සමහර මුළා වූ පුද්ගලයන් සිතන්නාක් මෙන් වේගයෙන් පියාසර කරන ගුවන් යානා, පරමාණු බෝම්බ, ගුවන් විදුලි යන්ත්‍ර හා දිදුලන විදුලි පහන් තිබීම ප්‍රගතිය යන්නට පර්යාය නාමයක් නොවේ. මිනිස් ගුණ දහම්වල ප්‍රගතිය විනිශ්චය කිරීමේදී මේ දේවල් නිර්ණායකයක් නොවේ. එහි නිර්ණායකය විය යුත්තේ, මිනිසා තම තිරිසන් ආසාවන්ට යටපත් වී සිටී ද නැතිනම් එම ආසාවන් පාලනය කරන්නේ ද, මෙම අන්ධ ආශාවන් යටපත් කොට නැගී සිටීමට ඔහුට ශක්තිය තිබේ ද නැතිනම්, මෙම අවිනීත ආශාවන්ගේ කෙළි බඩුවක් බවට ඔහු පත් වී සිටී ද? යනුයි. මෙම ආශාවන්ගේ හුදු වහලකට වැඩි තත්ත්වයක් ඔහුට තවමත් නැත්නම් ඔහු ප්‍රගතියෙන් හා දියුණුවෙන් බොහෝ ඈතය. එබඳු පුද්ගලයා විද්‍යාව හා ඥානය පිළිබඳ ක්ෂේත්‍රයන්හි කෙතරම් උසස් ජයග්‍රහණ ලැබූව ද මිනිසෙකු වශයෙන් අවාසනාවන්ත පරාජිතයෙකැයි කිව හැකිය.

මෙම නිර්ණයකය, ආගම හෝ සදාචාරය විසින් හිතුමතේ නිර්මාණය කරන ලද බලධාරී එකක් නොවේ. එය සිහිනයක් නොව සම්පූර්ණ සත්‍යයෙකි. මනුෂ්‍ය ස්වභාවය තුළ හා අවසාන යථාර්ථය තුළ මැනවින් මුල් බැසගෙන ඇති බැවින් ඉතිහාසගත සාක‍ෂ්‍ය වලින් තහවුරු කළ හැකි සත්‍යයෙකි. මෙම ජීවිතයෙහි වැරදි කි්‍රයාවනට ගොදුරු වූ සහ සුඛෝපභෝගීත්වයට ගොදුරු වූ කිසිම මනුෂ්‍ය කොට්ඨාශයක්, තමන්ගේ ශක්තිය තේජස හා බලය ආරක‍ෂා කර නොගත් අතර මනුෂ්‍ය වර්ගයාගේ සුභසාධනයට හෝ දියුණුවට කිසිම පරිත්‍යාගයක් කිරීමට ද ඔවුනට නොහැකි විය. පැරණි ප්‍රෞඪ ග්‍රීසිය සම මහා රෝම අධිරාජ්‍යය බිඳ වැටුණේ කුමක් නිසාද? පැරණි පර්සියාවේ හා ඉස්ලාම් ලෝකයේ දීප්තිය අබ්බාසීය යුගය වන විට මැළවී ගියේ කෙසේද? අවසාන වශයෙන් කායික තෘප්තියෙහි මුළුමනින් ඇලීගැලී සිටි මිනිසුන් සහිත දූෂිත ප්‍රංශ සමූහාණ්ඩුව දෙවැනි ලෝක යුද්ධයේ දී කි්‍රයා කළ ආකාරය අපට සිහි කළ නොහැකි ද? ඔවුහු තම සතුරාට වහා යටත් වූහ. තම මාතෘ භූමියේ ආරක‍ෂාව සලසනවාට තමා තම පෞද්ගලික ප්‍රීතිය ගැන වැඩි සැලකිල්ලක් දැක් වූ ඔවුනට සතුරාගේ සුළු පහර දීමකට වූව ද මුහුණ දීමට නොහැකි විය. දර්ශනීය නාට්‍ය ශාලා සහිත අධික ජයග්‍රහණයකින් යුත් පැරිසිය සතුරාගේ ෂෙල් වෙඩිවලින් ආරක‍ෂා, කර ගැනීමට ඔවුන් සිතු වා මිස, වරක් ප්‍රෞඪ හා නිර්භීත ජාතියක් වූ ඔවුන්ගේ හොඳ නම සහ ගෞරවය ආරක‍ෂා කර ගැනීම ගැන සිතුවේ නැත.

කරුණු හරිහැටි වටහා නොගත් පෙරදිග සමහර අය විසින්, ලෝකයේ බලවත් මහා භෞතික සම්පතින් ආඪ්‍ය ඇමෙරිකාව ද ලෞකික ප්‍රීතියෙන් ඇලිගැලී සිටින ජාතියක් හැටියට හඳුන්වනු ලැබීය. එහෙත්, මේ මිනිස්සු, ආධ්‍යාත්මික හා භෞතික අර්ථයෙන් ඇමරිකාව තවමත් තරුණ ජාතියක් බවට අමතක කරති. අප කවුරුනුත් දන්නා පරිදි, තරුණ වයසෙහි දී කිසියම් රහසිගත රෝගයක ලක‍ෂණ පහසුවෙන් සොයා ගත නොහැකිය. ශාරිරීක තත්ත්වය එම රෝගය පිටතට ප්‍රදර්ශනය වීම වැළක්වීමට තරම් ශක්තිමත් හෙයිනි. එහෙත්, එබඳු මිනිසෙකුගේ බාහිර සෞඛ්‍යයෙන් හා තරුණ ශක්තියෙන් තියුණු ඇසක් රැවටිය නොහැකිය. එබඳු තියුණු ඇසකට භයානක රෝගයෙහි ලක‍ෂණ පැහැදිලිවම හා නිවැරදි ව පිටතින් ම නිරීක‍ෂණය කළ හැකි හෙයිනි. ටික කලකට පෙර පුවත්පත්වල පළවුණු පහත සඳහන් පුවත් දෙකින් පැහැදිලි කරන පරිදි ඒ ඇමරිකාව ද විශේෂත්වයෙන් ගත නොහැක. විද්‍යාව දෙවියන් වහන්සේගේ නීතියෙහි ම කොටසක් වන බැවින්, එහි කොයි තරම් ප්‍රගතියක් තිබුණත්, මනුෂ්‍ය ස්වභාවය වශයෙන් කිසියම් මූලික වෙනසක් කිරීමට එයට නොහැකි වී ඇති බව එම පුවත් පෙන්වයි. දෙවියන් වහන්සේගේ නීතිය වනාහි ඔබට කිසි දිනක වෙනසක් දැකිය නොහැකි නීතියයි.

පළමුවැනි පුවත නම්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුව එහි සේවකයන් තිස් තුන් දෙනෙකු දූෂිත චරිත ඇත්තවුන් වශයෙන් හා රාජ්‍ය රහස් තම සතුරන්ට එලිදරවු කිරීම ගැන වරදකරුවන් වශයෙන් නෙරපා හළ බව විස්තර කරන්නකි.

දෙවැනි පුවත, විසි දහස් එක් සියයක් ඇමරිකානු හමුදා භටයන් පිරිසක් සන්නද්ධ සේවා අතහැර යෑම පිළිබඳව ය. ඇමරිකානු සන්නද්ධ හමුදා ශක්තිය හා ලෝක නායකත්වය හා ලෝක ආධිපත්‍යය ලබා ගැනීමට උත්සාහ කරන, තවමත් තරුණ ජාතියනට ඔවුන් අයත් වීම ද සලකා බලන විට මෙය සෑහෙන තරම් විශාල සංඛ්‍යාවකි.

මේ ආරම්භය පමණකි. ජීවිතය කෙරෙහි වර්තමාන ඇමරිකානු ජාතිය දක්වන භෞතික වාදී ආකල්පය තව දුරටත් පවත්වාගෙන යන්නේ නම් ඉතිරී අනිවාර්්‍ය අවශ්‍යතා ද ඇති වන්නේ ම ය.

කෙසේ වෙතත් මෙය පිංතූරයේ එක් පැත්තක් පමණකි. අනෙක් පැත්තෙන් පෙන්වන්නේ. ඇමරිකාවේ විශාලතම භෞතික නිපැයුම හා එයට සාපේක‍ෂව පවත්නා මිනිස් හා භූමි සම්පත් තිබුණ ද, මුළු ජාතියම කායික සන්තර්පනයෙහි ඇලී ගැලී සිටින බැවින් ඇමරිකානු ජාතිය ප්‍රතිපත්ති අතින් හා මිනිස් ගති අතින් හිස් බවක් පෙන්වයි. හුදු තිරිසන් මට්ටමෙන් ඉහළට නගින බවක් පෙනෙන්නේ ඉතා කලාතුරකිනි. එක්සත් ජනපදයේ නීග්‍රෝ ජාතීනට දක්වා ඇති මිලේච්ඡ සැලකිලි ගැන සිතන විට ජාතියක් වශයෙන් ඇමරිකානුන් ආධ්‍යාත්මික වශයෙන් දැනට පත් වී ඇති පහත් තත්ත්වය පැහැදිලි වන්නේ ය. තිරිසන් ආශාවන් තෘප්තිමත් කිරීමෙන් හා ඒවාට වහල් වීමෙන් පහත් තත්ත්වයට පත් වන ලෝකයට කවදාවත් ප්‍රගතියක් නැත.

මෙය ඇත්තෙන්ම වර්තමාන ලෝකය පිළිබඳ සංවේග ජනක චිත්‍රයකි. එහෙත් මේ තත්ත්වයෙන් ලෝකය තවමත් මුදවා ගත හැක්කේ ඉස්ලාම් ආගමට පමණි. මීට අවුරුදු එක් දහස් හාරසීයකට පෙර එය මිනිස් වර්ගයා තිරිසන් ආශාවන්ගේ අත්තනෝමතික තත්ත්වයෙන් මුදවා ගත්තේ ය. දැන් නැවතත්, රාග බන්ධන බිඳ දමා, උසස්, ආධ්‍යාත්මික තත්ත්වයට පැමිණීම සඳහා සියලූ ඉන්ද්‍රීයයන් යොමු කිරීමටත් ගුණ දහම් වර්ධනයටත් ජීවිතයේ යහපතටත් මනුෂ්‍ය වර්ගයාට ඇති එකම බලාපොරොත්තුව ඉස්ලාම් ආගමය.

අතීතයේ දී මනුෂ්‍ය ජාතිය තමාට තිරිසන් තත්ත්වයෙන් ඉහළට නැගීමට ශක්තියක් ඇති බව සැකයෙන් තොරව ඔප්පු කොට ඇති බැවින් ඉස්ලාම් ආගම යළි නැගී සිටීම විය නොහැකි දෙයකැයි ද, නිෂ්ප්‍රයෝජනවත් වැඩකැයි ද කීමට කිසිවකුට නුපුළුවන. මනුෂ්‍ය වර්ගයා කිසි විට වින්දනය අතින් කිසිදු වෙනසකට පත් නොවී ඇති බැවින්, අතීතයේ දී කළ හැකි වූ දෙයක් වර්තමානයේ දී ද ඒකාන්තයෙන් කළ හැකි විය යුතුය. මනුෂ්‍යත්වය පිළිබඳ ලෝකය දැන් මෙන් ම එදාත් පහත් මට්ටමට කිඳා බැස තිබුණේ ය. අද දක්නට ලැඛෙන ඉන්ද්‍රීය ප්‍රිණනය එදාද ඒ පරිද්දෙන්ම දක්නට ලැබුණි. ඉන්ද්‍රීය ප්‍රිණනයෙහි බැහැරින් දැකිය හැකි ක්‍රමවල වෙනසක්, එසේ නැතහොත් එයට සම්බන්ධ සුඛෝපභෝගී භාණ්ඩවල නම්වල වෙනසක් මිස එහි වර්තමානයෙහි හෝ අතීතයෙහි වෙනසක් නැත. පැරණි රෝමය ආචාරය ධර්ම අතින්, අද එහි සඳහන් වන පැරිසිය, ලන්ඩනය හා ඇමරිකානු නගර තරම්ම දූෂණය විය. අද කොමියුනිස්ට් රටවල දක්නට ලැඛෙන්නාක් මෙන් පැරණි පර්සියාවේ ද ලිංගික අසංවරය දක්නට ලැබුණි. ඉස්ලාම් ආගම ලෝකය එළිදරවු කරනු ලැබුයේ මෙම ඓතිහාසික තත්ත්වය පැවැති යුගයේ ය. එම සම්පූර්ණ වෙනසක් සිදු කළේ ය. මනුෂ්‍ය වර්ගයා ආචාර හීනතාවෙන් මුදා ගත්තේ ය. මනුෂ්‍ය ජීවිතයට විශාල පරමාර්ථයක්, ශක්තියක් හා චලනයක් දුන්නේ ය. සත්‍යයේ හා ගුණධර්ම මාර්ගයේ උත්සාහවත් වීමට ස්ප්‍රීතුවක් එක් කළේ ය. ඉස්ලාම් ආගම යටතේ මනුෂ්‍යත්වය සාරවත් ව වැඩුණේ ය. පෙරදිග මෙන් ම අපරදිග ද වසා පැතිර ගිය බුද්ධිමය හා ආධ්‍යාත්මික දියුණවකට පියවර තැබිණ. මනුෂ්‍ය ජීවිතයේ හැඩය හිටි ගමන් වෙනස් කරමින් ඉස්ලාම් ආගම ඇරඹු ඉදිරී ගමන නැවැත්වීමට කිසිදු පාපී හෝ අනර්ථකාරී බල වේගයකට නොහැකි විය. මේ අයුරින් ඉස්ලාම් ලෝකය, අනාගත ලෝකයේ ආලෝකයේත්, උත්තම භාවයෙත්, ප්‍රගතියේත් ප්‍රධාන උල්පත විය. එහි ආධිපත්‍යය පැවැති දීර්ඝ කාලය තුළ ඉස්ලාම් ලෝකය කිසි විටෙක භෞතික වශයෙන් හෝ බුද්ධිමය වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් පසුපසින් ගැටීමක් නොකළේය. කිසි විටෙක කිසිදු හේතුවක් නිසා ආචාර ධර්ම දූෂණයක්, ලිංගික අසංවරයක් හෝ අදේවත්වයක් සඳහා උත්සාහ නොකළේ ය. එහි අනුගාමිකයන් ඉස්ලාම් ආගමේ උත්තම භාවය හා ගෞරවනීය බව තම ජීවිතවලින් පිළිබිඹු කිරීම නවත්වා දමන තුරු ද, ඔවුහු සෑම මනුෂ්‍ය කි්‍රයාවක දීම යහපත් බැව් සහ උත්තම භාවයේ සංකේත ලෙස පෙනී සිටියහ. දෙවියන් වහන්සේගේ වෙනස් කළ නොහැකි නීතියට අනූව, ඔවුන්ගේ ශ්‍රී විභූතියත් බලයත් ඉන් පසු අවසන් වූයේ ය.

දැනට ඒකරාශි වෙමින් පවත්නා ඉස්ලාමීය සංවිධානය අතීතයෙන් ශක්තිය ලබා ගන්නා අතර අනාගතය ගැන අපේක‍ෂාවෙන් ලබා ගත හැකි හැම සම්පතක් ම උපයෝගී කොට ගනිති. එයට විශාල හැකියාවක් ඇත. එසේ ම අනාගතයක් ද ඇත. පොළෝ තලය මත තදින් ඔබා ගත් පාදයන්ගෙන් හා ස්වර්ගයටත් එහා තබා ගත් බැල්මෙන් යුතුව, උසස් දැකුම් සහිතව හා මෘග ආශාවන් නැතිව සිටීමට මිනිසාට හැකියාව ලබා දුන් ඉස්ලාම් මෙම ප්‍රාතිහාර්යය පෑමට හොඳටම ශක්තිය තිබේ.

ඉස්ලාම් ආගම හුදු ආධ්‍යාත්මික දර්ශනයක්වත් සදාචාරය සඳහා කරන ආයාචනයක්වත් ස්වර්ගය හා පෘථීවිය තුළ කෙරෙන බුද්ධිමය පර්යේෂණයක්වත් වන බවක් මෙයින් අදහස් නොකෙරේ. එය, ලෞකික කටයුතු සම්පූර්ණයෙන් ම වැළඳ ගත් ප්‍රායෝගික ජීවන ක්‍රමයකි. එයට නොපෙනෙන දෙයක් නැත. මෙය දේශපාලනමය ය, මෙය ආර්ථීකය, මෙය සමාජීය ය යන සම්බන්ධතා පිළිබඳව කිසිදු තැකීමක් නැතිව, මිනිසුන් එකට ඇද බැඳ තබන විවිධ සම්බන්ධතා රටාවක් ගැන සැලකිලිමත් වෙයි. සුදුසු නීති පැනවීමෙන් ඒ ක්‍රමවත් කොට මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ කරයි. මෙම ක්‍රියාවලින් ඉතාමත් වැදගත් ලක‍ෂණය වන්නේ පුද්ගලයා හා සමාජය අතරත් හේතුව හා විඥානය අතරත් අභ්‍යාසය හා වන්දනාව අතරත් පෘථීවිය හා ස්වර්ග අතරත් සාමය ඇති කොට, සෑම දෙයක් ම එකම සාමකාමී ඒකකයක් තුළ ලස්සනට එකට සිටීමට සැලැස්වීමයි.

මතු සම්බන්ධයි………

කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ්.
පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *