මෙම චෝදනාවේ සාධක තුනක් දකින්නට ඇත. ඒවා නම් නැගෙනහිර පළාතේ ඉඳි ගස් වැවීම, කළු කාන්තා ඇඳුම හා සංස්කෘතික ආක්‍රමණය යන සාධකයන් ය. පළමුව අවසාන සාධකයෙන් අපගේ සාකච්ඡාව ආරම්භ කරමු. සංස්කෘතිය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? ‘සංස්කෘතිය’ පිළිබඳව ඇති ජාත්‍යන්තර විද්වත් මතයක් දෙසට ද අපගේ අවධානය යොමු කරමු.
“සංස්කෘතිය යනු දැනුවත්, සමාජමය ලෙස විකාශනය වී ඇති චාරිත්‍රවල, දැනුමේ, භෞතික වස්තුවල සහ චර්යාවේ සමස්තයයි. ජන කණ්ඩායම්වල සංකල්පයන්, ඇගයුම්, චාරිත්‍ර මානවකෘති එයට අයත් වේ”. (‘සමාජ විද්‍යාත්මක දැනුම – න්‍යාය සහ ව්‍යවහාරය’ මහාචාර්ය රිචර්ඩ් ටී. ශයෙෆර් – පිටු අංක 54)
සංස්කෘතිය යනු ස්ථිතික එනම් වෙනස්වීමකට භාජනය නොවන්නක් ද? එහි ගතික ස්වාභාවයක්තිබේ ද? මේ පිළිබඳ ව ද තවත් විද්වත් මතයක් කෙරෙහි අවධානය යොමු කරමු.
“සමාජයක ඇති දේ, කරන දේ, සිතන දේ යන මේවා සියල්ල සංස්කෘතියක් විග්‍රහ කර බැලීමෙන් සොයා ගත හැකි ය. එසේම සෑම සංස්කෘතියක් ම අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් වෙනත් සංස්කෘති වල ආභාසය ලබා ඇත. අමිශ්‍ර සංස්කෘතියක් ලෝකයේ කිසි රටක නැත. සංස්කෘතිය වෙනස් වී යයි. එහෙත් බලයෙන් හෝ උපක්‍රමයෙන් හෝ සංස්කෘතියක් වෙනස් කිරීම ට උත්සාහ දැරීම මහ අපරාධයකි. ලෙහෙසියෙන් කළ නොහැක්කකි.” (රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් විසින් රචිත ‘අපේ සංස්කෘතිය’ පිටු 1 – 4)
ඉහතින් උපුටා දැක්වූ විද්වත් මතයන් අනුව සංස්කෘතිය යන්නෙන් අදහස් වන දෑ හා එය වෙනස් වන්නක් හා අනෙකුත් සංස්කෘතීන්ගෙන් ආභාෂය ලබන්නක් බව පැහැදිලිය. නුතන තාක්ෂණ, විද්‍යාත්මක හා සන්නිවේදන දියුණුවත් සමග මුළු මහත් මිහිතලයම විශ්ව ගම්මානයක් බවට පත්වී මුළු මනුෂ්‍ය වර්ගයාම එකිනෙකාට වඩාත් සමීප පිරිසක් බවට පත්ව ඇත. මෙම සමීපතාව තුල සංස්කෘතික ආභාෂයන් හි බලපෑම සැමතැනම දකින්නට ඇත. මෙයට ශත වර්ෂ භාගයකට පෙර මුස්ලිම් කාන්තාවන් වර්තමානයේ අඳින කළු ඇඳුම නොඇන්දා විය හැක. නමුත් ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් තුල ඔවුන් ආවරණය කරගත යුතු නිර්ණායකයන් ඉදිරපත් කොට ඇත. ඇඳුම පිළිබඳ ව නිර්ණායකයන් හයක් දකින්නට ඇත.
පළමු නිර්ණායකය අනුව ශරීරයේ ආවරණය කළ යුතු ප්‍රමාණය දක්වා ඇත. පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ආවරණය කළ යුතු ප්‍රමාණයේ වෙනසක් ඇත. පුරුෂයින්ට අවම වශයෙන් නාභියේ සිට දණහිස දක්වා වැසීම අනිවාර්ය වන්නේය. ස්ත්‍රීන් සඳහා මුහුණ හා දෑතේ (අත්ලේ) මැණික් කටුව දක්වා හැර සම්පුර්ණ ශරීරයම වැසීම අනිවාර්ය වෙයි. නිරාවරණය කිරීමට හැකි මෙම ප්‍රදේශය ද ස්ත්‍රියගේ කැමැත්ත පරිදි ආවරණය කර ගත හැක. ඇතැම් ඉස්ලාමීය විද්වතුන්ගේ මතය වන්නේ මෙම ප්‍රදේශය ද ආවරණය කර ගැනීම අනිවාර්ය බවය. ඉතිරි නිර්ණායකයන් පහම ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවයටම පොදුය.
මෙයට බොහෝ කාලයකට පෙර වර්තමාන කළු ඇඳුම ස්ත්‍රීන් නොඇන්දත් මෙම ආවරණය කරගැනීමේ නිර්ණායකය එලෙසින් ම ඉටු කළහ. විශ්ව ගම්මානයක ජීවත්වන අපි මැදපෙරදිග සමග බොහෝ අන්තර් ක්‍රියාකාරකම් හි හැත්තාවේ දශකයේ පටන් යෙදෙන්නට ආරම්භ කළෙමු. එම අන්තර් ක්‍රියාකාරකම් තුළින් ස්ත්‍රියට පහසුවෙන් ඇඳිය හැකි එමෙන්ම තමන් ආවරණය කර ගත යුතු ප්‍රමාණය නිසි ලෙස ඉටුවන ඇඳුමක් මැදපෙරදිග සංස්කෘතිය තුළින් ඔවුන් විසින් තෝරාගෙන ඇත. ස්ත්‍රී ඇඳුම පිළිබඳ අදහස් දක්වන මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කොට ඇත.
“ඇඳුම් පැළඳුම්, විශේෂයෙන් ම ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කල වෙනස් වෙයි”. (‘පුරාන සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම’ මාර්ටින් වික්‍රමසිංහ – 16 වැනි පිටුව)
මෙම හේතුව හැරෙන්නට මැදපෙරදිග සංස්කෘතිය මෙරට තුල ව්‍යාප්ත කිරීමේ චේතනාන්විත අරමුණක් කිසිසේත්ම මෙහි කිසිසේත්ම ගැබ්වී නොමැති බව සහතික කොට කිව හැක. අප ලොව දෙස වඩාත් යථාර්ථවාදී ව බලන්නට හුරු පුඋදු වුවහොත් මෙහි කිසිදු ගැටළුවක් නොමැති බව සත්‍යය වශයෙන් ම දකිනු ඇත. සිංහල කාන්තා ඇඳුම කෙලෙස පරිනාමය වී වර්තමාන තත්ත්වයට පත්වුයේ ද යන්න ද මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් තම පර්යේෂණාත්මක ග්‍රන්ථයෙන් අදහස් දක්වයි.
“මෙකල මෙන් මසින් දෙමසින් නොවුව ද, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කල වෙනස් වී යැයි කියන නිදසුන්, පුරාණ පොතපතින් මෙන් ම සිතුවම් ආදියෙන් ද දක්නට ලැබේ. ඒ නිදසුන් අනුව පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් දසා පහක් දක්නා ලැබේ.
I. උඩු කය නොවැසීම,
II. සළුවකින් යටි කය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම,
III. තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම,
IV. හැට්ටයෙන් උඩු කය වැසීම,
V. හැට්ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම
මෙම ඇඳුම් පරිනාමය තුල ආවරණය කර ගතයුතු ප්‍රමාණය පිළිබඳ නිශ්චිත ඉගැන්වීමක් දකින්නට නොමැත. මෙසේ පරිනාමය වී ආ සිංහල කාන්තා ඇඳුම වර්තමාන විශ්ව ගම්මානය තුල ඉතා විශාල වශයෙන් බටහිර සංස්කෘතියේ ආභාෂයට ලක්වී ක්‍රමයෙන් තමන් ව නිරාවරණය කරගැනීමේ තරඟයක් සමාජය් තුල දකින්නට ඇත. මේ පිළිබඳ ව ඇති මතයක් කෙරෙහි අවධානය යොමු කරමු.
“ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි. බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි.” (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)
මුස්ලිම් නොවන සමාජය කෙතරම් දුරට බටහිර සංස්කෘතිය දෙසට ගමන් කොට තිබේ ද යන්න ඉහතින් විස්තර වෙයි. විශ්ව ගම්මානයක ජීවත්වන අපි මෙලෙස වෙනස්වීම වැලැක්වීම ඉතා දුෂ්කර කාර්යයකි. මුස්ලිම් සමාජය මැදපෙරදිග සංස්කෘතිය වෙතට නැඹුරු වුව ද එයින් තම ශරීරය ආවරණය කරගත යුතු ප්‍රමාණය කෙරෙහි වෙනසක් දකින්නට නොමැත. නමුත් මුස්ලිම් නොවන සමාජය බටහිර සංස්කෘතිය වෙත සීඝ්‍රයෙන් ඇදීයාම හේතුවෙන් අපට දකින්නට ඇත්තේ තම ශරීරය ක්‍රමයෙන් නිරාවරණය කරගැනීමේ විලාසිතා තරඟයක් සමාජය තුල ක්‍රියාත්මක බවයි. මෙය රටට හානිකරය. අවාසනාවට මේ පිළිබඳ බහුතරයක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා මවිතකර තත්ත්වයකි.
මීළඟට නැගෙනහිර පළාතේ ඉඳි ගස් සිටුවා මැදපෙරදිග සංස්කෘතිය මෙරට තුල ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට ඇති චෝදනාව වෙත යොමු වෙමු. ගස්කොලන් සතාසිව්පාවා හැම රටකම වාගේ හුවමාරු කර ගැනීම විවිධ හේතුන් මත සිදුවේ. ලංකාවේ ඇති තේ, රබර්, දෙල් වැනි ගස් ලංකාවට ආවේනික ගස් නොවේ. මෙයින් රටක ජෛව විවිධත්වයේ පුළුල් වීමක් සිදුවන අතර ඇතැම් විට තේ රබර් වැනි වාණිජ කෘෂිකාර්මික ගස් අපට ආදායම් මාර්ගයක් බවට පත් වී ඇති අයුරු ද දකින්නට ඇත. රටකින් ගෙනා ගසකින් අපේ සංස්කෘතියට හානි සිදුවෙනවා යැයි පැවසීම කිසිදු පදනමකින් තොරවූ හුදු හිස් චින්තනයකි.
ලංකාවේ මුල්ම දෙල් ගස ගාලු කොටුවේ අදත් දැක ගත හැක. අපේ රටට දෙල් රැගෙන ආවේ ලන්දේසින් විසින් බව පිළිගැනීම යි. එලෙස මුලින්ම ගාලු වරායට රැගෙන ආ දෙල් පැළ එවකට ගාල්ලේ ඕලන්ද කොටුව තුළ රෝපණය කර තිබෙනවා. ඒ දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි දෙල්ගස බවයි සැලකෙන්නේ.
මෑතක දී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් අසල වැඩී තිබු ඉඳි ගස් ඉඳි වලින් පිරී තිබු ආකාරය පුවත් මගින් දැකගත හැකි විය. කුවයිට් රටේ වීදියක අලංකාරය හා සෙවන පිණිස ඇසතු නොහොත් බෝ පැල සිටුවා තිබු අයුරු අන්තර්ජාලයේ දකින්නට තිබුණි. එහෙයින් අපි පාරිසරික අලංකාරය සඳහා වූ ක්‍රියාවන් මුස්ලිම් විරෝධී මාතෘකාවක් කරගන්නේ නැතිව කටයුතු කරන්නේ නම් එය සමාජ සාමය හා සහෝදරත්වයට බෙහෙවින් ඉවහල් වෙයි කියා විශ්වාස කරන්නෙමු.
මීළඟට අපගේ රටේ සංස්කෘතීන් දෙස අවධානය යොමු කරමු. අපට ජාතික සංස්කෘතියක් ඇත. එයට අපගේ ජාතික ධජය, ජාතික ගීතය, නිදහස් දිනය ආදී කරුණු අන්තර්ගතය. මෙය කිසිදු වාර්ගික ආගමික භේදයකින් තොරව සැමට පොදුවූ සාධකයන් ය. මීළඟට බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන තැනක් ගනී. මෙරට අතිමහත් බහුතරයක් වූ බෞද්ධ සහෝදර ජනයාගේ සංස්කෘතික කරුණු මෙයට අඩංගුය. ඉන්පසු හින්දු කිතුනු හා මුස්ලිම් සංස්කෘතීන් දකින්නට ඇත. ඔවුනොවුන් තමතමන්ගේ සංස්කෘතීන් අනුව කටයුතු කරමින් සාමයෙන් ජීවත් වෙති. දරු උපත්, විවාහ, අවමඟුල් වැනි කටයුතු තමන්ගේ සංස්කෘතීන් අනුව ඉටු කරති.
යමෙක් තවත් ජනකොටසක් වෙත ඇඟිල්ල දික්කරමින් ඔබ මගේ සංස්කෘතියට අනුගත විය යුතු යැයි පැවසුවහොත් එය සැබවින් ම රටේ උත්තරීතර නීතිය වූ රාජ්‍යය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනු ඇත. බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේ ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.
3–10 “සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.
3 – 14. (1) “සෑම පුරවැසියකුටම – ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; හිමිකම ඇත්තේ ය”.
එහෙයින් අපි එකිනෙකාගේ පිළිවෙත් හා සංස්කෘතික අගයන්ට ගෞරව කරමින් තමන්ගේ සංකෘතිය හා අගයන් රකිමින් හා අනුගමනය කරමින් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැඳුනු සමාජයක් වෙත යොමුවෙමු.
By: එම්.අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com