ආත්මය ගැන අධ්‍යයනය කිරීම පාරභෞතිකවාදයට අයත් විෂයක් බැවින් මිනිසාට ආත්මය ගැන හරි අවබෝදයක් නොමැත. මේ නිසා මිනිසා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි පර්යේෂණ කල නොහැකිය.  එසේ තිබියදී සෑම ආගමකින්ම මරණයෙන් පසු සිදුවන දේවල් ගැන විස්තර කොට ඇත. එහෙත් මෙහිදී සලකා බලන්නේ ඉස්ලාම් ධර්මය අනුව මරණයෙන් පසු සිදුවීමට නියමිත දේවල් ය. අල් කුරානයේ ආත්මය ගැන පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“ඔවුහු, ප්‍රාණය (රූහ්) ගැන නුඹගෙන් විමසති. එයට නුඹ ආත්මය මාගේ සමිඳුන්ගේ (Load) අණ පරිදිම ඇතැයි පවසන්න! (එය ගැන) සුළු දැනුමක් පමණක් නුඹලාට දෙනු ලැබ ඇත්තේය” (කුරානය 17:85).
ඉහත සඳහන් වගන්තිය අනුව මිනිසාට ප්‍රාණය ගැන සම්පුර්ණ දැනුමක් තිබිය නොහැකි ය. එය අල්ලාහ්ගෙන් පැමිණ නැවතත් ඔහු වෙතම යෑමට නියමිතය.

නබිතුමා පවසා ඇති පරිදි මිනිස් කළලයට මාස හතරක් ගත වූ පසු දේවදුතයෙකු පැමිණ ආත්මය ඇතුලත් කරන්නේය. මින් පැහැදිලි වන්නේ එය වෙනම ලෝකයකින් පැමිණෙන බවයි. මේ හේතුව නිසා මිනිසා සෙසු ජීවින්ගෙන් පැහැදිලිවම වෙනස් වන්නේය. වෙනත් ජිවින්ට නොමැති ආත්මයක් මිනිසාට ලැබී තිබීම නිසා මිනිසාට හොඳ – නරක තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.

අල් කුරානයට අනුව මිනිසාව මවා ඇත්තේ සුවිශේෂි හේතුවක් සඳහාය. එම හේතුව අල් කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. ඒ අනුව මිනිසාට විශාල වගකීමක් පැවරී ඇත. එය නිසි පරිදි ඉටු කල කෙනා මරණයෙන් පසු ජය ගන්නා අතර අනෙක් අය පාඩුවක්ම ලබනු ඇත.
මිනිසා කරන හොඳ හෝ නරක දේවල් වලට නිසි ලෙස සාධාරණය ඉටු කල හැක්කේ වෙනම ලෝකයක් තිබුනොත් පමණක් බව විමර්ශන බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. උදාහරණයක් ලෙස එක් මිනිසෙකුට වඩා ඝාතනය කල කෙනෙකුට මේ ලෝකයේදී දිය හැක්කේ එක් මරණ දඬුවමක් පමණි. එහෙත් එය ඔහු කල වරදට සරිලන දඬුවමක් වන්නේ නැත. එබැවින් ඔහුට නිසි දඬුවම් ලබා දීමට නම් ඊට සුදුසු තැනක් තිබිය යුතුය. එසේම හොඳ දේවල් කරමින් දුක්ඛිත ජිවිතයක් ගත කරන කෙනෙකුට මේ ලෝකයේදී සම්පුර්ණයෙන්ම සාධාරණය ඉටු කල නොහැකිය. ඔවුන්ට සාධාරණය ඉටු කල හැක්කේ ඊට සුදුසු තැනකදිය. මේ නිසා දෙවියන් ස්වර්ගය සහ නරකාදිය මවා තිබේ.
අල් කුරානයට අනුව කෙනෙක් මිය යන විට ඔහුගේ ආත්මය දේවදුතයන් දෙදෙනෙකු පැමිණ අත්පත් කර ගන්නෝය. ඉන් පසු එම ආත්මයට මුලික ප්‍රශ්න කිරීම් සොහොනේදී සිදු කරනු ලැබේ. මෙම සිදුවීම් ආත්මීය ලෝකයකදී සිදුවන බැවින් මනුෂ්‍ය ලෝකයේ සිටින අපට ඒවා දැකගත හැකිවන්නේ නැත. එම ප්‍රශ්න කිරීම්වලට දෙන පිළිතුරු අනුව ඔවුන්ට ප්‍රතිපල ලැබෙනු ඇත. ඉන් පසු එම ආත්මයන් ලෝකය අවසානය වනතුරු දෙවියන්ගේ නියමය පරිදි යම් ස්ථානයක රඳවා තබනු ලබන්නේය. එය ආත්මීය ලොව යැයි කියනු ලැබේ.
අල් කුරානයට අනුව ලෝකයට අවසානයක් ඇත. ඉන් පසු විනිශ්චය දිනයක් තිබේ. එම දිනයේදී අධිපති අල්ලාහ්ය. එම විනිශ්චයදිනයේදී සෑම ජිවියෙකුගෙන්ම ප්‍රශ්න කරනු ලැබේ. එහිදී කිසිවෙකුට අසාධරණයක් සිදු කරන්නේ නැත. මෙම විනිශ්චයෙන් පසු ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. මිනිසා සහ ජින්වරුන් හැර අනෙක් ජීවින් එම විනිශ්චයෙන් පසු දුවිලි බවට පත්කරනු ලැබේ.
මිනිසා අත්විඳින මුල් මරණයෙන් පසු නැවත මරණයක් නොමැත. එබැවින් ස්වර්ගවාසින්ට සහ නිරා වැසියන්ට නැවත මරණයක් අත්වන්නේ නැත. එහිදී අනාදිමත් කාලයක් ඔවුන් රැඳී සිටිනු ඇත.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *