By: එම්. අහ්මද් දහ්ලාන්

අප සැවොම දන්නා පරිදි තාරුණ්‍ය යනු බලගතු ජවයක් හා ක්‍රියාකාරකම් රාශියකින් යුක්ත කාල පරිච්ඡේදයකි. මෙම කාල පරාසය ඉතා නිර්මාණාත්මක ව හා අර්ථවත් අයුරින් උපයෝගී කර ගැනීමට අප කටයුතු නොකළහොත් ඇතිවිය හැකි හානිය අති දැවැන්ත විය හැක. මෙම හේතුවෙන් සමාජයේ පවතින සියළු යහකම් හා ආචාර ධර්ම විනාශ වී යෑමට ඇති ඉඩකඩ බොහෝය. තාරුණ්‍යයේ ඇතැම් අය බොහෝ විට නිකරුනේ කාලය ගත කරන්නන් හෝ අවශ්‍යය ප්‍රමාණයට වඩා නිදා ගන්නන් බවට පත්ව ඇත. අප බොහෝ විට නිවසින් බැහැරව සිදු කරන්නේ නොවැදගත් ක්‍රියාවන් හි නියැලී කාලය කා දැමීමක් පමණි. එසේත් නොමැති නම් ළමා වික්‍රමයන් ලෙස සලකනු ලබන ක්‍රියාවන් හි යෙදීමය. තාරුණ්‍යයට උරුම ප්‍රබල ජවය හා ශක්තිය මහා කාරුණික දෙවිඳුන්ට තෘප්තිකර ආකාරයටත්, ජනයාට මෙන්ම තමන්ටත් අර්ථවත් අයුරින් නිර්මාණශීලීව යොදා ගන්නේ කෙලෙස ද?

නුහුරු රියදුරෙකු විසින් වාහන තද බදය ඇති කාර්ය බහුල වීදියක තම වාහනයේ පාලනය අහිමි කර ගත්තේ නම් සිදුවන්නේ තමන් ව හා අන් අයව විශාල විනාශයකට පත් කිරීමයි. මෙම රියදුරාට මෙවන් විපතකින් ආරක්ෂාව ලබා දෙන්නේ කුමන සාධක ද? ඒවා නම් ඔහු සතු රිය ධාවන දැනුම හා ඔහුගේ ආපධාවකින් තොරව රිය පැදවීමේ අධිෂ්ඨානයත් යැයි පැවසීම නිවැරදි යැයි සිතන්නෙමු. මේ ආකාරයෙන් ම දැනුම හා අධිෂ්ඨානය නොමැති තරුණයෙකු එවන් රියදුරෙකු විපතට පත්වන ආකාරයටම විනාශකාරී තත්ත්වයකට පත් විය හැකි නේද? මෙය තමන් ව ජීවිතයේ පරාජය හා ඵලරහිත තත්ත්වයකට යොමු කළ හැකියි.

තම තාරුණ්‍ය කාල පරාසය තුල ශාරීරික ශක්තිය හා ක්‍රියාකාරී බව ලබා දී තිබීම සැබැවින් ම දිව්‍යමය ආශීර්වාදයක් වන අතර එය තම වැඩිහිටි කාලයේ පහසුව හා වයෝවෘධ කාලයේ ඇති විය හැකි දුර්වලතාවන් හා රෝගී තත්ත්වයන් සඳහා පෙර සුදානමක් සඳහා වූ කාල පරිච්ඡේදයක් නොවන්නේ ද? මෙවන් අවස්ථාවකට මුහුණ පාන අවස්ථාවේ තමන්ගේ දැනුම හා අධිෂ්ඨානය පදනම් කරගෙන උපයා ගත් වස්තුව, මිතුරන්, පවුලේ සාමාජිකයින් හා සමාජයේ ඔහු උපයා ගත් ස්ථාවරය ඔහුට උපකාරී වනු නොඅනුමානය. තාරුණ්‍යය වෙත සාමය මිස ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගත හැකි කිසිදු ප්‍රයෝජනයක් නොමැත. සාමය තුළින් ඉවසීම ප්‍රගුණ කොට කටයුතු කිරීමේ දොරටු විවෘත කර ගත හැකි වනු ඇත.

“ඉවසීමෙන් කටයුතු කිරීම අධික දැනුම් සම්භාරයක් ඇති බවට සාක්ෂියකි” (විද්වත් ප්‍රකාශනයක්)
තාරුණ්‍යය විසින් තමන්ට ඵලප්‍රයෝජන ඇති දැනුම ලබා ගැනීමට නිතර යුහුසුළු විය යුතුය. නරක මිතුරන්ගේ පිය සටහන් අනුගමනය කරන්නෙකු බවට තාරුණ්‍යය පත් නොවිය යුතුයි. මෙසේ වුවහොත් ජීවිතයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ හා පරාජයේ හා පසුතැවිල්ලේ වේදනාව උරුම කරගත් පුද්ගලයෙකු බවට පත්වන්නට ඇති සම්භාවිතාව ඉතා අධිකය. අනාගත සාර්ථකත්වය අත්කර ගැනීමට අවශ්‍යය දැනුම ලබා ගන්නෙකු බවට ඔහු පත් විය යුතුය. මුළු ජීවිතයේම පරාජිතයින් බවට පත් වන්නේ අන් කිසිවෙකු නොව තම තාරුණ්‍යය නිසි ලෙස සකස් කර ගැනීමට අපොහොසත් වන්නන්ය.

ආගමික දැනුම, රැකියාවකට සුදුසු ආකාරයේ උසස් අධ්‍යාපනික දැනුම මෙන්ම සාරධර්ම සපිරි සදාචාරාත්මක ජීවිතයක් සඳහා වූ දැනුම ඔහු විසින් අත්කර ගත යුතුය. රැකියා අපේක්ෂාවෙන් ඔබ්බට යන උසස් අධායපනයක් වඩාත් යෝග්‍යය. තම නිවසේදී මෙන්ම මිතුරන් හමුවන අවස්ථාවන්හි දී ආගමික මාතෘකා සාකච්ඡා කිරීමේ පුරුද්ද ඇති කර ගන්නේ නම් තම මනස යහ අදහස් වලින් පිරී පවතිනු ඇත. නැමදුම් කටයුතු නිසි වෙලාවට නිසි පරිදි ඉටු කරන්නෙකු බවට පත් විය යුතුය. නිවැරදි ආගමික දැනුම මෙන්ම බියබැතිමත් භාවය ඇති කර ගත් අයෙකු භෞතික ලෝකයේ තෘප්තීන් වෙත ආකර්ෂණය වීම ඉතා මන්ද ගාමීය. මෙයින් අදහස් වන්නේ මහා කාරුණික අල්ලාහ් විසින් අනුමත වින්දනීය හා තෘප්තිකර දෑ පිළිබඳ ව පිළිකුලෙන් කටයුතු කළ යුතු බව නොවේ. ඉස්ලාමීය වැටකඩුලු හා මායිම් අභිබවා නොගොස් එම සීමාවන් තුල කටයුතු කිරීම සම්පුර්ණයෙන් ම අනුමත දෙයකි.

ඔබගේ තාරුණ්‍ය අර්ථවත් කර ගැනීම සඳහා….
ඉහත යහ හා ශ්‍රේෂ්ඨ අපේක්ෂාවන්ගෙන් යුතු වූ මාර්ගය ඔස්සේ තම ජීවිත ගමන්මග සකස් කර ගැනීම සඳහා අවශ්‍යය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

I. ඔබව නිසි පරිදි හඳුනා ගැනීමට මෙන්ම අවබෝධ කරගැනීමට පළමුව කටයුතු කරන්න. ජීවිතයේ සතුට හා ජයග්‍රහණය අත්පත් කර ගැනීම පිණිස ඔබ වෙතම පොරොන්දු වන්න. ඔබගේ නුසුදුසු සිතුවිලි වෙත අවධානයෙන් කටයුතු කරන්න. එසේ නොවුවහොත් ඔබගේ අවංකත්වයට එය අභියෝගයක් වනු ඇත. කෙසේ නමුත් තාරුණ්‍යය තුල මෙවන් අදහස් නිරතුරුව මතු විය හැක. එයින් මිදී කටයුතු කරන්නට මහා කාරුණික අල්ලාහ් වෙත පශ්චාතාප වී ආරක්ෂාව අයදින්න. එවන් වැරදි සිතුවිලි පිලිබඳ ව තමන් ගේ සිත සමග විමර්ශනාත්මක විගණනයක යෙදී එවැනි සිතුවිලි වලක්වා ගන්නට කටයුතු කරන්න.

II. ඔබගේ මනස දැනුම හා අවබෝධයෙන් සන්තෘප්ත කර ගන්නට කටයුතු කරන්න. අවසාන දිව්‍යයම මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය හා අවසාන ධර්මදුතයානන් වූ මුහම්මද් තුමාණන්ගේ පිළිවෙත ඔබගේ දැනුමේ ප්‍රධාන මුලාශ්‍රයන් බවට පත් කර ගන්න.

III. ජීවිතයේ දුෂ්කරතාවන්, අභියෝග හා බාධක ඇති වුවහොත් ඉවසීම හා අචල තැන්පත් භාවයෙන් කටයුතු කරන්නට හුරු වන්න.

IV. ඔබගේ හදවත ජීවිතයේ උත්තරීතර අරමුණ වෙත විවෘතකරන්න. ඔබ ස්වර්ගය සඳහා නිර්මාණය කරනු ලැබූ වෙකු බව අමතක නොකරන්න.

V. ඔබගේ පෞරුෂය ගෞරවනීය එකක් බවට පත්කර ගන්නට කටයුතු කරන්න. එමගින් අන් අය වෙත ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි තත්ත්වයක් ඇති කර ගන්න.

VI. ඔබ හා භෞතික දෑ වෙත ඇති අසීමිත ඇල්ම, ආත්මාර්ථකාමිත්වය, නොගැඹුරු මතවාදයන්, අවුල් වියවුල් ඇති සිතුවිලි හා ඔබ අතර ඝන තිරයක් තබා ගන්න.

VII. ඔබගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගන්න. දෛනික කළ යුතු කාර්යභාරයන් පිළිබඳ සටහනක් තබාගන්න.

VIII. ඔබගේ හැකියාවන් හා දක්ෂතාවන් කෙරෙහි විශ්වාසය තබා අන් අයගේද හැකියාවන් හා දක්ෂතාවන් සමග සහයෝගීතාවෙන් කටයුතු කරන්න.

IX. මිනිස්සුන් සමග සන්නිවේදනයේදී ඉතාම යෝග්‍ය අන්දමින් කතාබහ කරන්නට හුරු වන්න. එලෙසම ඔබගේ සන්නිවේදන හැකියාවන් මගින් අන් අයව දිනාගැනීමේ හැකියාව වඩාත් දියුණු කර ගැනීමට කටයුතු කරන්න.

X. ඔබගෙන් උපකාර අපේක්ෂා කරන්නන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දීමට යුහුසුළුව කටයුතු කරන්න. කළ උපකාරයන් කිසි දිනක සිහිපත් කිරීමට කටයුතු නොකරන්න.

XI. ජීවිතය සම්බන්ධව තෘප්තිමත් භාවයකින් කටයුතු කරන්න. අන් අය සතු ධනය, නිලය හෝ අලංකාර දෑ වෙත ගිජු නොවන්න.

XII. ඔබට සතුටුදායි හා තෘප්තිකර දිවිපෙවතක් ගත කළ හැකි ආකාරයේ රැකියාවක් සොයා ගන්නට කටයුතු කරන්න.

XIII. කම්මැලිකම හා නිකරුනේ කාලය ගත කිරීමෙන් වළකින්න. තාරුණ්‍ය වෙත නොතිබිය යුතුම ලක්ෂණයන් ලෙස මේවා දැක්විය හැක.

XIV. ඔබගේ ශාරෙරික මානසික සෞඛ්‍යය වෙත අවධානයෙන් කටයුතු කරන්න. ඔබෙගේ විනෝදාත්මක ක්‍රියාවන් කෙරෙහි ද අවධානය යොමු කරන්න. සියළු විනෝදාංශ අනුමත දෑ විය යුතුයි.

XV. හැකි පමණ ඉක්මණින් විවාහ ජීවිතයට පිවිසෙන්න. තමන්ට සුදුසු ධාර්මිෂ්ඨ සහකාරියක් තෝරා ගැනීමට කටයුතු කරන්න. තරුණ අනෙකුත් අයවත් විවාහය සඳහා දිරිගන්වන්න.

XVI. ඔබගේ ජීවිතයේ යහ අපේක්ෂාවන් පිළිබඳ ව සීමාවන් ඇති කර නොගන්න.

XVII. ඔබගේ අනාගතය සාර්ථක එකක් බවට පත්කර ගැනීම සඳහා ඉතා තැන්පත් අයුරින් සිතා බලා කටයුතු කරන්න.

XVIII. මහා කාරුණික අල්ලාහ් සිහිපත් කිරීම හා නැමදුම් කටයුතු නිසිපරිදි ඉටු කිරීමට කැපවීමෙන් කටයුතු කරන්න. මෙම යහ මාර්ගයට පිවිස ඇති පිරිස සමග සමීප සම්බන්ධතාවන් ඇති කර ගන්න.

XIX. ඔබගේ දෙමව්පියන්, පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා අසල්වැසියන් සමග ඉතා කාරුණිකව කටයුතු කරන්න.

XX. විශේෂයෙන්ම වයෝවෘධභාවයට ඇතැම් විට පත්ව ඇති ඔබේ දෙමව්පියන් රැක බලා ගැනීමේ වගකීම ඉත සිතින් ම භාරගන්න.

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදි)

(ඉහත ලිපියේ බොහෝ තොරතුරු විවිධ මුලාශ්‍රයන්ගෙන් ලබාගත් ඒවාය – සිංහල මාධ්‍යය පාඨකයාට නිවැරදි තොරතුරු ලබා දීම මෙම ලිපියේ අරමුණයි).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *