සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වය ට පත් වු එකකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීම ට බටහිර චින්තනය දෙස ට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීම ට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීම ට ඇති සුදුසු ම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම මෙහි අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
කනස්සලු සහ වසවිස
හැකි පමණ වැඩි වැඩියෙන් දේපළ ධනය අත්කර ගැනීම සඳහා මිනිසුන් අතර පවත්නා අශෝභන තරඟකාරීත්වය ගැන බටහිර ලොව විද්වත් හු නිතර නිතර පැමිණිලි කරති. මෙකී තරඟයෙ හි නිරත වී සිටින්නන්ගේ සිත කය දෙකම එම අරමුණෙහි ඇලී ගැලී පවතින නිසාවෙන් මොවුහු තම මුළුමහත් වීරියම ධනය ඉපයීමෙ හි යොදවති.
යන්ත්‍රයක චලනය වන කොටස් වල ලිස්සන ගතිය සඳහා සහ කිසියම් කොටස් දෙකක් අතර ඝර්ෂණය සිදු වන විට ගිනි පුලිඟු ඇති වීම වැළැක්වීම සඳහා ලිහිසි තෙල් දැමීම අවශ්‍ය වෙයි. දේපළ ධනය අත්කර ගැන්මට සටන් කරනු පිණිස වූ මිනිසුන්ගේ හැකියාව ගැන සලකන කළ ප්‍රමාණවත් විවේකයක් විරාමයක් නොමැති වීම නිසාවෙන් මානසික වශයෙන් බිඳ වැටෙන තාක් කල් ඔවුහු කාංසාවෙන් ම පසු වෙති.
මිනිස් ශරීර හා ආත්මයන් තුළ භෞතිකවාදී තෘෂ්ණාව සහ එහි පීඩාවන් විසින් ඉතිරි කරන අද සේයාවන් ගැන විස්තර කරමින් ඩේල් කා(ර්)නගී “මම නිව්යෝර්ක් නගරයේ මේ වන තාක් වසර ගණනක් වාසය කෙළෙමි. ඒ වුවද කනස්සල්ලෙන් හට ගන්නා ආතතික ආබාධයක් ගැන අනතුරු ඇඟවීම් සඳහා මේතාක් මා වෙත කිසිවෙක් නොපැමිණීය. නමුත් වසුරියෙන් සිදු වන හානිය ට වඩා දහස් වාරයක හානියක් මෙම කාල පරාසය තුළ කනස්සල්ලෙන් හට ගන්නා ආබාධ නිසා සිදු වී තිබේ. දැනට නිව්යෝර්ක් නගරයේ වාසය කරන දස දෙනෙකුගෙන් එක් කෙනෙකු ට කනස්සල්ල හා ආවේගික ව්‍යාකුලතාවල පෙලඹවීමෙන් ස්නායු බිඳ වැටීම් සිදු වන බවට අනතුරු ඇඟවීම් සඳහා මගේ දොරෙහි සීනුව නාද කර නැත.
ඇමෙරිකානුවන් විසි දෙනෙකුගෙන් කෙනෙකු තම ජීවිත කාලය තුළ ටික කලක් මානසික සායන වල කල් ගත කරන බවට මානසික වෛද්‍යවරු තක්සේරු කරති. දෙවැනි ලෝක සංග්‍රාමය පැවති වකවානුව තුළ හමුදාව ට බැඳෙන්න ට අයදුම් කළ තරුණ ඇමෙරිකානුවන් සය දෙනෙකුගෙන් කෙනෙකු කායික හෝ මානසික හෝ ආබාධයකින් පෙළීමේ හේතුවෙන් හමුදාව ට නොතේරී ප්‍රතික්ෂේප වූ බව තිත්ත ඇත්තකි. මායෝ (Mayo) සායනයේ වෛද්‍ය හැරල්ඩ් සී. හැබීස් තමා විධායක නිලධාරීන් 176 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ බව ද ඔවුන්ගේ වයස් වල සාමාන්‍යය අවුරුදු 44.3 ක් බව ද සඳහන් කරයි. මොවුනතුරින් තුනෙන් එක් කෙනෙකු ට වඩා පිරිසක් හදවත් රෝග ජීර්ණ පද්ධතියේ තුවාල හෝ අධික රුධිර පීඩනය වැනි ආබාධයකින් පෙළුනහ. මේ ගැන සිතන්න. අපගේ ව්‍යාපාරික සමාජයේ තුනෙන් එක් කොටසක් වයස අවුරුදු 45 වන්නටත් පෙරාතුව හදවත් රෝග උදාර තුවාල සහ අධික රුධිර පීඩනය නිසා තම දිවිය නැති කර ගනිති. සාර්ථකත්වයට ලැබී තිබෙන මිල කෙබඳු ද? හැරත් ඔවුන් සාර්ථකත්වය ද ලබා ගෙන නැත. උදරයේ තුවාල සහ හදවතේ රෝග සහිත ව ව්‍යාපාරයේ දියුණු ව තකා වධ විඳින්නෙකු ට අත්වන සාර්ථකත්වය කුමක් ද? ශරීර සෞඛ්‍යය නැති කර ගෙන මුළු මහත් ලෝකයම හිමි කර ගත්ත ද එහි ඇති වාසිය කුමක් ද? මුළු ලොවම හිමි වුව ද ඔහුට නිදියා ගත හැකි වන්නේ එක ඇඳක් මත පමණි. අනුභව කළ හැකි වන්නේ දිනකට තුන් වරක් පමණි. ආධුනික සේවකයෙකු විසින් වුව ද එය කරන්නට පුළුවන. වඩාත් සැහැල්ලුවෙන් නිදියන්නට ද ඔහු ට පුළුවන. මහත් බලසම්පන්න විධායක නිලධාරියෙකු ට වඩා හොඳින් ආහාර වල රස විඳින්නට ද ඔහු ට පුළුවන් වෙයි. අවංකව ම පවසනවා නම් වයස 45 දී ජීවිතය විනාශ කර ගන්නවා ට වඩා කිසිදු වගකීමකින් හෝ කරදරයකින් තොර නිදහස් පුද්ගලයෙකු වන්න ට මම වඩාත් කැමැත්තෙමි”යි සඳහන් කරයි. (How to Stop Worrying and Start Living – 41 වැනි පිටුව).
“රෝගීන් අතුරින් පස් දෙනෙකුගෙන් සිවු දෙනෙකුට ම තම උදරාබාධය ට අදාළ කායික හේතුවක් නොමැති බව පැහැදිලි විය. ඔවුහු බිය කනස්සල්ල වෛරය සුපිරි ආත්මාර්ථකාමිත්වය සහ යථාර්ථ ලෝකයට හැඩ ගැසීමේ නොහැකියාව යන ආබාධයන්ගෙන් පෙළුනහ” යනුවෙන් වෛද්‍ය ඩබ්ලිව්. සී. අල්වාරෙස් සඳහන් කරයි.
මෙහිලා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) හදීස් කිහිපයක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. “උත්තරීතර අල්ලාහ් එකම දුකක් (එනම් මරණින් මතු ලොව) කෙරෙහි අවධානය යොමු කරන්නා ව මිහිපිට දුක්කරදර වලින් ආරක්ෂා කරන්නේය. එනමුත් තමුන් ගැන පමණක් දුක්කරදර වන්නාගේ මිහිපිට කටයුතු කුමක් වුව ද ඒවා අල්ලාහ් නොසලකා හරින්නේය”. (අල් හාකිම් ඇසුරිනි).
අනාගතය කියන මෙබඳු මාර්ගෝපදේශ වල අරමුණ වනුයේ මිනිස් සිත්සතන් තුළ සංහිඳියාව තහවුරු කිරීම සහ මෙලෝ සතුට පසුපස හඹා යාමේ දී ඒ අතුරින් යම් කිසිවක් නොලැබීයාදෝයි තැවෙමින් ගැටලු වර්ධනය කර ගන්නා වූ තෘෂ්ණාව ඉවත් කිරීම ද වේ.
“යම් කෙනෙකුගේ අපේක්ෂාව පරලොව ගැන සෙවීම නම් අල්ලාහ් ඔහුගේ සිත තුළ ස්වයංපෝෂණය ඇති කොට කටයුතු නිරවුල් කරන්නේය. තවද ලෝකය බැගෑවෙන් ඔහු වෙතට ළං වන්නේය. එනමුත් කිසියම් කෙනෙකුගේ අපේක්ෂාව ලෞකික සුබසෙත අරභයා පමණක් නම් අල්ලාහ් ඔහුට දරිද්‍රතාව ඇති කොට ඔහුගේ වැඩ කටයුතු අවුල් කරන්නේය. ඒ වුවද ඔහු වෙනුවෙන් වෙන් කොට තිබෙන ප්‍රමාණය පමණක් සැබැවින් ම ඔහු වෙතට ළඟා වන්නේය.” (අත් තිර්මිදී ඇසුරිණි).
මෙම කරුණ අලළා තවත් හදීස් රැසක් තිබේ. ඒවා දුර දකින නුවණින් යුක්තය. ඒවා නිසි පරිදි නිවැරදි ලෙස යොදා ගත්තේ නම් තම පැවැත්ම සඳහා කරන තරඟ වදින්නන්ගේ උමතු වේගය අඩු කර ගැනීමට අනුබලයක් වෙයි. කෙසේ නමුත් ඇතැම් ඉස්ලාමීය ‘තාපසයෝ’ මුලින් පවසන ලද හදීසයන් ට වැරදි අර්ථ කථන සපයමින් ජීවන ක්‍රියාකාරකම් වලින් දුරස්ථ වීම සඳහා වැරදි ලෙස යොදා ගත්හ. මෙමගින් ඔවුහු දහම සහ ලෞකික ජීවිතය යන දෙකම අත හැර දැමුහ.
ජීවිතය රැක ගැන්ම සහ පරිපූර්ණ කර ගැන්ම සඳහා එහි අවශ්‍යතා සහ ආශ්වාදයන් බුක්ති විඳිමින් එතුළ කඩිසර ලෙස ක්‍රියාකාරී වන මෙන් ලෝකය ඉල්ලා සිටියි. මෙකී කඩිසරකම වෙනුවෙන් බෙහෙවින් වෙහෙස මහන්සි වන්නට අපට සිදු වෙයි. ඒ අතර එය නිවැරදි මාර්ගයෙන් අප ව ඉවත ට හසුරුවන්නක් නොවීම අවශ්‍ය වෙයි.
අප වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් වියහියදම් කරනු පිණිස ධනය සෙවීම අවශ්‍ය ය. අපට කිසියම් මුදලක් ලැබෙන විට ජීවිතය රැක ගෙන එය යහපත් කර ගැන්ම සඳහා පරිහරණය කළ යුතු වෙයි. එනමුත් ශරීර සෞඛ්‍යය ගැන නොතකමින් නා නා ප්‍රකාර රෝගාබාධ වලට ඇරයුම් කරමින් හා දුක්කරදර වැඩි කර ගනිමින් මිල මුදල් සෙවිල්ල තම ඒකායන අරමුණ බවට පත් කර ගැනීම ඉඳුරා උමතු ක්‍රියාවකි.
මිනිස් සිත්සතන් තුළ ශ්‍රේෂ්ඨත්වය සහ තෘප්තිමත් භාවය කාවැද්දීම ඉලක්ක කර ගත් මහඟු ඉගැන්වීම් ඉස්ලාමයෙ හි අප්‍රමාණව දක්නට තිබේ. කාසි පනම් මිල මුදල් සෙවීමට දක්වන අධික ලෝභය හේතුවෙන් සිත කය දෙකට ම බලවත් හානි සිදු වෙයි. මුදල ට දක්වන තදබල කෑදරකම නිසා එය නැති වූ කලෙක සිත ට ඉමහත් කනස්සල්ලක් දැනේ. “අප දන්නා කරුණක් නම් කොටස් වෙළෙඳ පොළේ කොටස් වල අගය අඩු වන විට කොටස් හිමිකරුවන්ගේ රුධිරයේ සහ මුත්‍රා වල සීනි ප්‍රමාණය වැඩි වන්නේයැ”යි ඩේල් කා(ර්)නගී සඳහන් කරයි.
මේ පිළිබඳ ව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) කියමනක ට වඩා යහ ප්‍රතිකාරයක් දක්නට නැත. එනම් “දේපළ ධනය සිත් ගන්නා සුළුය. එම නිසා එය මනා ලෙස අත්කර ගන්නා වූ පුද්ගලයා එමගින් ආශීර්වාදය ට ලක් වන්නේය. එහෙත් හිතුමතේ ධනය උපයන්නා ට කිසිඳු ආශීර්වාදයක් අත් නොවන්නේය. තවද ඔහු කිසිම රුචියකින් තොරව කෑම ටික ගිල දමන්නෙකු ට සමාන වෙයි”. (අත් තිර්මිදී ඇසුරිනි).
දේපළ ධනය යනු ඉතා ප්‍රණීත ලස්සන පැහැපත් පලතුරක් මෙනි. එය තමන් සතු කර ගැනීම ට ජනයා යොමු වෙති. එය ස්වාභාවිකය. එසේ වුව ද එය තමන් සතු කර ගැනීම ට එක් එක් පුද්ගලයා වෙනස් වෙනස් අන්දමින් ක්‍රියා කරයි. ඇතැම් හු බොහෝ වෙහෙස මහන්සියෙන් බහුල ලෙස ධනය උපයති. තවත් සමහරෙක් අනුන්ගේ ධන සම්පත් සොරා ගෙන තමන්ගේ ගොඩ ට එකතු කර ගනිති. තවත් සමහරු කිසිදු ආයාසයකින් තොර ව ධනය ලබා ගනිති. සමහරු ධනය තව තවත් වැඩිකර ගැනීම සඳහා ඒ ගැන සිතමින් නිරන්තරයෙන් ම කනස්සල්ලෙන් ම පසු වෙති. ඉදින් ශ්‍රේෂ්ඨතම මිනිසුන් වනුයේ දේපළ ධනය ගෞරවාන්චිත ලෙස උපයන උදවියයි කිසිත් අත්කර නොගත්තා වුව ද ඔවුහු දැඩි කනස්සල්ලක් නොදක්වති.
මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසුහ. “ජනයිනි පොහොසත්කම යනු දේපළ ධනය වැඩි කර ගැනීමයි. එහෙත් සැබෑව නම් සිත ට දැනෙන ප්‍රමාණවත් බවයි. උත්තරීතර අල්ලාහ් සිය ගැත්තන් ට පිරිනමන්නේ ඔහු වෙනුවෙන් නියම කළ ප්‍රමාණයයි. ඒ නිසා ඔබගේ අවශ්‍යතා දෙස බලන්න. හලාල් වූ (අනුමත වූ) ප්‍රමාණය පමණක් ගන්න. හරාම් වූ (අනුමත නැති) දෑ අත් හරින්න.” (අබු දාවුද් ඇසුරෙනි).
ඉස්තරම් ම ආශාව වනුයේ උදාරවන්ත හා කරුණාවන්ත ලෙස හලාල් වන දෙය ඉපයීම හා ආත්ම සංයමයෙන් පසු වෙමින් හරාම් වන දෙය ප්‍රතික්ෂේප කිරීමයි. ඉන් පසු මරණින් මතු ලොවට සාපේක්ෂ ව මෙලොවේ නොවැදගත්කම තේරුම් ගෙන මතු ලොව විනිශ්චය දිනයේ (කියාමත් දිනයේ) උත්තරීතර අල්ලාහ් හමුවීමට හා ඔහුගේ සම්මානය පිළිගැනීමට දක්වන ආශාවයි.
පුද්ගලයෙකු තුළ කැකෑරෙන සෑම දුකක් ම ඉවත් කළ හැකි වනුයේ උත්තරීතර අල්ලාහ් ගැන නිවැරදි ලෙස අවබෝධ කර ගැනීම හරහා ය. එවිට ඔහුගේ සිතෙ හි සාමය හා සතුට පිරී ඉතිරෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
“ඔවුහු කවරහු ද යත් විශ්වාස කොට තම හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුම ට පත් වුවන් ය. සැබවින් ම හදවත් සැනසුම ට පත් වනුයේ අල්ලාහ් ව මෙනෙහි කිරීමෙනි. විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන් ට ශුභාශිංසනයයි. තවද යහපත් ලැගුම් ගන්නා ස්ථානයයි.” (අල් කුර්ආන් 13 : 28 – 29).
මොවුහු තමන් ට ඉස්ලාමයෙ හි සකසා තිබෙන නිවැරදි මාර්ගය පිළිබඳ විශ්වාසයෙන් හා ශ්‍රද්ධාවෙන් සතුට ට පත් වෙති.
බටහිර රටවල වෙසෙන බොහෝ දෙනෙකු ට මෙම නිවී සැනසුණු හදවත් අහිමි ය. ඩේල් කා(ර්)නගීගේ අදහස බලමු. “ඇමෙරිකාවේ අංක එකේ මිනීමරුවා කනස්සල්ල බව සංඛ්‍යා ලේඛන වලින් සනාථ වෙයි. දෙවෙනි ලෝක සංග්‍රාමය පැවති අවධියේ මිලියන තිහක තරම් ප්‍රමාණයක් සටන් පෙරමුණේ මරුමුවට පත් වූහ. එකී කාල පරිච්ඡේදය තුළ දී පමණක් මිලියන දෙකක සාමාන්‍ය ජනයා එක්තරා වර්ගයක හදවත් රෝග වලින් මිය ගියහ. ඒ අතරින් මිලියනයක් ම සිතේ කනස්සල්ල සහ ජීවන විලාසයේ ආතතිය නිසා සිදු වී තිබේ. එලෙස ම අඩු වියේ මරණය ට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ හදවත් රෝගයි. ‘කනස්සල්ල ට එරෙහි ව සටන් වදින්න ට නොදත් ව්‍යාපාරිකයෝ අඩු වයසේදී ම මිය යති යැ’යි වෛද්‍ය ඇලෙක්සින් කැරල් කියයි”.
ඇමෙරිකානු ආදි වාසීන් ට හෝ චීන ජාතිකයින් ට හදවත් රෝග වැලඳෙන්නේ ඉතා කලාතුරකිනි. ඔවුන් ජීවිතය ගැන සලකන්නේ ඉතා සැහැල්ලුවෙනි. එනමුත් හෘද අකර්මණ්‍ය (Heart Failure) හේතුවෙන් මරණයට පත් වන දොස්තරවරුන්ගේ සංඛ්‍යාව එම හේතුවෙන් මරණයට පත් වන ගොවියන්ගේ සංඛ්‍යාව මෙන් විසි ගුණයක් බව පෙනෙයි. මන්ද දොස්තරවරුන් ට තිබෙනුයේ පීඩනයට ලක් වූ ද කලබලකාරී වූ ද ජීවිතයකි. ඒ සඳහා ඔවුහු විශාල වන්දියක් ගෙවති.
ඒකාන්ත වශයෙන් ම කනස්සල්ල හා කාංසාව විසින් යෝධයින් විනාශ කර දමන්නටත් ප්‍රාණවත් බව සපිරි ඔවුන්ගේ මුහුණු පවා විනාශ කර දමන්නටත් පුළුවන. ස්නායු දුර්වලතාවකින් පීඩිතව දත් එළියට ඇද වැටෙමින් දුකෙන් පසු වන පුද්ගලයෙකු දැක මම විමතියට පත්වීමි. දුෂ්කර මානසික ව්‍යාකුලතාවන් ශරීරයට බෙහෙවින් බලපාන බව නුතන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වල සඳහන් වන බව දිටිමි. එමගින් ජීර්ණ පද්ධතියේ ස්රාවයන් විෂ බවට පත් කරයි. මේ නිසා ආහාර වල අඩංගු ගුණය කුස තුළ අවශෝෂණය කරන්න ට නොදී වළක්වනු ලබයි. එසේ ම දත් වල බිඳීම් සහ විතැන්වීම් ද සිදු කරනු ලබයි.
මහලු වියට පත් වන විට ය’කුබ් නබි තුමාගේ දෑස් හි පෙනුම නැති වී ගිය බව කියවා ඇත්තෙමු. මුහම්මද් ධර්ම දුතයාණන්ගේ බිරිය වූ ආයිෂා තුමිය ට එම යුගයේ ආත්ම වංචනිකයින් අපවාද නැගු විට එතුමිය කෙතරම් දුරට කාංසාවේ හිණි පෙත්තට පත් වුණාද? ‘දුක නිසා මගේ ළය පැළී යනු ඇතැයි සිතුවෙමි’යි කියන තරම ට එතුමිය හැඬු කඳුළෙන් පසු වුණු බව ද කියවා ඇත්තෙමු.
ජනයා දුක්ඛදෝමනස්සයන් හි අවදානම වටහා ගත්හ. නිදසුනක් වශයෙන් ජර්මනියේ ‘සතුටෙ හි බලමහිමය’ නමැති ආදර්ශ පාඨය සහිත ව කණ්ඩායමක් ස්ථාපිත කරන ලදී. තම කාලයෙන් හා ධනයෙන් යහපත අත්කර ගැනීම සඳහා ජීවිතය පිළිගැනීම අවශ්‍ය වෙයි. තවද එම රටවල පාලකයින් තම වැසියන්ගේ නෂ්ටාපේක්ෂාවන් අශුභවාදයන් සහ අවනතියෙන් පෙළීම වැළැක්වීමට කටයුතු කිරීම අවශ්‍ය වෙයි. මන්ද, ජාතීන් මියැදෙන්නටත් පෙරාතු ව මෙම සීතල හැඟීම් විසින් ඔවුන්ගේ මිනී පෙට්ටි වලට ඇණ ගැසෙන්නට පුළුවන් නිසාය.
මිය සැතපෙන කෙනා සැබැවින් ම මියැදුණා නොවෙයි. මිලාන ව දුක්මුසු ව පසුබට ව අදිරියෙන් අපේක්ෂා අරමුණු හෝ පැතුම් නොමැති ව ජීවතුන් මැද සිටින්නා සැබැවින් ම මියැදුණා වෙයි.
උනන්දුව උද්‍යෝගය පිළිකෙව් කරන යහපත් සිහිකල්පනා ඇති පුද්ගලයෙකු හෝ අශුභවාදය හා බලාපොරොත්තු සුන් ව ජීවත් වන (අල්ලාහ් ගැන) විශ්වාස කරන්නෙකු සිටිතැයි මම නොසිතමි. කිසියම් බලපෑම් සහිත සිද්ධීන් හේතුවෙන් ඔහුගේ මානසික සහනය හා සැනසිල්ල නැති වුවා වන්නට පුළුවන. එවිට ඔහු පිහිට සහ ආරක්ෂාව සොයා දිව්‍යමය බලවේගය වෙතට හැරීම අවශ්‍ය වෙයි. මන්ද, සිත් තැවුලෙ හි බලපෑම් වලට යටත් වුවා නම් එමඟින් ඔහුගේ අදිටන නැති වී දිරිය සුන් වී යන නිසාය.
දුර්භාග්‍යයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස උත්තරීතර අල්ලාහ්ගෙන් පිහිට සෙවිය යුතු බව මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) පවසන්නේ මේ නිසාය. අබු සයිඩ් තුමා මෙසේ පවසයි. “දිනක් මුහම්මද් තුමාණෝ මස්ජිදය ට පැමිණියහ. අබු උමාමාහ් අන්සාර්වරයා එහි සිටිනු දුටු එතුමාණෝ ‘නැමදුම් සඳහා නියමිත වේලාවක් නොවන දැන් ඔබ මස්ජිදය තුළ හිඳ ගෙන සිටින්නේ මක්නිසාදැ’යි ඔහුගෙන් විමසුහ. ‘මම ණය බර නිසා කනස්සල්ලෙන් පසු වෙනවා යා! රසුලුල්ලාහ්’ යනුවෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.’ණය තුරුස් වලින් සහ කනස්සල්ලෙන් පසු වන අවස්ථා වල පැවසිය යුතු දේවල් ඔබට කියා දෙන්න ද? ඔබ ඒවා කී විට අල්ලාහ් ඔබේ කනස්සල්ල ඉවත් කොට ණය පියවන්නේයැ’යි මුහම්මද් තුමාණෝ පැවසු විට ‘කියා දෙන්න යා! රසුලුල්ලාහ්යැ’යි පිළිතුරු ලැබුණි. එවිට එතුමාණෝ ‘යා! අල්ලාහ් කනස්සල්ලෙන් ද දුකෙන් ද මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. නොහැකියාවෙන් හා ඈලියාවෙන් මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. බියගුලුකමින් හා මසුරුකමින් මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. ණය තුරුස් වලින් හා මිනිසුන් විසින් මා යටහත් නොකොට මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි’ යනුවෙන් උදේ සවස කියන්නැ’යි ඔහුට කීහ. ‘මම එපරිද්දෙන් ම කෙළෙමි. අල්ලාහ් මා කනස්සල්ලෙන් හා ණය තුරුස් වලින් නිදහස් කළේයැ’යි ඔහු කීය”. (අබු දාවුද් ඇසුරෙනි).
යම් යම් වචන නැවත නැවතත් කීම තුළින් අලුත් මානසික තත්ත්වයක් අත් කර ගැනීමේ පථයක් ඇති වීම ස්වාභාවික ය. මේ නිසා මිනිස් ජීවිතය වෙනස් වන්න ට ඉඩ තිබේ. ඒවා ට උත්තරීතර අල්ලාහ්ගේ පිහිට අත් වන බැවින් ඉන් පසු ඔහුගේ ගමන් පිළිවෙළ නිසි පරිදි මෙහෙයවනු ලැබේ.
නැමදුම් කාලයෙන් එපිට එක්තරා පුද්ගලයෙකු මස්ජිදයේ හිඳ ගෙන සිටිනු දුටු මුහම්මද් තුමාණෝ පුදුමයට පත් වූ බව දිටිමි. එම නිසා එතුමාණෝ මානසික නිරෝධතාවන් හෝ යටි හිතේ අනුමාන වලින් තොර ව දවස ආරම්භ කරන්න ට ඔහු ට ප්‍රාර්ථනාවන් ඉගැන්වූහ. ෂද්දාද් බින් අව්ස් තුමා මෙසේ වාර්තා කරයි. “මුහම්මද් නබි තුමාණන් මෙම ප්‍රාර්ථනාව පාරායනය කරන මෙන් අපට පැවසුහ. ‘යා! අල්ලාහ් දැහැමි කටයුතු වලදී අචල බව ද නිවැරදි මාර්ගයෙ හි ඇලීමට ස්ථිර අධිෂ්ඨානය ද ඔබගේ උදවු උපකාර වලට කෘතවේදී වීමට හා ඔබට මා කරන නැමදුමෙ හි ශ්‍රේෂ්ඨත්වය උදෙසා ද ඔබගෙන් අයදිමි. මට නොපළුදු හදවතක් හා සත්‍ය ගරුක දිවක් ලබා දෙන ලෙස අයදිමි. ඔබ දන්නා මාගේ පාපයන්ගෙන් මා ආරක්ෂා කරන ලෙස ද ඔබේ ක්‍ෂමාව ද අයදිමි.” (අත් තිර්මිදී ඇසුරෙනි).
අපගේ පසුගිය කෘති වල සඳහන් කළාක් මෙන් දුආ – ප්‍රාර්ථනාවන් වනාහි උද්‍යෝගිමත් භක්ති ගීතයකට වඩා ප්‍රබල ය. පෙරමුණ බලා ගමන් කරන හමුදා බල ඇණියක් වුව ද එමඟින් කලත්තනු ලැබේ. ඒවා ජීවිතයේ දුෂ්කරතාව ජය ගනු පිණිස සත්‍ය ඥානය සහ නියතභාවයේ මහඟු පිහිට නියෝජනය කරයි. ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) මනා සෞඛ්‍යය තත්ත්වය සහ යුක්තිය නම් ධජය යටතේ කටයතු කිරීම සඳහා සලකා බැලිය යුතු හා ක්‍රියාව ට නැඟිය යුතු අරමුණු ද එමඟින් විස්තර කරනු ලබයි.
මෙම ක්‍රමය පිළිපැදීම තුළින් මිනිසෙකු ට මානසික හා ශාරීරික වශයෙන් සාමකාමී ජීවිතයක් ගත කරන්න ට හැකි වෙයි. ඇතැමෙකු දුආ – ප්‍රාර්ථනාවන් ගැන දකින්නේ ජීවිතයට ඇති සෘණාත්මක ආකල්පයක් වශයෙනි. එය කෙනෙකුගේ අවශ්‍යතාව විශ්වයේ අධිපති වෙත ඉදිරිපත් කොට ඒ පිළිබඳ ව බලාපොරොත්තු ඇති කර ගන්නා ක්‍රමවේදයක් නොවේ ද?
ප්‍රාර්ථනාවන් වනාහි ගමන් මාර්ගයක් පැහැදිලි කර දෙන අති ශ්‍රේෂ්ඨ ආදර්ශයක් විස්තර කර දෙන්නකි. ඉබ්‍රාහිම් නබිතුමා “මාගේ පරමාධිපතියාණනි, මා සහ මගෙන් පැවතෙන්නන් සලාතය ස්ථාපිත කරන්නවුන් බවට පත් කරන්න. අපගේ පරමාධිපතියාණනි, මාගේ ප්‍රාර්ථනාවන් පිළිගන්න” යනුවෙන් පැවසීය. (අල් කුර්ආන් 14 : 40)
තවද මෙම ප්‍රාර්ථනය සමග මිනිසාගේ ප්‍රධානතම අරමුණ වූ සලාතය මිනිසාගේ ජීවන රටාවක් වශයෙන් ස්ථාපිත කළේය. ඉබ්‍රාහිම් නබි තුමාණන්ගේ දුආව ගැන කියවන විට සලාතය හිරිහැරයකැයි සිතන එය අලස ලෙස ඉටු කරන අයවලුන්ගේ තත්ත්වය කුමක්දැයි ඔබ සිතා බැලුවේ නැද්ද?
“තවද ඔවුන් ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන් ද අපගේ දරුවන් ද නෙත් පිනවන (සතුට ඇතිකර වන) ආකාරයට පත් කර දෙනු මැනව. දැහැමියන්ට මාර්ගෝපදේශකයින් (නායකයින්) වශයෙන් ද අපව පත් කරනු මැනවැ’යි ප්‍රාර්ථනා කරමින් සිටින්නෝය”. (අල් කුර්ආන් 25 : 74)
යහපත් ස්ථාපිත ප්‍රීතිමත් පවුලක් ලබා දෙන මෙන් ද තමන්ගේ ජීවිතය පුරා නිරන්තරයෙන් ම අල්ලාහ් ගැන සිහි කල්පනාවෙන් පසු වන ප්‍රමුඛයන් බවට තමන් පත් කරන මෙන් ද ඔවුහු මෙමගින් අයදිති. එසේ වුව ද අල්ලාහ් පිළිබඳ හා පරමාන්ත දවස පිළිබඳ සත්‍යය පිළිගැනීමට මැළි වන ඇතැම් මුස්ලිම්වරුන් ද සිටිති. මෙම විශ්වාස යථාර්ථයට පටහැණි යැයි මොවුහු සිතති.
ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) සම්බන්ධයෙන් ඔවුන් දරන මතය වනුයේ ‘එය ජීවිතය ගැන නොසලකා හරින්නේය එමඟින් මිනිසුන්ගේ හා කණ්ඩායම් වල ජීවිතය ට කාලකණ්ණි කම සහ දුක් කරදර පමණක් ගෙන දෙන්නේය’ යන්නයි. මෙය බරපතළ වරදකි. දහම ට කරන්නා වූ අයුක්ති සහගත සැලකිල්ලකි. මන්ද ජීවිතය එවැන්නක් වශයෙන් හෝ ඉස්ලාමය බරක් වශයෙන් හෝ ඉස්ලාමයේ ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණෝ කිසි කලෙක නුදුටු හ. එතුමාණෝ පැවසුවේ “යා අල්ලාහ් අදෘශ්‍යමාන දෑ පිළිබඳ ඔබගේ ඥානය සහ මැවීම පිළිබඳ ව ඔබට තිබෙන බලමහිමය තුළින් මගේ ජීවිතය මට ඉතාමත් උචිත යැයි ඔබ අදහස් කරන කාලයකට ඉස්තරම් ලෙස සකසන්න. තවද මට ඉතාමත් උචිත යැයි ඔබ අදහස් කරන අවස්ථාවේ මගේ ජීවිතය අත් කර ගන්න. යා අල්ලාහ් මගේ සිත යටින් හා මතු පිටින් ඔබ පිළිබඳ බිය ගරුත්වය ඇති කරවන මෙන් අයදිමි. සතුට හා කෝපය දෙකේ දීම සත්‍යයේ වචන ලබා දෙන මෙන් අයදිමි. දිළිඳු හා පොහොසත් අවස්ථා දෙකේ දීම සංයමය ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. නැති නොවන මහත් සතුට මට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. නිමක් නැති සැප පහසුකම් මට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. මට වෙන් කර තිබෙන දෙයින් තෘප්තිය සතුට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. මරණින් මතු මට ප්‍රීතිමත් ජීවිතයක් ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. ඔබගේ පිරික්සුම් නිසා මට මඟ වැරදී යාමක් සිදු නොවී කනස්සල්ල නිසා මට හානියක් සිදු නොවී ඔබගේ මුහුණ දැකීමේ හා ඔබ හමු වීමේ මගේ ආශාව මුදුන්පත් කරන මෙන් ඔබගෙන් අයදිමි. යා! අල්ලාහ්, බිය බැතිය නමැති ආභරණ වලින් අප අලංකාරවත් කරන්න. තවද අප නිවැරදි මඟ පෙන්වනු ලැබුවන් බවට පත් කරන්න”. යනුවෙනි. (අත් තිර්මිදී ඇසුරිනි)
වධ වේදනා දුක් පීඩා සහ කනස්සල්ල යන කරුණු තම ඉස්ලාමීය විශ්වාසය සවිමත් කරන්නක් වශයෙන් හෝ උත්තරීතර අල්ලාහ් සතුට ට පත් කරන ක්‍රමවේදයක් වශයෙන් ඇතැමෙක් සලකති. එය එසේ වුවද ඒවා ඇති නොවන්න ට මුහම්මද් තුමාණෝ අල්ලාහ්ගේ පිහිට පැතූහ. අබූ හුරෛරා තුමාගේ වාර්තාවක් අනුව කරදර වේදනා හා කාලකණ්ණිකම පහළ නොවන්න ට හා සතුරු උවදුරු කුඩුකේඩුකම් වලින් ආරක්ෂා ව ලබන්න ට අල්ලාහ්ගේ පිහිට පැතීම මුහම්ම්ද් තුමාණන්ගේ සිරිත විය.
සිරුරට දුක් කරදර දීම තමන් කළ පාපයන්ගෙන් මිදෙන්න ට කරනු ලබන ප්‍රතිකර්මයකයි සැලකූ උදවිය සහාබාවරුන් (මුහම්මද් තුමාණන්ගේ හිතවතුන්) අතර ද සිටියහ. පාපයන්ගෙන් මිදෙන්න ට එවැන්නක අවශ්‍යතාවක් නොමැති බව පවසා එය ඊට වඩා සරල දෙයක් බව මුහම්මද් තුමාණෝ ඔවුන් ට පහදා දුන්හ.
වරෙක බෙහෙවින් දුබල බවට පත් වූ මුස්ලිම්වරයෙකුගේ සුව දුක් විමසීම සඳහා මුහම්මද් ධර්ම දුතයාණන් ඔහුගේ නිවසට ගියහ. “ඔබ කිසිවක් ලබා ගන්න ට ප්‍රාර්ථනා කළා ද? නැතිනම් ඒ වෙනුවෙන් අයැදියාදැ”යි ඔහුගෙන් විමසූහ. “එසේය යා! රසුලුල්ලාහ්. මට මතු ලොවේ දී පමුණු වන දඬුවම් මෙලොවේ දී ම ලබා දෙන්නැයි අල්ලාහ්ගෙන් අයදීමි”යි හෙතෙම පිළිතුරු දුන්නේය. එවිට මුහම්මද් ධර්ම දුතයාණන් “අල්ලාහ් අති පාරිශුද්ධ වේවා! (ඔහුගේ දඬුවම් බර දැරීමට) ඔබට ශක්තියක් හෝ ඉවසිල්ලක් නොමැත්තේය. ‘යා! අල්ලාහ්, අපට මෙලොව හා මරණින් මතු ලොව යහපත පිරිනමන්න. තවද අප ව නිරා ගින්නෙන් මුදවන්නැ’යි නොපැතුවේ මක්නිසාදැ’යි පවසා එම පුද්ගලයා වෙනුවෙන් එකී දුආ ප්‍රාර්ථනය කළහ. එයත් සමගම ඔහුට සුවය අත් විය”. (මුස්ලිම් ඇසුරිණි)
එක්තරා පුද්ගලයෙකු අල්ලහ්ගෙන් “යා! අල්ලාහ්, මට දැඩි බව ලබා දෙන මෙන් අයදිමි යනුවෙන් ප්‍රාර්ථනා කරන බව මුහම්මද් ධර්ම දුතයාණන් ට ශ්‍රවණය විය. එතුමාණෝ ඔහු අමතා ‘ඔබ අල්ලහ්ගෙන් පීඩාව ඉල්ලා සිටියෙහි ය. ඉතින් දැන් හොඳ ශරීර සෞඛ්‍යය ලබා දෙන මෙන් ඉල්ලන්නැ’යි පැවසුහ.”
මත්රෆ් බින් අබ්දුල්ලාහ් මෙසේ සඳහන් කරයි. “පීඩාවෙන් හා දැඩි බවෙන් පසුවනවා ට වඩා මනා ශරීර සනීපයෙන් පසුවෙමින් අල්ලාහ් ට ස්තුතිවන්ත වීමට මම වඩාත් කැමැත්තෙමි. මන්ද යත් යහතින් පසුවීම ආරක්ෂිතභාවය ට සමීප වෙයි. එම නිසා දැඩි බව වෙනුවට ගුණ ගරුකත්වය තෝරා ගනිමි”. මෙම මතය පිළිබඳ ව වෛද්‍ය සකි මුබාරක් මෙලෙස අදහස් දක්වයි. “ඉහත සඳහන් ප්‍රකාශය කරන පුද්ගලයා ආරක්‍ෂාවේ එනම් පණ රැක ගැනීමේ දොරටුවක් වශයෙන් මනා සෞඛ්‍ය සම්පන්න භාවය ගැන සලකයි. මන්ද, පීඩාව විසින් අනාරක්ෂිත ප්‍රතිඵල සමග ඔවුන් බියට හා කාංසාවට අනාවරණය කරනු ලබයි. සෞඛ්‍යය ගැන සලකන කළ ඒවා සමතුලනය කිරීමට ඉවහල් වන අතර යහපත් ක්‍රියා කිරීම ට මිනිසා ට හැකියාව ලබා දෙන්නේය”.
ඇත්තෙන් ම බොහෝ අවස්ථා වල නහර දුර්වලතාවෙන් පසු වීම හේතුකොට ගෙන මිනිසා අවාසනාව ට ආරාධනය කරන විට අභිමානයෙන් ක්‍රියා කරයි. ඒ අනුව ශරීර සෞඛ්‍යය වෙනුවෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනය කිරීම ඔහුගේ යහපත පිණිස ම වෙයි. මෙම තත්ත්වයන් ඔස්සේ සලකා බලන විට ආශීර්වාද සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මිනිසා ට සිය පරමාධිපති සමග පවතින සම්බන්ධතාව වර්ධනය වන බව පෙනේ. තත්ත්වයන් දෙක අතර විශාල වෙනසක් ඇත. එනම් සංහිඳියාව සහ තෘප්තිමත් භාවයයි. සංහිඳියාවෙන් පසු වන මිනිසා සිය පරමාධිපතියා සම්බන්ධයෙන් තැන්පත් හා අවනත ලීලාවෙන් කටයුතු කරයි. දැඩි ස්ථාවර මිනිසා ගැන සලකන කළ දුක් හිරිහැර ඉවසීමේ හේතුවෙන් ඇතැම් විට ඔහු අහංකාර වෙයි. අහංකාරකම යනු මිනිස් ජීවිතය ට අතිශයින් හානිකර ව්‍යාධියක් බව අපි දනිමු. පීඩාවන් වල ගැත්තන් වනවා වෙනුවට ආශිර්වාදයේ ගැත්තන් වීමට අපි සැවොම කැමති වීම ස්වාභාවිකය. කෙසේ වෙතත් අපගේ පැතුම් බලාපොරොත්තු නිතර ම සැබෑ නොවන බව අපි දනිමු. අපට ඉහළින් ක්‍ෂිතිජයේ අකුණු බර වැහිවලාවෙන් පිරුණු කුණාටු මොන තරම් හමා ගියේ ද? තමා නොකැමැති නොරිසි දේවල් කීයකට මිනිසා මුහුණ දෙන්න ට ඇත් ද? මෙවන් අවස්ථා වල කාංසාව දුරලන ඉවසිල්ලේ සහ ශාපයෙන් සුරකින තෘප්තියේ භූමිකාව අවශ්‍ය වෙයි.
වෛද්‍ය සකී මේ ගැන මෙසේ පවසයි. “අල්ලාහ් ට අවනත වීම තම සදාචාරකමේ අංගයකි. මේ මගින් කෙනෙකුගේ ජීවිතයේ වත්මන් භාග්‍යයන් සඳහා කරනු ලබන කැපවීම් ගැන නොනවත්වා ම කල්පනා කිරීමේ නැමියා ව ඉවත් කරනු ලබයි”.
මෙම අවස්ථාව ට ක්‍රියාකාරී අධිෂ්ඨානය අවශ්‍ය බව පැහැදිලි ය. මන්ද, තෘප්තිය ඇති වන්නේ මානසික වශයෙන් කිසියම් කෙලෙස් වේ නම් ඒවා ඉවත් කොට සිත පිරිසිදු කිරීමෙන් පසුව ය. මේ වනාහි නිසැක වශයෙන් ම සාමය හා සංහිඳියාව ස්ථාපිත කරන ක්‍රමවේදයයි. එය සදාචාර සම්පන්න ජීවිතයක ට ලැබෙන ඉස්තරම්ම සම්මානය වෙයි.
තෘප්තිමත් භාවය විසින් මුග්ධ භාවය උපදවන බව ද අලස භාවයෙන් පසු වීමට සිතේ කැමැත්තක් ඇති කරවන බව ද යමෙක් පැවසිය හැක. අපි ඔවුන් ට මෙසේ පිළිතුරු සපයමු. සියලුම ලෞකික මානසික හා ආධ්‍යාත්මික පෝෂණයන් ලබා දෙමින් තමන් පිරිපුන් බවට පත් කර ගැනීමේ ආශාව ට එය කිසිදු අවහිරයක් නොකරයි යන්නය ඒ.
මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසුහ. “ඔබ වෙනුවෙන් අල්ලාහ් බෙදා වෙන් කර දී ඇති දෙයින් තෘප්තියට පත් වන්න. එවිට ඔබ සියලු මිනිසුන් අතර ධනවත් ම පුද්ගලයා වන්නේය”.
ඔබගේ දවසත් සමග ඔබ තෘප්තියට පත් වන්න. වඩාත් ප්‍රීතිමත් අනාගතයක් සඳහා පතන්න.