දෙවියන් පිළිබඳව කථාකරන බොහෝ උදවියට දෙවියන්ගේ නිර්වචනය පවා දන්නේ නැත. එබැවින් ඔවුන් දෙවියන් අදහන්නේ නාම මාත්‍රිකව පමණි. ඇතැමුන් සිතන්නේ දෙවියන් ද මිනිසුන් මෙන්ම ජීවින් බවයි. තවත් සමහරු සිතන්නේ දෙවියන්ට මිනිසුන් විසින් පින් දිය යුතු බවයි.හින්දු දහමේ දෙවිවරු තිස් තුන් කෝටියක් ගැන විශ්වාස කරති. බයිබලයේ දෙවියන් එක්කෙනෙක් යැයි සඳහන් කොට ඇත. එසේ තිබියදී කිතුනුවන් ත්‍රිත්වයක් ගැන විශ්වාස කරති. ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි.

විශ්වය ගැන සැලකීමේදී එය එක් දෙවිකෙනෙකුගේ නිර්මාණයක් බව පෙනී යන්නේය. එය විද්‍යානුකුල සත්‍යයක් ද වේ. ඇයිද යත් විශ්වයේ සෑම තැනම එකම ස්වභාවික නීති පවතින නිසාය. තවද විශ්වයේ දැකිය හැකි විශ්ව නියතයන් එක් දෙවිකෙනෙක් සිටිය යුතු බවට සාදකයකි. එක් දෙවිකෙනෙකුට වඩා සිටින්නේ නම් විශ්වයේ ඇති භෞතික නීතින් තැනින් තැන වෙනස් වනු ඇත. එහෙත් එවැනි දෙයක් මෙතෙක් සොයාගෙන නැත.

අල්-කුරානයේ දෙවියන් පිළිබඳව නිර්වචනය ඉතා හොඳින් විස්තර කොට තිබේ. එම නිර්වචනයට අනුව දෙවියන් ඔහුගේ කිසිම මැවිමකට සම නොවේ. ඔහු කුමකින් සැදුම් ලද කෙනෙක් දැයි අපගේ දැනුමෙන් තේරුම් ගැනීමට නොහැකිය. එහෙත් දෙවියන්ගේ ගුණාංගයන් පමණක් අල් කුරානයේ විස්තර කොට ඇත. එම ගුණාංගයන් කිසිවක් ඔහුගේ මැවීම් වල ගුණාංග වලට සම වන්නේ නැත.

මිනිසාට මෙලොවදී දෙවියන්ව දැකගැනීමට නොහැකි වුවත් මරණයෙන් පසුව දෙවියන්ව දැකගැනීමට හැකි වන්නේය. ඇයිද යත් මරණයෙන් පසු මිනිසාව දෙවියන්ව දැකිය හැකි අළුත් නිර්මාණයක් බවට පත් කරන බැවිනි.

දෙවිඳුන් කිසිවෙකුගේ මැවිමක් නොවන අතරම කිසිවෙකු විසින් දෙවිඳුන්ව බිහි කළේද නැත. ඔහු විසින් කිසිවෙකු බිහිකරන්නේද නැත. තවද දෙවිඳුන්ට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. දෙවියන්ට සමාන වෙන කිසිවෙකුත් නැත. සෑම ජීවියෙකුම ඔහුගේ උදව් පතන්නේය. එහෙත් දෙවියන් කිසිවෙකුගෙන් උදව් පතන්නේ නැත. තවද මරණයෙන් පසු සෑම ජීවියෙකුම ඔහු වෙතම යා යතුය.

මේ විශ්වය මැවීමට පෙර දෙවියන් පමණක් සිට ඇත. ඉන්පසු ඔහු මේ විශ්වය සහ එහි ඇති සියළු දේවල් මවා තිබේ. ඒ අනුව දෙවියන් මවන ලද සෑම දෙයකටම ආරම්භයක් සහ අවසානයක් ඇතත් දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නොමැත.

දෙවිඳුන් මේ විශ්වය මැවීමට පෙර සිටි අකාරයටම එය මැවීමෙන් පසුද සිටින්නේය. ඒ අනුව ඔහුගේ පැවැත්මට මේ විශ්වය හෝ එහි ඇති අවකාශය හෝ අවශ්‍ය නොවේ. අල් කුරානයට අනුව දෙවියන් සිටින්නේ ‘අර්ෂ්’ යන ස්ථානයේය. එම ස්ථානය ගැන දැනුමක් මිනිසාට නොමැත.

මිනිසුන් නොයෙකුත් දේව විශ්වාසයන් තුල හිර වී ඇත. එහෙත් සෑම මිනිසෙකුගේම වගකීම වන්නේ සත්‍ය සොයා දැන ගැනීමය. මෙය කල හැක්කේ දෙවියන් පහළ කල දහමක් හැදෑරීමෙන් පමණි. එහෙත් එම දහම මිනිසා විසින් වෙනස් නොකළ එකක් විය යුතුය. මිනිසා විසින් වෙනස් කල දහමකින් සත්‍ය අවබෝධ කිරීම අසීරු කරුණක් වන්නේය. කිසිම වෙනසකට බඳුන් නොවී දෙවියන් පහළ කල භාෂාවෙන්ම ඇති එකම ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම දහමකම කොටස් කාලයාගේ ආවෑමෙන් නැතිවී තිබේ. ඇතැම් දහම් බොහෝ වෙනස්කම්වලට පත්වී ඇත.

ඉස්ලාම් දහම අනුව මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින්නේ ෆිත්රා තත්වයේය. එනම් දෙවියන් පිලිබඳ විශ්වාසයත් සමගය. එහෙත් දෙමව්පියන් විසින් ඔවුන්ගේ විශ්වාසයන් වෙනත් අතට හරවන්නේය.

දෙවිඳුන් ගැන නිවැරදි දැනුමක් නොමැති අය සාස්තෘවරුන්ට වැඳුම් පිදුම් කරති. එහෙත් එම සාස්තෘවරුන්ව මවා ඇත්තේද දෙවින්දුන්ය. ඊට පෙර කාලවලදී ජීවත්වූ ඇතැම් මිනිසුන් ගස්, ගල්, ඉර, හඳ වැනි භෞතික වස්තුන්ට නැමදුම් කොට තිබේ. එහෙත් ඒවා කිසිවකින් මිනිසාගේ උවමනාවන් ඉටුකළ නොහැකිය. මෙය මිනිසා හොදින් තේරුම් ගත යුතුව තිබේ.

යම් කෙනෙක් ඔහුගේ මරණයට පෙර දෙවිඳුන්ව නිවැරදිව තේරුම් ගෙන ඉස්ලාම් දහම පිළිපදින්නේ නම් දෙවිඳුන් ඔහුගේ සෑම පවක්ම කමා කරන්නේය. එවිට ඔහුට ඉතිරි වන්නේ ඔහු එතෙක් කළ පින් දහම් පමණි.

දෙවිඳුන් ගැන විශ්වාසය තැබීම ගැන කුරානයේ මෙලෙස සඳහන් වේ.

“මාගේ වහලුනි! (ඔබගෙන්) කව්රුන් හෝ සීමාව ඉක්මවා තමන්ට තමන්ම අපරාධ කර ගත්තද අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ගැන ඔබගේ විශ්වාසය බිඳ නොදමනු. (ඔබ පාපයෙන් ඈත් වී පසුතැවිලි වී සමාව ඉල්ලා සිටියහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) පාපයන් සියල්ලටම සමාව දෙන්නේය” (කුරානය 39:53).

මිනිසාට නිවැරදි මාර්ගය අත්කරගෙන ස්වර්ගය ලබා ගැනීමට මෙලොවදී ලැබී ඇත්තේ එක් අවස්ථාවක් පමණි. එය අපතේහැරීම කොතරම් මුග්ධ කමක්දැයි වැටහෙන්නේ මරණයට පත්වූ පසුවය.

By Fasy Ajward B.Sc(Special)Hons,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

One thought on “විශ්වය නිර්මාණය කල එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can the universe be created more than one God?)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *