනිවම කල නොහැකි දුබලයෙකි. එහෙත් ඇතැම් තිරිසන් සතුන්ට උපතේදීම මිනිසාට වඩා හැකියාවන් ඇත්තේය. එසේ තිබියදී මිනිසා ජිවත්වන ටික කාලයේදී උඩඟු වන්නේ කුමක් නිසාද? බොහෝ අය බලය සහ වස්තුව ලැබෙන විට උඩඟු වෙති. එහෙත් ඔවුන් වයසට යන විට නැවතත් ළදරුවෙකු ගානට පත්වන බව අමතක කරන්නේය.

රජකම නිසා අහංකාරයෙන් පෙළුණු කෙනෙකුට උදාහරණය පාරාවෝ ය. ඔහු යම් දවසක මැරෙන බව අමතක කළේය. එබැවින් ඔහු සිය ජනයාට කියා සිටියේ තමන් බලගතු දෙවියන් බවයි. එසේ පැවසූ ඔහු සිය බල ඇණියත් සමග මුහුදේ ගිලි අසරණ ලෙස මිය ගිය බව කුරානයේ සඳහන් වේ. අදටත් ඔහුගේ දේහය මිනිසුන්ට දැක ගැනීමට හැකි වන පරිදි ඊජිප්තුවේ කෞතුකාගාරයක තැන්පත් කොට ඇත. මමත්වයෙන් පෙලෙන සියළු දෙනාටම එය පාඩමක් විය යුතුය.

සෑම නබිවරයෙකුගේම ජිවිතාදර්ශය නිහතමානිකමට උදාහරණයකි. ඔවුන් සියළු දෙනාම තම අරමුණ ඉටුකිරීම වෙහෙසුනෝය. ඔවුන් බලයට හෝ දනයට කෑදරකමක් පෙන්නුවේ නැත. නබිවරුන්ගේ අඩිපාරේ ගමන් කල සියළු දෙනාමත් තම ජිවිතයේ අරමුණ ජය ගත්තෝය. අදත් මුහම්මද් නබිතුමාගේ මාර්ගය පිළිපදින බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ජිවත් වෙති. ඔවුන් නාම මාත්‍රික මුස්ලිම්වරුන් වශයෙන් නොසිට සත්‍යවශයෙන්ම මුහම්මද් නබි තුමා පෙන්වා දුන් මාර්ගය අනුගමනය කරන්නේ නම් මෙලොව ජීවිතය පමණක් නොව එලොව ජීවිතයත් ජය ගනු ඇත.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *