🌿 ආගමේ නාමයෙන් පැතිර යන බිද්අත් (ආගමට අලුතින් එක් කරන ලද නවකාරකම්) සහ ඒවාට විද්වත් ප්‍රතිචාර 🌿

නබි () තුමා යම් ක්‍රියාවක් නොකිරීම (අත්තර්ක්) එය ආගමේ තහනම් බවට සාක්ෂියක්ද? මව්ලිද් සැමරීමේ තර්කයට උසුල් අල්ෆික්හ් මූලධර්ම අනුව පිළිතුරක්

අෂ්-ෂෙයික් වලිද් අස්-සඅයිදාන් (حفظه الله) පවසන්නේ:

“නබි (ﷺ) තුමා හෝ ඔවුන්ගේ සහාබාවරුන් යම් ක්‍රියාවක් නොකළ බව (الترك – අත්-තර්ක්) පමණක් ගෙන, එය ආගමේ තහනම් බවට සෘජුව සාක්ෂියක් නොවේ.”

යන ප්‍රකාශය පදනම් කරගෙන, මව්ලිද් (මීලාදුන් නබි) සැමරීම සාධාරණීකරණය කරන අයගේ තර්කයට, උසුල් අල්ෆික්හ් (ඉස්ලාමීය නීති මූලධර්ම) අනුව ලබා දුන් ගැඹුරු විග්‍රහයක අදහස පහත දැක්වේ.

අත්තර්ක්‘ (ترك النبي) වර්ග දෙකක්

නබි (ﷺ) තුමා යම් ක්‍රියාවක් නොකිරීම, විද්වත් වශයෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදේ.

  1. අවශ්‍යතාව තිබුණත්, බාධාවක් නිසා නොකළ අවස්ථාව

(وجود المقتضي ووجود المانع)

එනම්, එම ක්‍රියාව කිරීමට හේතුවක් සහ අවශ්‍යතාවක් තිබුණද, එය කිරීම වළක්වන බාධාවක් (මානිඃ) පැවති අවස්ථාවකි.

උදාහරණය:

රමළාන් මාසයේ තරාවීහ් නමස්කාරය සෑම රාත්‍රියකම ජමාඅත් ලෙස මෙහෙයවීමට නබි (ﷺ) තුමාට අවශ්‍යතාව තිබුණි. නමුත් එය උම්මාවට අනිවාර්ය කරනු ලැබේදැයි බිය වූ නිසා එය අඛණ්ඩව සිදු නොකළහ.

නබි (ﷺ) තුමාගේ වියෝවෙන් පසු එම බාධාව ඉවත් වූ බැවින්, උමර් (රළියල්ලාහු අන්හු) එය නැවත ජමාඅත් ලෙස සංවිධානය කළහ. එබැවින් එය බිද්අත් නොවේ.

  1. අවශ්‍යතාව තිබුණත්, කිසිදු බාධාවක් නොතිබියදී නොකළ අවස්ථාව

(وجود المقتضي وانتفاء المانع)

මව්ලිද් පිළිබඳ සාකච්ඡාවේ ප්‍රධාන කරුණ මෙයයි.

යම් ක්‍රියාවක් කිරීමට අවශ්‍යතාව, හේතුව සහ සුදුසු පරිසරය නබි (ﷺ) තුමාගේ කාලයේත් සහ සහාබාවරුන්ගේ කාලයේත් තිබුණි. එම ක්‍රියාව කිරීම වළක්වන ආර්ථික, ආරක්ෂක හෝ ආගමික බාධාවක්ද නොතිබුණි.

එවැනි තත්ත්වයකදී නබි (ﷺ) තුමා හෝ ඔවුන්ට වඩා ඉස්ලාමයට ආදරය කළ සහාබාවරුන් එම ක්‍රියාව නොකළේ නම්, ඔවුන් එය නොකළ බවම එය ආගමේ අනුමත නොවන ක්‍රියාවක් බවට ප්‍රබල සාක්ෂියක් ලෙස සලකනු ලැබේ.

මව්ලිද් සැමරීම සම්බන්ධයෙන් මෙය යෙදවීම

මව්ලිද් පවත්වන අය පවසන්නේ:

“අපි මෙය කරන්නේ නබි (ﷺ) තුමාට ඇති ආදරය නිසාත්, ඔවුන්ගේ සුන්නාව ගෞරව කිරීම සඳහාත්, ඉස්ලාමයට අලුතින් පැමිණෙන අයට නබිතුමාගේ ජීවිතය හඳුන්වා දීම සඳහාත්ය.”

අවශ්‍යතාව (المقتضي)

නබි (ﷺ) තුමාට ආදරය කිරීමේ අවශ්‍යතාවත්, ඔවුන්ට ගෞරව කිරීමේ අවශ්‍යතාවත්, නබි (ﷺ) තුමාගේ කාලයේත්, ඔවුන්ගේ වියෝවෙන් පසු ජීවත් වූ සහාබාවරුන්ගේ කාලයේත්, අපට වඩා බොහෝ ගුණයකින් වැඩි විය.

බාධාව (المانع)

ඔවුන් එකතු වී නබි (ﷺ) තුමාගේ උපන් දිනය සැමරීමට කිසිදු බාධාවක් නොතිබුණි.

එසේ අවශ්‍යතාව තිබියදීත්, බාධාවක් නොතිබියදීත්, සහාබාවරුන් කිසිදු අවස්ථාවක මව්ලිද් උත්සවයක් පවත්වා නැති නම්, ඔවුන් ආගමක් ලෙස අත්හැර දැමූ දෙය අපද අත්හැරීමයි සැබෑ සුන්නාව අනුගමනය කිරීම.

ඒ වෙනුවට එය ආගමක් ලෙස පසුකාලීනව හඳුන්වා දීම බිද්අත් ලෙස සැලකේ.

ප්‍රධාන මූලාශ්‍ර සහ යොමු

මෙම අත්තර්ක් මූලධර්මය ඉස්ලාමීය උසුල් විද්වතුන් විසින් විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

  1. අල්ඉඅ්තිසාම් (كتاب الاعتصام)

කර්තෘ: ඉමාම් අෂ්-ෂාතිබී (رحمه الله)

ඔහු බිද්අත් පිළිබඳ විස්තර කිරීමේදී මෙසේ පැහැදිලි කරයි:

අවශ්‍යතාවත්, සුදුසු පරිසරයත් තිබියදීත්, කිසිදු බාධාවක් නොතිබියදීත්, සලෆුස්-සාලිහීන් යම් ක්‍රියාවක් නොකළේ නම්, එය නොකිරීමම සුන්නාව වන අතර, එය කිරීම බිද්අත් වේ.

  1. ඉක්තිදාඅුස්සිරාතිල් මුස්තකීම් (اقتضاء الصراط المستقيم لمخالفة أصحاب الجحيم)

කර්තෘ: ෂෙයිකුල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා (رحمه الله)

2 වන වෙළුම, 590–600 පිටු (මුද්‍රණ අනුව වෙනස් විය හැක).

මෙම ග්‍රන්ථයේ, “දීනයට ගෞරවය” යන නාමයෙන් පසුකාලීනව ඇති කළ මව්ලිද් වැනි නවකාරකම්, “අවශ්‍යතාව තිබියදීත්, බාධාවක් නොතිබියදීත්, පෙර පරම්පරාව එය නොකළේය” යන මූලධර්මය මත ප්‍රතික්ෂේප කර ඇත.

නිගමනය

කෙටියෙන් කිවහොත්, ආගමට අයත් නොවන ලෞකික කටයුතු (ඇඳුම්, වාහන, ආගමෙන් තහනම් නොකළ සිරිත් ආදිය) සම්බන්ධයෙන් නබි (ﷺ) තුමා යම් දෙයක් නොකළ බව පමණක් එය තහනම් බවට සාක්ෂියක් නොවේ.

නමුත් ඉබාදාත් (වන්දනා ක්‍රියා) සහ ආගමික කටයුතු සම්බන්ධයෙන්, හේතුව තිබියදීත් නබි (ﷺ) තුමා නොකළ ක්‍රියාවක් පසුකාලීනව “ආගම” යන නාමයෙන් හඳුන්වා දීම, ඉස්ලාමීය සීමාවන් ඉක්මවා යෑමක් ලෙස සලකනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *