මිනිසුන්ගේ අදහස් එකිනෙකට වෙනස් වන බැවින් ලෞකික ජීවිතයේදී වෙනස් මාර්ග අනුගමනය කරති. එහෙත් අධ්‍යාත්මක ජීවිතයේදී සෑම කෙනෙකුටම හරියන පොදු අරමුණක් තිබේදැයි සොයා බැලිය යුතුය.

විශ්වය ගැන ගැඹුරින් හදාරන විට ඉහත සඳහන් කළ කරුණ සම්බන්දයෙන් පිළිතුරක් ලබා ගත හැකිය. ඇයිද යත් විශ්වයේ තිබෙන ඒකාකාරී බව නිසා ද විශ්වයේ  සෑම තැනම එකම භෞතික නීති ක්‍රියාත්මක වීම නිසා ද විශ්වය පුරා ඇති විශ්ව නියතයන් අනුව ද විශ්වයට එක් නිර්මාතෘවරයෙක් (මැවුම්කරුවෙක් නැතහොත් දෙවිකෙනෙක්) පමණක් සිටිය යුතු බව නිගමනය කළ හැකිය. 
විශ්වයේ තිබෙන සෑම දෙයකටම යම් අරමුණක් තිබේ. එසේ නම් මිනිස් ජිවිතයටත් යම් අරමුණක් තිබිය යුතුය. එය දැනගත හැක්කේ විශ්වයේ නිර්මාතෘ විසින් යවන පණිවිඩයකින් ය. 

ලෝකයේ ඇති ජීවින් අතුරින් මිනිසා ඉඳුරාම වෙනස් ය. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. මිනිසාට ලැබී ඇති මනස මෙන් මනසක් හෝ ශරීරයක් වෙන කිසිම ජීවියෙකුට ලැබී නොමැත. එබැවින් මිනිසාට සිතීමේ ශක්තිය සහ කළ හැදී දේවල් බොහෝය. එසේ තිබියදී මිනිසා තම බුද්ධිය ප්‍රයෝජනයට ගෙන තමන් මෙලොවට පැමිණි අරමුණ සොයා නොබලන්නේ නම් මිනිසාටත් තිරිසනාටත් වෙනසක් තිබිය නොහැකිය. එසේ කිරීම මිනිස් බුද්ධියට කරන බලවත් නිගාවකි.

මිනිසෙකු වශයෙන් පහත දැක්වෙන කරුණු ගැන සිතා බැලිය යුතුය.

මිනිසා මෙලොවට පැමිණියේ කුමන අරමුණක් සඳහාද? මරණයෙන් පසු මිනිස් ආත්මයට කුමක් සිදු වන්නේද? මේවාට පිළිතුරු ලබා ගත හැක්කේ කෙසේද? 

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා බොහෝ විට යොමුවන්නේ දෙමව්පියන්ගෙන් උරුම වූ දහම තුලටය. එහෙත් බොහෝ විට එම දහම් නිවැරදිදැය සොයා බලන්නේ නැත. එහි ප්‍රතිපලය වන්නේ නිවැරදි දහම සෙවීම වෙනුවට දෙමව්පියන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ව අන්දානුකරණය කිරීමකි. මේ නිසා වැරදි දෙකක් සිදු වන්නේය. එනම් නිවැරදි දහම තුල සිටියත් ඉන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වීම සහ නිවැරදි දහම සොයා දැනගැනීමට අවස්තාව අහිමිකර ගැනීම වේ.

මිනිසාට සහජයෙන්ම ඇති බොහෝ අඩුපාඩු නිසා නිවැරදි දහමක් නිර්මාණය කළ නොහැකිය. එබැවින් මිනිසාට නිවැරදි දහමක් ලැබිය හැකි එකම ක්‍රමය විශ්වයේ නිර්මාතෘ පහළ කරන දහමක් මගින් පමණි. එවැනි දහමක පහත දැක්වෙන ලක්ෂණ තිබිය යුතුය.

  • එය දෙවියන්ගෙන් පහළ වූ බව තහවුරු කළ හැකි සාක්‍ෂි තිබිය යුතුය
  • එය මුල්වරට පහළ වූ භාෂාවෙන්ම තිබිය යුතුය. නැතහොත් එහි පරිවර්තකයාගේ අදහස් මිත්‍ර විය හැකිය
  • එහි පරස්පර අදහස් නොතිබිය යුතුය
  • එම දහම පහළ වූ යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් නොවිය යුතුය
  • එය ලෝකයේ ඕනෑම තැනකදී පිළිපැදිය හැකි විය යුතුය
  • එය මිනිස් උවමනාවන් සඳහා කාලයෙන් කාලයට මිනිසා විසින් වෙනස් නොකළ එකක් විය යුතුය

මිනිස් ආත්මයේ විමුක්තිය සොයා යන සෑම මිනිසෙකුම නිවැරදි දහමක් පිළිපැදිය යුතුය. නැති නම් මංමුලා වනු ඇත. ඉන් සිදුවන පාඩුව කියා නිම කළ නොහැකිය.

නිවැරදි දහමක් සොයා ගැනීමට හැකි වන්නේ සෑම දහමක් ගැනම ගවේෂණය කර බැලීමෙන් ය. එහෙත් නිවැරදි දහම සෙවීම සඳහා ජනමාද්‍යයවල පිහිට පැතීම හෝ නුගත් පුද්ගලයින්ගේ මත විමසා බැලීම මුග්ධ කමකි.

නිවැරදි දහමක් සෙවීමේ සැබෑ උවමනාවක් තිබේ නම් කළ යුත්තේ දහම් පොත් පත් ගවේෂණය කිරීම ය. ඊට අමතරව ආගමික විද්වතුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් සත්‍යය දැනගත හැකිය. එහෙත් සත්‍යය දුටු පසු ඒවා පිලි නොගෙන සිටීම උඩඟු කම වේ.

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *