ස්වර්ගය අත්කර ගත හැකි එකම හා එක ක්‍රමය දෙවියන් පෙන්වා දුන් මාර්ගය අනුගමනය කිරීමය. එහෙත් බොහෝ අය විසින් එම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග ඔස්සේ පින් දහම් කොට ස්වර්ගය අත්කර ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙති. මිට ප්‍රධාන හේතුව නිවැරදි දහම් දැනුම ලබාගෙන නොතිබීමය.
අද අප දකින බොහෝ ආගම් මිනිසා විසින් කාලයෙන් කාලයට වෙනස් කරනු ලැබූ ඒවාය. තවද අල්-කුරානය හැර අන් සියළුම දහම් පරිවර්තනයනට බඳුන් වීමෙන් ඒවායේ මුල් ඉගැන්වීම්වලින් වෙනස් වී ඇත. මේ හේතුවෙන් ඒවා අනුගමනය කිරීමෙන් අපට ස්වර්ගය අත්කර ගත හැකිදැයි එක හෙළ නිගමනය කළ නොහැකි වී තිබේ. කෙසේවෙතත් බොහෝ අය තම තමන් පරම්පරාවෙන් රැගෙන එන දහම නිවැරදි යැයි උපකල්පනය කරති. ඔවුන් සිතන්නේ ඔවුන් නිවැරදි දේව විශ්වාසය තුල සිටින බවයි. ඔවුන්ට නිවැරදි දහම කියා දුන්නත් පිළිගැනීමට සුදානම් වන්නේද නැත. මේ නිසා ඔවුන් අපායට යන්නේ ඔවුන්ගේ අහංකාරකම නිසාය.

සමහරු දෙවියන් ගැන අනුමානයෙන් විශ්වාස කලත් ස්වර්ගය අත්කර ගැනීම සඳහා උත්සාහයක යෙදෙන්නේ නැත. ඔවුන් නිවැරදිව පින් දහම් කිරීමට දහම ගැන හදාරන්නේද නැත. එය ඔවුන්ගේ අලස කම සහ උවමනාවක් නැති කමය. මේ හේතුවෙන් ඔවුන් විසින් විහින්ම ස්වර්ගය නැතිකර ගනිති.

තවත් සමහරු දෙවියන් පහළ කළ නිවැරදි මාර්ගය කුමක්දැයි සොයා නොබලාම පරම්පරාවෙන් ලැබුණු වැරදි මාර්ගය තම දහම ලෙස තෝරාගෙන ඇත. එය හරිද වැරදිදැයි සොයා බලන්නේද නැත. ඉන් සිදු වන්නේ ඔවුන්ගේ මුග්ධ කම නිසා නිරයට යාමටය.

සමහරු නිවැරදි දහම තුල සිටියත් තම පහත් ආශාවන්ට වහල් වී අකුසල් ක්‍රියාවන්වල නිරත වී දෙවියන්ගේ කෝපයට පත් වෙති. එහෙත් ඔවුන්ට මරණයට පෙර තමන් කරන දේ වැරදි බව තේරුම් ගැනීමට අවස්ථව උදාකර ගත හැකිය. ඊට හේතුව ඔවුන් වැරදි කරන්නේ දැන දැනම වීම නිසාය. එහෙත් වැරදි මාර්ගය පිළිපදිමින් එය නිවැරදි යැයි සිතන තැනැත්තාට එම අවස්ථාව ලැබීමට තිබෙන ඉඩකඩ ඉතාමත් ම විරලය. ඊට හේතුව ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන් නිවැරදි මාර්ගයේ සිටින බවයි.

ඇතැම් උදවිය පින් දහම් කරන්නේ දෙවියන්ගේ සතුට ලබා ගැනීම වෙනුවට මිනිසුන්ගේ හොඳ හිත දිනා ගැනීමටය. එසේත් නැතහොත් ඔවුන් පින් දහම් කරන බව මිනිසුන්ට පෙන්වීමටය. ඉස්ලාම් දහම අනුව එසේ කිරීම දෙවියන්ට සමානයන් තැබීමකි. දෙවියන්ට සමානයන් තැබීම විශාල වරදක් වන අතර මරණයට පත් වීමට පෙර සමව නොගත්තේ නම් ඔවුන් යන්නේ නිරයට ය.

පින් දහම් කිරීමේදී චේතනාව ඉතා ප්‍රධාන තැනක් උසුලන්නේය.  එහෙත් බොහෝ අය පින් දහම් කරන්නේ වැරදි චේතනාවෙන් වීම අභාග්‍යයකි. මේ අනුව ඇතැම් දානපතියන් පින් දහම් කරන්නේ ප්‍රසිද්දිය සඳහාය. එවැනි අය නැති බැරි කෙනෙකුට සුළු උදව්වක් කලත් එය කීපවතාවක් ම කියා පෙන්වා තමන් විසින් කළ කුසල් ක්‍රියාවේ කුලිය මේ ලෝකයේදීම ලබා ගනිති. තවත් සමහරු විශාල ප්‍රදර්ශන පුවරු සවිකොට ඔවුන් කළ දේවල් මිනිසුන්ට ප්‍රදර්ශනය කොට මිනිසුන්ගේ ප්‍රසංසාව ලබා ගනිති. දහම ගැන දැන උගත් සමහර උගතුන් පවා මිනිසුන්ට දේශනා කරන්නේ ප්‍රසිද්ධිය සඳහාය. ඒ නිසා ඔවුන්ට මේ ලෝකයේදීම ප්‍රසිද්ධිය ලැබෙන අතර මරණයෙන් පසු කුලියක් ලැබෙන්නේ නැත. මේවා ගැන සෑම කෙනෙකුගේම අවධානය යොමු විය යුතුව තිබේ.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *