සකස්කිරීම, ඉබ්නු මන්සූර්

විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහල කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත නොහැකි එකඟතාවය සැබැවින්ම ප්‍රාතිහාර්යයක් බව අපට පිලිගන්නට සිදුවන අතර එය එම පහළ කරන ලද පණිවිඩයේ සත්‍යතාවය හා එහි දිව්‍යමය ස්වභාවය සහතික කරන්නකි. අපි තවත් කෝණයකින් විශ්වයේ නිර්මාණය පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පිපුරුමක්  සිදු වු තැන අපට දක්නට හැකි වන්නේ ව්‍යාකුලත්වයකි. එහි සැලැස්මක් සහිත ස්වභාවයක් උත්පාදනය විමට කොහෙත්ම ඉඩක් නොමැත. නමුත් මිහිතලය හා විශ්වය දෙස විද්‍යාත්මකව විමසුමක යෙදෙන්නකුට පැහැදිළි වන එක් භයානක අදහාගත නොහැකි සත්‍යක් ඇත. එනම් මුළු මහත් විශ්වයම ඉතා සියුම් ලෙස සැකසුණු සැලැස්මක් අනුව ගොඩනැගී ඇති බවය. මහා පිපිරුම් සිද්ධාන්තය හුදෙක් අහම්බෙන් සිදු වු පිපුරුමක් නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේද? පිපුරුමෙන් පසු ඉතා සියුම් හා නිශ්චිත සැලැස්මක් දකින්ට තිබේ නම් පිපුරුම පිටුපස නිසැකවම සර්වඥානී සැළසුම් කරුවෙකු සිටිය යුතු බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? එම සර්වඥානී සැළසුම්කරු අන්කිසිවෙකු නොව විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති බව අපට පැහැදිලි නොවන්නේද? මේ පිලිබදව අල්-කුර්ආනය දක්වන අදහස් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

එබැවින් අහස් හත තට්ටුවෙන් තට්ටුවට නිර්මාණය කර ඇත්තේය. (ජනයිනි) කරුණාබරිත දෙවිඳුන්ගේ නිර්මාණයන්හි  ඔබ කිසිදු අඩුපාඩුවක්  නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර)  බලනු. (එහි) යම්කිසි වැරැද්දක්  ඔබ දකින්නෙහිද? (නැවත) නැවතත් දෙවරක් බලනු (මෙසේ ඔබ මෙය කොතරම් වතාවක් නැවත නැවතත් බැලුවද කිසිදු අඩුපාඩුවක් නොදකින්නෙහිය) ඔබගේ බැල්මම දුබලව  ව්‍යාකුලවි (ඔබ වෙත) ආපසු හැරෙන්නේය.” (අල් කුර්ආන් – 67 වන පරිච්ඡේදය 3/4 වැකියන්)

ඉහත අල්කුර්ආන් වැකිවලින් හෙළිදරව් වන අළුත් තොරතුරු දෙසටද අපගේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වි ඇත. අහස් යන වාක්‍යය උපයෝගි කරගන්නා සන්දර්භය (Context) අනුව අල්-කුර්ආනයේ අර්ථ කිහිපයක් ඇත. පෘථිවිය මතුපිට ඇති වායුගෝලය එක් අර්ථයක් වන අතර තවත් තැන්හි විශ්වය යන අර්ථය ඇතිවද මෙම වචනය උපයෝගි කොට ගෙන ඇත. ඉහත අල්-කුර්ආන් වැකියේ  වායුගෝලය යන අර්ථය ඇතිව යොදා ඇති බව ඉතා පැහැදිලිව පෙනේ. මුළු මහත් විශ්වයම  නිරුවත් ඇසින් දැකිය නොහැකි බව අප සැවොම දන්නා සත්‍යයකි. නුතන භාවිතයේදි අහස යනුවෙන් අප අදහස් කරන්නේ පෘථිවිය වටා ඇති වායුගෝලයට බව අළුතින් විස්තර කළ යුතු කරුණක් නොවේ. නුතන විද්‍යාඥයින් විසින් වායු ගෝලය ස්ථර (තට්ටු) හතකින් යුක්ත බව විස්තර කොට ඇත. මේ පිලිබඳව විස්තර (General Science By Carolyn Sheats,  Robert Gardner, And Samuel F. Howe (Published in U.S.A-1985-Pages 319-322) නම් ග්‍රන්ථයේ පැහැදිළිව ඉදිරිපත් කොට ඇත.

මෙයත් ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් වන අතර  එම කරුණද  ඉතා නිරවද්‍යතාවයකින් යුක්තව අල්-කුර්ආනය ඉදිරිපත් කරන අලංකාරය ඔබ නොදකින්නෙහිද? මෙයිනුත් සනාථ වන්නේ  කුමක්ද කියා ඔබට සිතා බලන්නට අපහසු තාවයක් තිබේද? මෙම ස්ථරයන්හි ඇති වායු පිඩනය හා වායු සංයුතිය එකිනෙකට වෙනස් වන්නේය.

1. පෘථිවිය සමග ඇති ස්ථරයට ට්‍රොපෝස්තරය (Tropo Sphere) ලෙස නම් කොට ඇත.

2. එයට ඉහළින් ඇති ස්ථරය ස්ට්‍රාටොස්තරය (Strato Sphere)

3. එයත් සමග ඇති ස්ථරය ඕසොන් ස්ථරය.(Ozone Sphere)

4. එයට ඉහළින් ඇති ස්ථරය මෙසෝ ස්ථරය (Meso Sphere)

5. එයට ඉහළින් ඇති ස්ථරය තර්මෝ ස්ථරය (Thermo Sphere)

6. එයට ඉහළින් ඇති ස්ථරය අයනෝ ස්ථරය (Iono Sphere)

7. එයටත් ඉහළින් ඇති ස්ථරය එක්සෝ ස්ථරය ලෙස විදඥයින් විසින් හඳුන්වා දී තිබේ. (Exo sphere)

විසිවන සියවසේ විද්‍යාත්මක දියුණුව සමග සොයා ගත් මෙම විද්‍යාත්මක  සත්‍යයන් අවුරුදු 1400 කට පෙර අති නිරවද්‍යතාවයකින් යුක්තව අල්-කුර්ආන් මගින් මිනිසාගේ දැනුම වෙත යොමු කොට තිබීම සැබැවින්ම ආශ්චර්ය ජනකය.

ඉහත දැක්වු අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් අප සාකච්ඡා කරන්නට අදහස් කළේ ස්ථර හතට වඩා වැදගත් කරුණකි. එනම් විශ්වයේ  බිහිවිම මහා  පිපුරුමේ ප්‍රතිඵලය බව නුතන විද්‍යාව හා අල්-කුර්ආනය එකඟතාවයට පැමිණියද, එය සැළසුම් සහගත අඩුපාඩු වලින් තොරවු සැකසුමකින් සමන්විත වු පිපිරිමක් බව අවුරුදු 1400 කට පෙර මනුෂ්‍ය වර්ගයාගේ අවධානයට යොමු කොට ඇත්තේ අල්-කුර්ආනය පමණි. ඉහත අල්-කුර්ආන් වැකි අභියෝගාත්මකව මනුෂ්‍ය වර්ගයාට දන්වා සිටින්නේ මෙය  ඉබේ හේතුවකින් ‍තොරව සිදු වු පිපිරීමක් නොවන  බවත් එය සර්වඥානී සැළසුම් කරුගේ ක්‍රියාවක් බවත්ය. මුළු විශ්වයම ඉතා සියුම් සැළසුමක් මත ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් අවබෝධ කරගත්තේ ඉතාමත් මෑත කාලයේදීය. මෙය අවුරුදු 1400කට පෙරදී කොහෙත්ම කිසිදු මිනිසෙකු දැන සිටි හෝ කිසිවෙකුට තම උත්සාහයෙන් දැනගත හැකි සත්‍යයක් නොවේ. අල්-කුර්ආනය පහළ කළ බලයම විශ්වයේ නිර්මාතෘ බව පිලිගන්නට මෙය තවත් බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂියක් නොවන්නේද කියා  මනුෂ්‍යයාට පමණක් උරුම වු විචාර බුද්ධිය මෙහෙයවා විමසා බලන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. “මිනිසා යනු කවරෙක්ද” යන මාතෘකාවෙන් අප තවමත් විමසමින් සිටින්නේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය පිළිබදව  පමණි. මිනිසාට පමණක් උරුම වු අනිකුත් ලක්ෂණ ගැනද ඉදිරියේදි  සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු. විචාර බුද්ධිය පදනම් කරගෙන අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාගේ වාසභුමිය වු මිහිතලයද අඩංගු විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් සහ අල්කුර්ආනය මගින් විශ්වයේ නිර්මාතෘ විසින් දැනට අවුරුදු 1400 කට පෙර හෙළි දරව් කර ඇති අප සැම මවිතයට පත් කරවන ප්‍රාතිහාර්ය ජනක සත්‍යය  තොරතුරු පිළිබදවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *