ඉස්ලාම් දහම ලෝකය මවා පාලනය කරන්නාවූ දෙවිදුන්ගෙන් පහළ වූ දහමකි. ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ “දෙවිඳුන්ගේ නියෝගවලට ස්වෙජ්ජාවෙන් එකඟ වීම” වේ. තවද ඉස්ලාම් ලොව ඇති එකම “ඒකදේව විශ්වාසය” මත ගොඩනැගුනු දහමකි. එය ආදම් නබි තුමාගේ සිට මුහම්මද් නබිතුමා දක්වා අකණ්ඩව පැවතීගෙන එන්නේය.

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා සිය දහසකට වඩා නබිවරු මිනිසුන් අතරින් තෝරා පත්කොට තිබේ. එම නබිවරුන්ටත් දහම් පුස්තක ලබා දී ඇති අතර මුහම්මද් නබිතුමාට පහළ වූ අල්කුරානය මගින් ඉස්ලාම් දහම් පණිවිඩය කෙළවර විය. මෙම අල්කුරානය මුහම්මද් නබිතුමාගෙන් පසු පැමිණි සකල මිනිස් වර්ගයා වෙනුවෙන්ම වූ මාර්ගෝපදේශයක් වීම එහි ඇති විශේෂත්වයකි. එසේම මුහම්මද් නබිතුමාද එක් ජන සමුහයකට පැමිණි නබිවරයෙක් නොවීම තවත් විශේෂත්වයකි. ඒ අනුව මුහම්මද් නබිතුමා ලෝකවාසී සියලුදෙනාටම මග පෙන්වන්නාය. එතුමා ගැන අල්කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

“අපි ඔබව මිනිස්වර්ගයාට කරුණාව දැක්වීමට මිස යැව්වේ නැත” (කුරානය 17:107).

මේ නිසා මුහම්මද් නබි තුමා අරාබි භාෂාව කථාකරන සහ අරාබි භාෂාව කතානොකරන සියළු දෙනාටම කරුණාව දක්වන නබිවරයෙකි. එතුමාගේ මග පෙන්වීම ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අනුගමනය කල හැකිය. එතුමා සාමාන්‍ය ජනයා සමග එකම බඳුනේ එකට අතදමා කෑම අනුභව කොට තිබේ. එතුමාගේ ජිවිතාදර්ශය සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් පිළිපැදිය හැකිය.

අල්ලාහ්ව විශ්වාස කරන සෑම කෙනෙක්ම සහෝදරයින් ලෙස සැලකීම ඉස්ලාම් දහමේ ඇති තවත් විශේෂත්වයකි. මස්ජිදයේ ඉටු කරනු ලබන සාමුහික සලාතයෙන් මේ බව ප්‍රායෝගිකව දැක ගත හැකිය.

ඉස්ලාමයේ උගන්වා ඇති සියළුම නැමදුම් ඉතා සරල ඒවා වන අතර ඒවා බාල තරුණ මහළු සියලු දෙනාට ඉතා පහසුවෙන් ඉටු කල හැකිය. ලෝකයේ කොතැනක සිටියත් සෑම මුස්ලිම්වරයෙකුම එකම දිශාවකට නැමදීම ඉස්ලාම් දහමේ කැපී පෙනෙන ලක්ෂණයකි. තවද සෑම මුස්ලිම්වරයෙකුම නැමදීමේදී අල්කුරණය පමණක් පාරායනය කිරීම ඉස්ලාම් දහමේ ඇති තවත් විශේෂත්වයකි.

ඉස්ලාම් දහමේ නියම කොට ඇති නැමදුම් වලින් මිනිසාගේ ශරීරයට මෙන්ම මනසට ශක්තියක් සහ ශාන්තියක් ලැබෙන්නේය. ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති සලාතය, උපවාසය, සකාත් සහ හජ් වලින් මෙය මනාව දැක ගත හැකිය.

ඉස්ලාම් දහමේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ එමගින් ජිවිතයේ අරමුණ ඉතා සරලව පැහැදිලි කොට තිබීමය. ඒ අනුව පරලොව ජීවිතය ජය ගැනීම සඳහා මෙලොව ජීවිතය සකස් කර ගන්නේ කෙසේදැයි ඉතා අලංකාරව පෙන්වා දී තිබේ.

ඉස්ලාම් දහමේ කුලබේද, වර්ග බේද, උස්පහත් බේද කිසිවක් නොමැති වීම එහි ඇති තවත් විශේෂත්වයකි. ඒ අනුව සියළුම මුස්ලිම්වරු සහෝදරයෝ වෙති.

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *