මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා අනතුරුව ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. අනතුරුව ආදම්තුමාගෙන් ඔහුගේ සහකාරියද සෙසු මිනිස් ආත්මයන්වද මැව්වේය. එසේ මවන ලද ආත්මයන් ආලමේ අර්වාහ් නොහොත් ආත්මීය ලෝකයේ තැබූ අතර මවක් පිළිසිඳ ගන්නා අවස්ථාවේදී දේවදුතයින් විසින් එම ආත්මයන් මවගේ කුස තුලට ඇතුලත් කරනු ලබන්නේය. මිනිසා මරණයට පත්වන විට නැවතත් එම ආත්මයන් ඊට නියමිත දේවදුතයින් විසින් රැගෙන යනු ලබන්නේය.

ඉහත සඳහන් කල පරිදි මිනිසා සුවිශේෂී මැවීමක් වන්නේය. ඒ අනුව සෙසු ජීවින් මෙන් නොව මිනිසාට ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇත. එහෙත් දේවදුතයින්ට පවා එම හැකියාව ලබා දී නොමැත. මිනිසාව මවා ඇත්තේ අල්ලාහ්ට නැමදීම සඳහා ය. එම කරුණ අල්-කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. “ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත” (කුරානය 51:56). ඒ අනුව දෙවියන් ලබා දී ඇති අසීමිත ආනිසංස වලට කෘත ගුණ සැලකීම මිනිසාගේ යුතුකමකි. එමගින් අල්ලාහ්ට කිසිම දෙයක් වැඩි නොවන අතර මිනිසාට කුලිය ලැබෙන්නේය.

මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලි කර දීම සඳහා මිනිසුන් අතරින්ම නියෝජිතයින් පත් කොට ඇත. එලෙස පත්වූ මුල්ම නබිවරයා ආදම් තුමා වන අතර අවසාන වක්තෘවරයා මුහම්මද් නබි තුමාය. මේ දෙදෙනාට අමතරව සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඔවුන් අතරින් මුසා නබිතුමාට තව්රාත් ආගම නොහොත් බයිබලයේ පැරණි ගිවිසුමත් ඊසා නොහොත් ජේසු තුමාට ඉන්ජ්ල් හෙවත් බයිබලයත් පහළ කොට ඇත. සෑම නබිවරයෙකුගේම කාර්ය භාරය වුයේ මිනිසාට වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙනකොට පෙන්වා දීමයි.  මුහම්මද් නබිතුමාට පහළ වූ අල්-කුරානය මගින් ඉස්ලාම් දහම් පණිවිඩය සම්පුර්ණ විය. කෙසේ වෙතත් අල් කුරානය මුස්ලිම්වරුන්ට පමණක් අයත්වූ දහම් පණිවිඩයක් නොවේ. ඒ අනුව අල්-කුරානය සකල මිනිස් වර්ගයා වෙනුවෙන්ම පහළ වූ දේව පණිවිඩයකි. මෙම කුර්ආන් වැකියෙන් එය පැහැදිලි වේ. “මෙය (කුරානය) ලෝවැසියන්ට උපදේසයක් මිස වෙන නොමැත” (කුරානය 68:52).

මිනිසාගේ මරණයෙන් පසු නැවත උපතක් ලැබෙන්නේ විනිශ්චය දිනයේදීය. ඒ අනුව විනිශ්චය දිනයට පෙර මේ ලෝකය තුලදී නැවත ඉපදීමක් නැත. තවද මරණයෙන් පසු විනිශ්චය දිනය දක්වා වූ කාලය තුලදී සෑම ආත්මයක්ම ආලමේ බර්සක් හෙවත් ආත්මීය ලෝකය තුල රඳවා තබනු ලබන්නේය. විනිශ්චය දිනයේදී සෑම ආත්මයක්ම නැවත නැගිටවීමට නියමිතය. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වන එක් දිනයකි. එම දිනයේදී සෑම මිනිසෙකුම මනු ලොවේදී කරන ලද දේවල් පිලිබඳ ලියවිල්ලක් ලබා දීමට නියමිතය. තවද මිනිසාගේ මුවට මුද්‍රා තබන අතර ඔවුන්ගේ අත් කතාකරනු ඇත. ඔවුන්ගේ පාදයන් ඊට සාක්ෂි ලබා දෙනු ඇත. මෙම කරුණ අල්-කුරානයේ මෙසේ විස්තර කොට ඇත. “අද දිනයෙහි ඔවුන්ගේ මුඛවලට මුද්‍රා තබන්නෙමු. (අනතුරුව) ඔවුන් කරමින් සිටි දේවල් ගැන, ඔවුන්ගේ අත් අප සමග පවසන්නේය. තවද, ඔවුන්ගේ පා (ඊට) සාක්ෂි ලබා දෙන්නේය” (කුරානය 36:65). මේ නිසා කිසිවෙකුට එම දිනයේදී අසාධාරණයක් කෙරෙන්නේ නැත. කෙසේ වෙතත් එම දිනය අතිශයින්ම බයංකාර දිනයක් වනවාට කිසිම සැකයක් නැත.

මරණයෙන් පසු ජිවිතයක් ගැන මිනිසාව මෙතරම් දැනුවත් කොට තිබියදීත් ඒ ගැන තැකීමක් නොමැතිව ලෞකික දේවල් පසු පස හඹා යාම පුදුමයකි. බොහෝ අයට මරණයෙන් පසු ජිවිතයක් ඇතැයි මතක් වන්නේ මහළු වියට පා තැබූ පසුවය. තවත් අය සිතන්නේ මරණයෙන් පසු ජීවිතයක් නැති බවයි. ඔවුන් එසේ සිතුවත් දෙවියන් පහළ කල සෑම දහමකින්ම විනිශ්චය දිනය පිළිබඳව අනතුරු හඟවා තිබේ.

මිනිසාට රන් ආකරයක් ලැබුනත් ඔහු තවත් එකක් සොයා යන බව නබිතුමා පවසා ඇත. එහෙත් ලෞකික ජීවිතය අම්බලමක් වැනිය. කුමන හෝ මොහොතක ඉන් පිටත් වී  යා යුතුය. අනතුරුව වෙනත් කෙනෙකු විසින් එය අත්පත් කර ගන්නේය. එසේ තිබියදී මිනිසා විසින් මෙම සත්‍යය තේරුම් නොගෙන සිටීම පුදුමයකි. මිනිසා තාවකාලික ලෞකික ජීවිතය තුල මංමුලා වී ඇත.

මරණයෙන් පසු ජීවිතය හා සසඳන කල මිනිසාට ලැබී ඇත්තේ ඉතා කෙටි ආයු කාලයකි. ඒ අනුව අවුරුදු 60 ක් ජිවත් වන මිනිසෙකුගේ නින්දට හා වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වැයවන කාලය අඩු කලේ නම්  ඔහුට ඉතිරි වන්නේ වසර 20 ක් හෝ 25 ක් තරම් ඉතා කෙටි ආයු කාලයකි. එහෙත් පරලොව ජිවිතයට සීමාවක් නැත. ඒ අනුව ලෞකික ජීවිතය වෙනුවෙන් එම ජීවිතය විනාශ කර ගැනීම කොතරම් අවාසනාවක්ද? අද බොහෝ අය තම වැසිකිලියකට දෙන වටිනාකමවත් තමන්ගේ මතු ජීවිතය වෙනුවෙන් ලබා දී නැත. එම නිසා වැසිකිලියකට ලක්ෂගණන් මුදල් වියදම් කලත් තම මතු ජිවිතය වෙනුවෙන් පිනක් දහමක් කිරීමට වියදම් කරන්නේ ඉතා සුළු මුදලකි. එහෙත් මරණයෙන් පසු මිනිසාට ඉතිරි වන්නේ ඔහු කල පින් දහම් පමණක් බව අමතක නොකළ යුතුය.

ස්වර්ගවාසින්ට මෙන්ම නිරා වැසියන්ගේ ජීවිතය සදාකාලික ය. එබැවින් ඔවුන්ට නැවතත් මරණයක් අත්වන්නේ නැත. මෙම කරුණ ස්වර්ගවාසින්ට ඉමහත් සතුටක් ගෙන දෙන අතර නිරා වැසියන්ට කියා නිම කල නොහැකි දුකකට හේතුවක් වන්නේය. ස්වර්ගය සහ නිරය පිළිබද බොහෝ කරුණු අල්-කුරානයේ සහ හදිස්වල සඳහන් වේ. අවශ්‍ය අයට ඒවා ගැන කියවා දැනගත හැකිය.

By Fasy Ajward, B.Sc(sp.phy)Hons, Japura. 

Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *