විශ්වයේ ඇති සෑම දෙයක්ම එහි මැවුම්කරු ගැන සාක්ෂි දරන්නේය. එහෙත් අදේවවාදින්ට ඒවා තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව ඔවුන් පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් ඉබේ ඇතිවී තිබෙන බවයි. කෙසේවෙතත් එම සිතිවිල්ලේ විද්‍යාත්මක පදනමක් නොමැත. ඊට හේතුව යම් දෙයක් සිදුවීමට බලයක් ක්‍රියාත්මක විය යතු වීමය. ඒ අනුව ඉතා හොඳින් සංවිදානය වී තිබෙන විශ්වය ඇතිවීමට නම් සැලැස්මක් තිබිය යුතුය. එම සැලැස්ම ඇතිකිරීම සඳහා සැලසුම් කරුවෙක්ද සිටිය යුතුය. එහෙත් අදේවවාදීන් එය විස්තර කරන්නේ නැත. එසේ තිබියදී දේවවාදීන් පවසන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි.

අදේවවාදීන්ට අනුව විශ්වය මහා පිපිරීමකින් පසු බිහිවී තිබේ. එහෙත් එම පිපිරිම සඳහා සැලසුම් සකස් කලේ කව්රුන්දැයි ඔවුන් විසින් සඳහන් කර නැත. තවද ප්‍රථම ජිවය ඇතිවුයේ කෙසේදැයි අදේවවාදීන් මෙතෙක් විස්තර කොට නැත. ඒ අනුව විද්‍යාගාර තුල ජිවය නිපදවීමට හැකිවී නැත. එසේ තිබියදී දේවවාදීන් පවසන්නේ ජිවය දෙවියන්ගේ මැවීමක් බවයි.

විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන තවත් එක් වැදගත් කරුණක් වන්නේ එය එක් දෙවි කෙනෙකුගේ මැවීමක් බවයි. ඊට හේතුව විශ්වයේ ඒකාකාරී බව සහ විශ්වය පුරාම එකම භෞතික නීති ක්‍රියාත්මක වීමය. තවද විශ්ව නියතයන් ද ඊට ප්‍රධාන හේතුවක් වන්නේය. එසේ නොවන්නට විශ්වය පුරා බොහෝ ව්‍යාකුලතාවයන් ඇතිවී එය විනාශයට පත් විය හැකිය.

අදේවවාදීන් මතුකරනු ලබන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දෙවියන් බිහිවුයේ කෙසේද යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වය මැවීමට පෙර දෙවියන් පමණක් සිට ඇත. අනතුරුව ඔහු විශ්වය සහ අවකාශය මවා ඇත. ඒ අනුව ඔහු මේ විශ්වය තුලට ඇතුලත් වීම අනිවාර්ය නොවේ. මේ නිසා මිනිසාට දෙවියන් ගැන දැනගත හැකි එකම ක්‍රමය ඔහු සිටින තැනින් අප වෙත යවනු ලබන පණිවිඩයක් හැදෑරීම මගින් පමණි. ඒ හැර දෙවියන් ගැන දැනගැනීමට වෙනත් ක්‍රමයක් නැත. කෙසේ වෙතත් විශ්වය ගැන හැදෑරීමෙන් ඊට මැවුමරුවෙක් සිටිය යුතු බව බුද්ධිමතුනට තේරුම් ගත හැකි පරිදි මවා තිබේ.

දෙවියන් පහළ කරන ලද දහම අනුව ජිවත් වීමෙන් මිනිස් ජිවිතයට අර්ථයක් ලැබෙන්නේය. එසේ නොවන්නට මිනිසාටත් තිරිසනාටත් අතර ක්‍රියාවෙන් වෙනසක් දැක ගත හැකි වන්නේ නැත. එහෙත් ජීවින් ගැන අධ්‍යයනය කිරීමේදී මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන බව පැහැදිලිය. මෙය කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය. එසේ නම් මිනිසාට එම ස්ථානය ලැබීමට හේතුව කුමක්ද? මිනිසාගේ මරණයෙන් පසු කුමක් සිදුවීමට නියමිතද? එය නිවැරදිව දැනගන්නේ කෙසේද? අදේවවාදීන් පවසන අන්දමට මරණයෙන් පසු ජීවිතය කෙළවර නොවන්නේ නම් ඊට මුහුණ දෙන්නේ කෙසේද?

විද්‍යාඥයින් පර්යේෂණ මගින් නිගමනයන්ට පැමිණෙන ආකාරයටම දෙවියන් විනින් පත්කළ නබිවරුන් විසින් ප්‍රාතිහාරයන් පාමින් ඔවුන් පවසන දේවල් සත්‍යය බව තහවුරු කොට ඇත. එවැනි ප්‍රාතිහාරයන් නබිවරුන්ටම මිස වෙන කිසිවෙකුට සිදු කල නොහැකිය. ඉන් පෙන්නුම් කරනු ලබන්නේ ඔවුන් පවසන දේවල්වල සත්ත්‍යතාවයක් ඇති බවයි. කෙසේ වෙතත් මෙහිදී සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ විද්‍යාඥයින් විසින් පරීක්ෂණ මගින් සනාත නොකොට ඉදිරිපත් කරන මතයන් නොහොත් වාදයන් කිසිසේත්ම සත්‍ය දේවල් ලෙස පිළිගත නොහැකි බවයි. උදාහරණයක් වශයෙන් ඩාවින්ගේ වාදය පෙන්වා දිය හැකිය. එම වාදය දැන් විද්‍යාඥයින් අතර බොහෝ දුරට ප්‍රතික්ෂේප වී හමාරය. එසේම දෙවියන් සිටින බව හෝ දෙවියන් නැති බව ඔප්පු කිරීම විද්‍යාඥයින්ගේ හැකියාවෙන් ඔබ්බට යන දේවල් ය. එහෙත් දෙවියන් පිලිබඳ විස්තර නබිවරුන් විසින්  ඉදිරිපත් කොට තිබේ. නබිවරුන් පවසන දේවල් සත්‍යය බව දැක්වීමට ඔවුන් විසින් ප්‍රාතිහාරයන් සිදු කොට ඇත. ඒවා පිළිගැනිම හෝ පිලි නොගෙන සිටීම මිනිසා සතු වන්නේය. කෙසේ වෙතත් මරණයෙන් පසු එහි ප්‍රතිපල දැක ගත හැකි වනු ඇත. එහෙත් එම අවස්ථාවේදී දෙවියන්ව විශ්වාස කිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමට සමානය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *