අල් කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබේ. සාතන් ගැන දැනගැනීම සැමටම ප්‍රයෝජනවත් වන්නේ ඔහු මිනිසාගේ පරම සතුරා වන නිසාය. ආදම් තුමාට ස්වර්ගයෙන් පිටමං වීමට මං පෑදුවේද ඔහු ය. ඔහු ගැන සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. සාතන් ජින් කුලයට අයත් වන අතර ඔහුව ගින්නෙන් මවා ඇත. ජින්වරුන්ට ද මිනිසාට මෙන්ම ස්වයං තීරණ ගැනීමට හැකියාව ඇත. ඇතැම් ජින්වරුන් මුහම්මද් නබිතුමා පරායණය කරන කුර්ආන් පරිජ්ජෙදයන්ට සවන් දුන් බව කුරානයේ සඳහන් වේ. ජින්වරුන් අතර ද අල්ලාහ්ව විශ්වාස කරන අය මෙන්ම අල්ලාහ්ව විශ්වාස නොකරන අය සිටිති. ආදම් තුමාව මැවීමට පෙර සාතන් සිටියේ දේවදුතයෙන් අතරය.

මුල්ම මිනිසා වන ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කළ පසු ඔහුට අල්ලාහ් ආත්මය ඇතුලත් කළේය. ඉන් පසු ඔහුට සෑම දෙයකම නම් කියා දී ඇත. අනතුරුව අල්ලාහ් දේවදුතයින්ව අමතා ආදම් තුමාට සුජුද් කරන ලෙස නියෝග කළේය. එම අවස්ථාවේදී ඉබ්ලිස් හැර අනෙක් සියළුම දේවදුතයින් ආදම් තුමාට සුජුද් කලෝය. ඉබ්ලිස් ආදම් තුමාට සුජුද් නොකර සිටීමට හේතුව විමසු කල්හි ඔහු කියා සිටියේ මැටියෙන් මවන ලද ආදම් තුමාට වඩා ගින්නෙන් මවන ලද ඔහු උසස් බවයි. මෙම සිද්ධිය අල් කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් වන්නේය.

“‘මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ’යි (අල්ලාහ්) ඇසු කල්හි, ඉබ්ලිස්: ‘මා ඔහුට වඩා උසස්ය, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇත’යි පැවසුවේය” (කුරානය 7:12).

එවිට අල්ලාහ් ඔහුගේ ක්‍රියාව කෙරෙහි කෝප වූ අතර ඔහුව ස්වර්ගයෙන් නොරපනු ලැබුවේය.

“(අල්ලාහ්) පැවසීය: (අහෝ ඉබ්ලීස්) මෙම (සවර්ගයෙන්) නුඹ බසිනු, උඩඟුකම පෙන්වීමට මෙය තැන නොවේ. එහෙයින් පිටවනු, නියතව නුඹ නිචත්වයට පත්වූවන්ගෙන් කෙනෙකු වන්නෙහිය” (කුරානය 7:13).

එතෙක් කල් දේවදුතයින් අතර වාසය කල ඉබ්ලිස්ට ස්වර්ගයෙන් පිටමං වීමට ආසන්නතම හේතුව වුයේ ආදම් තුමාට සුජුද් නොකර සිටීමය. ඉබ්ලීස් ආදම් තුමාගේ බාහිර ස්වභාවය බලා සුජුද් නොකර උඩඟු වුවත් ඔහුට එම නියෝගය කලේ අල්ලාහ් බව තේරුම් ගැනීමට නොහැකි විය. එබැවින් ඔහු වරද කල පසු එම වරදට සමාව ගැනීම වෙනුවට ඔහුගේ උඩඟු කම ප්‍රධර්ශනය කළේය. එම හේතුවෙන් ඉබ්ලිස් සදාකාලිකව අල්ලාහ්ගේ කෝපයට පාත්‍ර විය. මෙම සිද්ධයෙන් පසු ඉබ්ලිස් මිනිසාගේ පරම සතුරා බවට පත් විය.  මිනිසාගේ ප්‍රකට සතුරෙකු වූ සාතන් මිනිසාව නොමග යැවීමට ප්‍රතිඥාවක් දී ඇත.

“(එවිට ඔහු (ඉබ්ලීස්), ‘නුඹ මාව නොමගෙහි යැවු හේතුවෙන් ඔවුන්ට (මිනිසුන්ට) එරෙහිවෙමින්  නුඹගේ ඍජු මාර්ගයෙහි මා හිඳ ගනිමියි කීය. පසුව ඔවුන්ගේ ඉදිරිපසින්ද පිටුපසින්ද, ඔවුන්ගේ දකුණු පසින්ද වම් පසින්ද ඔවුන් හමුවට පැමිණෙන්නෙමි, එවිට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ස්තුතිවන්තයින් ලෙස නුඹ නොදකින්නේහි යැ’යි කීය” (කුරානය 7:16-17).

ආදම් තුමාට සිදුවූ දේ පිලිබඳව මිනිසාව දැනුවත් කොට තිබෙන්නේ ඔහුගෙන් බේරීම සඳහාය.

“ඕ:ආදම්! ‘නියතවශයෙන්ම මොහු නුඹටද, නුඹගේ බිරියටද සතුරෙක් වන්නේය. එබැවින්, ඔහු නුඹලා දෙදෙනාව මෙම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඉඩ නොතබනු. එසේ වුයේ නම් නුඹ අභාග්‍යයවන්තයෙකු වනු ඇතැ’යි අපි පැවසුවෙමු” (කුරානය 20:117).

මෙම අනතුරු හැඟවීම කර තිබියදීත් ආදම් තුමා ඔහුගේ උගුලට හසු විය. එහි ප්‍රතිපලයක් ලෙස මිනිස් වර්ගයා මෙලොවට පැමිණ ඇත. කෙසේ වෙතත් ආදම් තුමා ඔහු කල වරදට පසුතැවිලි වීමෙන් අල්ලාහ්ගෙන් සමාව ලබාගත් අතර ඔහුගේ කරුණාවට පාත්‍ර විය.

මිනිසාට මෙලොව ජීවිතය පරික්ෂාවකි. එම පරික්ෂාවට සාතන්ද කොටස් කරුවෙකි. එහෙත් එම පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දීමෙන් නැවත ස්වර්ගය අත්කර ගැනීමට හැකිය. එහෙත් මෙම ජිවිතයේදීද සාතන්ගේ උගුල්වලට හසු වීමෙන් නිරයට පාත්‍ර වනු ඇත.

“විශ්වාසවන්තයිනි! නුඹලා පුර්ණ ලෙස ඉස්ලාමය තුලට පිවිසෙනු. සාතන්ගේ අඩි පාරවල් නොපිලිපදිනු. නියතවශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය” (කුරානය 2:208).

මිනිසුන්ව නිරයට යැවීම සඳහා`සාතන් ගනු ලබන ප්‍රධාන ක්‍රියා මාර්ගයන් වන්නේ අල්ලාහ් වෙනුවට වෙනත් දේවල් සඳහා නැමදීමට සැලැස්වීම, අල්ලාහ්ගේ ගුණාංගයන් වෙනත් දේවල්වලට ලබා දීමට ක්‍රියා කිරීම, දහම තුල අලුත් ඇදහිලි ඇති කිරීමට පෙළඹවීම යනාදිය වේ. මේ සෑම දෙයකින්ම සිදුවන්නේ මිනිසා සදාකල් නිරයට යෑම සඳහා මඟ පැදීම ය. සාතන්ගේ පරමාර්ථයද එයම වේ. කෙසේ වෙතත් ඉහත සඳහන් කල වැරදි වලට අමතරව සාතන්ගේ බලපෑමෙන් සිදුවන තවත් අප්‍රමාණ වැරදි තිබේ. ඒවායින් මිදීමට නම් අල්ලාහ් පහළ කල නිවැරදි දහම තුල ජීවත්වීම අනිවාර්ය වේ.

By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *