ඉස්ලාම් මිනිස්වර්ගයාට ලැබී ඇති සම්පුර්න ජිවන සැලැස්මකි. එහි ආරම්භය සිදු වන්නේ මුල්ම මිනිසා වන ආදම් නබි තුමාගෙන්ය. ආදම් තුමාට ලැබුණු දහම් පණිවිඩයට සම්පුර්ණ කරනු ලැබුනේ මුහම්මද් තුමාට පහල කළ අල්-කුරානය හරහාය. ඒ අනුව ඉස්ලාම් දහම පණිවිඩය සිය දහසකට වවා නබිවරුන්ගේ මාර්ගයෙන් මෙලොවට පහළ වී ඇත. එම නබිවරුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල්-කුරානයේ සඳහන් වී ඇත. ඔවුන් සෑම කෙනෙකුම දේශනා කලේ දෙවියන්ගේ ඒකීයත්වය වන අතර කාලයෙන් කාලයට ආගමික නීති රීති පමණක් වෙනස් කොට ඇත.
ලොවට පහළ වූ අවසාන වක්තෘවරයා මුහම්මද් නබිතුමාය. එතුමා හැර වෙන කිසිම නබිවරයෙකුට මුළු මිනිස් වර්ගයාටම දහම් දෙසීමේ කාර්ය පවරා තිබුනේ නැත. මුහම්මද් නබිතුමාට පෙර පැමිණි ඇතැම් නබිවරුන්ට පැවරුනේ යම් භූගෝලීය කලාපයක් පමණි. ඇතැමුන්ට එක් ජන කොටසකට පමණක් දහම් ප්‍රචාරය කිරීම සඳහා පැවරී තිබිණ. එහෙත් මුහම්මද් නබි තුමාට පහළ වූ අල්-කුරානය මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් බව කුරානයේ පැහැදිලිවම සඳහන් කොට ඇත.

ඉස්ලාම් දහමේ මුලික පදනම වන විශ්වාසය සම්බන්ද කරුණු කාලයෙන් කාලයට වෙනස් නොවූ අතර ඒවා විශ්වාස කිරීම අනිවාර්ය වේ. පහත දැක්වෙන්නේ එම කරුණුය.

  • අල්ලාහ් ව විශ්වාස කිරීම
  • දේවදුතයින් ගැන විශ්වාස කිරීම
  • දෙවියන් පහළ කළ ආගම් ගැන විශ්වාස කිරීම
  • ආගම දෙසීමට පැමිණි වක්තෘවරුන් ගැන විශ්වාස කිරීම
  • ලෝකය අවසාන වීමෙන් පසු විනිශ්චය දිනයක් ඇතිබව විශ්වාස කිරීම
  • හොඳ නරක යන දෙකම අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදුවන බව විශ්වාස කිරීම

ඉහත කරුණු සියල්ල විශ්වාස කරන කෙනෙක් මුස්ලිම්වරයෙක් වන්නේය. එවැනි කෙනෙක් පහත දැක්වෙන කරුණු පිළිපැදිය යුතුය.

  1. අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නොමැති බවත් මුහම්මද් නබි තුමා ඔහුගේ ගැත්තා සහ දුතයා බවටත් සාක්ෂි දැරීම
  2. සලාතය ස්ථපනය කිරීම
  3. (ධනවතුන් විසින්) zසකාත් ගෙවීම
  4. රමළාන් මාසයේදී උපවාසයේ යෙදීම සහ
  5. මක්කාවට ගොස් හජ් වන්දනය ඉටු කිරීම

ඉහත කරුණුවලින් පළමු සහ දෙවන කරනා සෑම මුස්ලිම්වරයෙකුම අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුය. එම කරුණු දෙක පැහැර හැරීමට කිසිම අවසරයක් ලබා දී නොමැත. ඒ අනුව සිටගෙන නැමැදිය නොහැකි නම් තමන්ට පහසු අකාරයකට නැමැදිය හැකි ය. එහෙත් උපවාස ශිලය කුඩා ළමුන්ට සහ එය කිසිසේත්ම ඉටුකිරීමට නොහැකි මහල්ලන්ට අනිවාර්ය නොවේ. (ඔවුන්ට වෙනත් විකල්ප ක්‍රියාවන් පෙන්වා දී ඇත) ඉහත සඳහන් සකාත් බද්ද ගෙවිය යුත්තේ ධනවත් උදවිය පමණි. හජ් වන්දනය ඉටු කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරන අයට පමණක් එය අනිවාර්ය වේ. එම කොන්දේසි සපුරන අය හජ් වන්දනය පැහැර හැරීම බලවත් වරදකි.

ඉස්ලාම් දහම වචනයට සිමා නොකොට ක්‍රියාවෙන් පෙන්විය යුතුය. ඒ අනුව මුස්ලිම්වරයෙකු පිළිපැදිය යුතු සම්පුර්න ජිවන සැලැස්ම නබිතුමා පෙන්වා දී ඇත. නබිතුමාගේ සුන්නාවන් පිළිපැදීම ඉබාදතයන් නොහොත් කුසල් ගෙන දෙන ක්‍රියාවන් වේ.

අල්-කුරානය මුහම්මද් නබිතුමාගේ ප්‍රකාශනයක් නොවේ. එය අල්ලාහ්ගෙන් පහළ වූ එකකි. එහි ඇති භාෂා විලාශය නබිතුමාගේ සාමන්‍ය කථා විලාශයට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ හේතුවෙන් කිසිම විශාරදයෙකුට අල්-කුරානය බඳු කෘතියක් හෝ එහි ඇති එක් වැකියකට සමාන වැකියක් නිර්මාණය කිරීමට හැකිවී නොමැත. එකල සිටි එක් පඬිවරයෙක් මක්කම ප්‍රධාන දේවස්ථානයේ එල්ලා තිබුණු අල්-කුරාන් සුරාවක් දැක ඊට සරිලන වෙනත් පාඨයක් ලිවීමට සෑහෙන වෙහෙසක් ගෙන තිබේ. එතෙහ් ඔහුට එය කළ හැකි වුයේ නැත. එම හේතුවෙන් ඔහු එම කුර්ආන් සුරාවට පහලින් “මෙය මිනිසෙකුගේ වදන් නොවේ” යනුවෙන් ලියා තබා පිටත්ව ගොස් ඇත.

අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ඒවා පහළ වූ භාෂාවලින් අද දැකිය නොහැකිය. ඒවා මල භාෂාවන් බවට පත් වී තිබේ. එහෙත් අල්-කුරානය පහළ වූ අරාබි බස අදටත් ජීවමාන භාෂාවක් ලෙස පැවතීම විශේෂත්වයකි. අල්-කුරානය සම්බන්දයෙන් දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ එය දෙවියන්ගෙන් පහළ වූ සැනින් ලේඛන ගත කොට තිබීමයි. එබැවින් එහි නිවැරදිතාව ආරක්ෂා වී ඇත. තවද එය සම්පුර්නයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම නිසා මිනිස් සිත් තුලද එය ආරක්ෂා වී ඇත. එබැවින් ලෝකයේ ඇති සියළුම කුර්ආන් ග්‍රන්ථ විනාශයට පත් වුවත් නැවත එවැනිම කුර්ආන් ග්‍රන්ථයක් සකස් කළ හැකිය.

අල්-කුරානයට පෙර පහළ වූ ආගමික ග්‍රන්ථ ආරක්‍ෂා කිරීමට විශේස හේතුවක් තිබුනේ නැත. ඇයිද යත් ඒවා යුගයේ අවශ්‍යතාවය අනුව කාලයෙන් කාලයට දෙවියන් විසින්ම වෙනස් කළ නිසාය. එහෙත් අල්-කුරානය පහළ වීමත් සමගම දහම් පණිවිඩය සම්පුර්ණ විය. තවද එය ලෝකය පවතින තුරු ආරක්‍ෂා කිරීමේ වගකීම දෙවියන් සහතික කොට ඇත. එය අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ගේ වගකීමකි.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.

Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *