අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත් වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි පාරිභාෂික පදය ප්‍රයෝජනයට ගැනීමෙන්, මෙය ඉස්ලාමයට පමණක් සීමාවූ සංකල්පයක් බව හා එය අන් දහම් වලට අදාළ නොවන්න්නක් ලෙසත් වැරදි අවබෝධයක් ඇතිවීමට හේතුවී තිබිය හැක.

ලෝකයේ සියලු ජීවීහු ආහාර මත යැපෙති. එය සර්ව සාධාරණ ලෝක නියමයකි. මෙම කාරණය බුද්ධ දේශනාවෙහි “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් කෙටියෙන් සඳහන් වේ. මිනිසා අනාදිමත් කාලයේ සිට ආහාරයේ යහ හා අයහ ගුණ පිළිබඳව අත්දැකීම් ලබමින් සිටින්නෙකි. ඇතැම් ආහාර හේතුවෙන් ශාරීරික, මානසික මෙන්ම ආධ්‍යාත්මික ආසාත්මික තාවන්ට මිනිසාට මුහුණ පෑමට සිදුවෙයි. ශාරීරික ආසාත්මිකතාවන්ගෙන් සමහරක් නම් ජීරණ පද්ධතියේ ආබාධයන්, පිළිකාව, දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වැනි ආබාධයන් පොදු වුවත් අපගේ ආහාරය තවත් විවිධ රෝගයන්ට හේතුකාරකයක් බවට පත් වී ඇත. මෙම හේතුව නිසාම මනුෂ්‍ය වර්ගයා යහ (අනුමත – හලාල්) සහ අයහ (තහනම් – හරාම්) ආහාර හා අනෙකුත් පරිභෝජනයන් පිළිබඳව නිර්ණායක ගොඩ නගා ගැනීමේ අත්‍යවශ්‍ය තත්වයන්ට මුහුණ දෙමින් සිටී. මේ හේතුව නිසාම සියලු දහම් මෙම නිර්ණායකයන් පිළිබඳව මනුෂ්‍ය වර්ගයාට විවිධ ප්‍රමාණයන්ගෙන් මග පෙන්වයි.

ආගමික මතයන්   

පළමුව, බෞද්ධ ඉගැන්වීම් දෙස අපගේ අවධානය යොමු කරමු. භික්ෂුන් වෙනුවෙන් අනුභව නොකළ යුතු මස් වර්ග දහයක් විනය පිටකයේ මහාවග්ගපාලියේ සඳහන් වෙයි. ගිහි බෞද්ධයින්ගේ විනය, පන්සිල් පද වල ගැබ් වී ඇති බව බෞද්ධ විශාරදයින්ගේ මතය වී තිබේ. මෙහි පස්වන සිල් පදයෙන් සියලුම මත්ද්‍රව්‍ය අකැප බව පැහැදිලිව ඇති කරුණකි.

ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ඉහත කරුණු අනුව බෞද්ධ ඉගැන්වීම් තුළ අනුමත-කැප මෙන්ම අනුමත නැති-අකැප  සංකල්පයක් ඇති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.

මීළඟට කිතුනු ඉගැන්වීම් කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු.

“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (ශුද්ධ බයිබලය – ලෙවීගේ ව්‍යවස්ථාව 11:7-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:-8)

ඌරාගේ රුධිරය රසායනික විශ්ලේෂණයකට බඳුන් කළ විට එහි විශාල ප්‍රමාණයක් යුරික් අම්ලය ඇති බව දැන ගත හැකිය. මෙය මනුෂ්‍ය ශරීරයට ඉතාම අහිතකරය. ඌරාගේ මාංශය තුළ විශාල ප්‍රමාණයක් පරපෝෂිතයින් ජීවත් වන හෙයින්, එය අනුභව කිරීමෙන් මනුෂ්‍ය ශරීරයේ විවිධ රෝග ඇති වීමට ඇති ඉඩකඩ බොහෝය. කොලස්ටරෝල් හා අනෙකුත් ලිපිඩ් හා හෝමෝන වර්ග බහුලව ඌරාගේ මාංශයේ දක්නට ඇති හෙයින් එයද අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැක. පෙර සඳහන් කළාක් මෙන් ඌරාගේ ශරීරයේ ඇති යුරික් අම්ලය ජීව-රසායනික ක්‍රියාවලියෙන් බැහැර කරනුයේ 2% ක් පමණක් වන අතර ඉතිරි 98% ශරීරයේ රැඳෙන හෙයින් මෙයින් සිදුවිය හැකි සෞඛ්‍යමය හානිය ඉතා භයානකය.

ඉහත කරුණු වලින් පෙනී යන්නේ ප්‍රධාන දහම් මිනිසාට හිතකර මෙන්ම අහිතකර හා අයෝග්‍ය ආහාර වර්ග මෙන්ම අනෙකුත් පරිභෝජනය සඳහා නුසුදුසු දෑ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක යෙදී ඇති බවය. නමුත් “හලාල් සහ හරාම්” යන වචන උපයෝගී වන සෑම අවස්ථාවකම කෙනෙකුගේ මනසේ ඇතිවන චිත්ත රූපය වනුයේ මෙය ඉස්ලාමිකයින්ට පමණක් සීමාවූ සංකල්පයක් බවය. එවැනිම ඉගැන්වීම් අනෙකුත් දහම්හි අන්තර්ගතයේ නොමැති බවත් සිතෙන්නට ඉඩ ඇත. මෙය සහමුලින්ම සාවද්‍ය මතයක් යන්න ඉහතින් ඉදිරිපත් කළ කරුණු වලින් පැහැදිලිය. සියලුම දහම් මෙම සංකල්පය විවිධ ප්‍රමාණයන්ගෙන් තම ඉගැන්වීම් වල අන්තර්ගත කොට ඇති බව ඉතාම පැහැදිලි කරුණකි.

සැබැවින්ම ඉතා පළල් පරාසයක ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර ගැඹුරු සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම කරුණක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙතකටය. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙළටය. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිෂ්පාදනය හා අලවිය වැනි රැකියාවන් මුස්ලිම්වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අපගේ ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙළට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ එම පුළුල් සංකල්පයේ අංශුවක් තරම් වූ මිනිසාගේ පරිභෝජනය සඳහා ගන්නා වූ දෑ පිළිබඳව පමණි.

අල් කුර්ආනයේ සහ මුහම්මද් නබි තුමා ගේ ඉගැන්වීම් අනුව ඉස්ලාමීය අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය ගොඩනැගී ඇත.

“ජනයිනි, මිහිතලයේ ඇති අනුමත කළ යහපත් දෑ අනුභව කරවූ; ෂෙයිතාන්ගේ (නපුරු බලවේගයේ) පියසටහන් අනුගමනය නොකරවූ; සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි” (අල් කුර්ආන් 2:168)

“ඔහු (අල්ලාහ්) නුඹලා වෙත තහනම් කර ඇත්තේ මළ සතුන්, රුධිරය, සුකර මාංශ, හා අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා කැප කරනු ලැබූ දෑ ම වේ;” (අල් කුර්ආන් 2:173)

“විශ්වාස කළවුනි, සැබැවින්ම සුරාවද සුදුවද (බිලිපුජා කරන) අල්තාරයද (පේන බැලීම සඳහා භාවිත කරන) ඊතල ද ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ කිලිටකි. එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකෙවූ” (අල් කුර්ආන් 5:90)

“විශ්වාස කළවුනි, අල්ලාහ් නුඹලාට අනුමත කළාවූ යහපත් දෑ නුඹලා තහනම් කර නොගනිවූ. තවද සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම සීමාව ඉක්මවා යන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. අල්ලාහ් නුඹලාට (ආහාර වශයෙන්) ලබා දුන් දැයින් අනුමත කළ යහ දෑ අනුභව කරවූ. නුඹලා කවරෙකු විශ්වාසවන්තයින්ව සිටින්නේද එවන්වූ අල්ලාහ්ට බියභක්තිමත් වවු” (අල් කුර්ආන් 5::87-88)

යමෙක් ඉහත ඉගැන්වීම් ඉතා සුපරීක්ෂාකාරීව විමසා බලන්නේ නම් පැහැදිලි වන එක් සත්‍යය කරුණක් නම්, හලාල් (අනුමත) සහතිකය ලබා දෙන්නේ සැබැවින්ම මුළු මනුෂ්‍යය වර්ගයාගේම සෞඛ්‍යයට හිතකර හා හානිකර නොවන දෑ වලට පමණක් බවය. මෙම හේතුව නිසාම මුස්ලිම් නොවන ලාංකේය මෙන්ම ජාත්‍යන්තර පරිභෝජකයින් හලාල් සහතික ලත් නිෂ්පාදන කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. දේශීය නිෂ්පාදන ආයතන හලාල් සහතිකය ලබාගැනීමෙන් පසු ඔවුන්ගේ පිරිවැටුම් ධාරිතාවේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ඇත්තේ මෙම හේතුව නිසාම විය හැක.

හලාල් සහතික ලබා දෙන්නේ අවසාන නිෂ්පාදිත භාණ්ඩයේ සුදුසු නුසුදුසු බව පදනම් කරගෙන පමණක් නොවේ. ගොවිපොළේ සිට, ගබඩා කිරීම, ප්‍රවාහනය, නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම අවස්ථා මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරන සියලුම රසකාරක හා අනෙකුත් සියලුම රසායනික ද්‍රව්‍යයන් පිළිබඳව නිවැරදි ලෙස සොයා බලා ලැබෙන්නාවූ වාර්තා පදනම් කර ගෙනය. හලාල් සහතිකය ලබා දෙන්නේ ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා ඇති සියලුම අවස්ථා සුපරීක්ෂාකාරීව සොයා බැලීමෙන් පසුව බව මෙයින් පැහැදිළි වන කරුණකි. එම නිසාම මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා හලාල් සහතිකය භාණ්ඩයේ තත්ත්ව සහතිකයක් ලෙසද සලකන්නට පුරුදුව සිටිති. හලාල් සහතික ලත් භාණ්ඩයන්ගේ පිරිවැටුම් ධාරිතාව ඉහළ යන්නට මෙය ප්‍රධාන හේතුවක් ව පවතී.

ආර්ථික ප්‍රතිලාභ    

හලාල් සහතික ලත් භාණ්ඩ සඳහා ඇති ජාත්‍යන්තර වෙළඳ පොළේ ධාරිතාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට වඩා වැඩි බව 2006 රොයිටර් සමීක්ෂණ වාර්තාවක් පෙන්වාදෙයි. 2018 වනවිට මෙහි නිසැකවම ශීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබිය යුතුය. මෙම ජාත්‍යන්තර හලාල් වෙළඳ පොළේ අපගේ කොටස වැඩි කර ගැනීම, සැබැවින්ම ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් ලෙස සලකා අප විසින් කටයුතු කළ යුතුව ඇත. තෙල් මිල ඉහළ යාමත් සමග, තෙල් නිෂ්පාදනය කරන අරාබි හා මුස්ලිම් රටවල දේශීය ආදායම වැඩිවීමෙන් එම රටවල ඒක පුද්ගල ආදායමත් වැඩි වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම තත්වය තුළ ඔවුන්ගේ පරිභෝජන රටාවද වෙනස්වී ඇති අතර භාණ්ඩ ආනයනයේ විශාල ඉහළ යාමක් දක්නට ඇත. මෙය අවබෝධ කරගත් බොහෝ ආසියාතික රටවල් එම වෙළඳ පොළට අවශ්‍ය වන පරිදි හා ඔවුන් අපේක්ෂිත තත්ත්ව  හා නිර්ණායකයන් සපුරාලමින් තමන්ගේ නිෂ්පාදනයන්ට හොඳ වෙළඳ පොළක් දිනා ගැනීමට කටයුතු කළහ. ඔවුන් පටු සීමාවන් තුළ කොටු නොවී මෙමගින් විශාල ආර්ථික ප්‍රතිලාභ උපයා ගැනීමට කටයුතු කළහ. මෙය තම රටේ විරැකියාව අවම කොට ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමට ඔවුන්ට උපකාරී වී ඇත. ලෝක ජනගහනයෙන් 25% ක් පමණ වන මුස්ලිම් ජනයා බහුලව මැදපෙරදිග, නිරිතදිග, හා දකුණු ආසියානු රටවල හා අප්‍රිකානු රටවල වෙසෙන අතර යුරෝපයේ හා ඇමෙරිකානු රටවල මිලියන 50 ටත් 60 ටත් අතර ප්‍රමාණයක් වෙසෙති. මෙම හලාල් වෙළඳ පොළේ විශාල පංගුකාරයින් බවට පත් මුස්ලිම් නොවන රටවල් කිහිපයක් පිළිබඳව විමසා බලමු. මේ සඳහා තායිලන්තය හා සිංගප්පුරුව හොඳ උදාහරණයන්ය.

තායිලන්තය.      

තායිලන්තය හා අපගේ මාතෘභූමිය අතර සමානකම් බොහෝමයක් ඇත්තේය. එය විවෘත, ප්‍රජාතන්ත්‍රීය, රටක් වන අතර, විවිධත්වය තුළ ස්ථාවරත්වය හා ඒකීයභාවය පවත්වාගෙන යන රටකි. විවිධ ආගමිකයින් සිටිනා අතර ජනගහනයෙන් බහුතරය අනුගමනය කරන්නේ ථේරවාදී බුහු දහමය. රජතුමා හා රජය විසින් සියලු දහම් වලට පුර්ණ  ආගමික නිදහස ව්‍යවස්ථාවෙන්ම සහතික කොට දී ඇත.

එහි ලොව ඉතාම ඉහළ තාක්ෂණ හැකියාවන්ගෙන් පරිපුර්ණ වූ හලාල් රසායනාගාරය පිහිටා ඇත්තේය. හලාල් විද්‍යා මධ්‍යස්ථානය (The Halal Science Center – HSC – CU) 2003 වර්ෂයේදී චුලලොන්කොන් (Chulalongkorn) විශ්ව විද්‍යාලයේ ආරම්භ කොට ආහාර හා අනෙකුත් මිනිස් පාරිභෝජනයට උපයෝගී කර ගන්නාවූ භාණ්ඩයන්හි අහිතකර හා හලාල් තත්ත්ව මිම්මට පටහැනි ද්‍රව්‍යයන් ඇති දැයි පරීක්ෂා කිරීම මෙහි වැදගත්ම කාර්ය භාරයයි. මෙය ලොව එම තත්වයේ ප්‍රථම අංග සම්පුර්ණ රසායනාගාරයයි.

මෙම කාර්යයන් තුළින් ලොව හලාල් වෙළඳ පොළේ පස් වන ස්ථානයට පැමිණෙන්නට තායිලන්තයට හැකිවී තිබෙන්නේ 2009 වර්ෂයේ දත්ත අනුව 5.3% ක වෙළඳ පිරිවැටුමක් සමගය. තායිලන්ත  රජයේ අනුග්‍රහයෙන් හලාල් වෙළඳ පොළේ තම කොටස වර්ධනය කර ගැනීමේ අදහසින් පරිවාර ආයතන රාශියක් පිහිටුවා ඇත. තායිලන්ත ඉස්ලාමීය බැංකුව, තායිලන්ත හලාල් ආහාර තත්ත්ව ආයතනය (Institute of Halal Food Standard of Thailand) හලාල් විද්‍යා මධ්‍යස්ථානය සහ පටානි දිස්ත්‍රික්කයේ ඇති හලාල් ආහාර කර්මාන්ත පුරය මේවායින් සමහරකි. මෙම ක්‍රියාවන් තුළින් තායිලන්තය මහා පරිමාන ආර්ථික ප්‍රතිලාභ ලබමින් සිටියි. මෙයින් අපහට ඉගෙනගත හැකි පාඩම් රාශියක් ඇත්තේය.

විදේශ සංචාරක කර්මාන්තය      

ශ්‍රී ලංකාව, මැද පෙරදිග හා ඉස්ලාමීය රටවලින් මෙන්ම ඉස්ලාමීය නොවන රටවල මුස්ලිම් ජනයා අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්වෙමින් පවතී. මෙම අංශය වඩාත් ආකර්ෂණීය එකක් බවට පත්කර ගැනීමට හැකි වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවන් අප විසින් සපුරාලීමට කටයුතු කිරීමෙන් පමණි. ඔවුන්ගේ නිර්ණායකයන් අනුව ආහාර සකස් වී නොමැති නම් කිසිසේත්ම මෙය කළ හැකි වන්නක් නොවේ. මෙම අංශයේ ශීඝ්‍ර වර්ධනයක් සඳහාද හලාල් සහතික ලත් ආහාර හා අනෙකුත් පාරිභෝජන භාණ්ඩ සැපයීම අත්‍යවශ්‍යව තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ හලාල් සහතික ලත් කර්මාන්ත රටේ ආර්ථික වර්ධනයට මෙන්ම ජනයාට සුදුසු තත්ත්ව සහතිකයක් ඇතිව සැපයුම් සලස්වන්නට උපයෝගී වන්නාවූ යහ පිළිවෙතක් බව ඉහත කෙටි විග්‍රහය තුළින් අපට අවබෝධ කරගන්නට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. මේ පිළිබඳව මෑතකදී මතු කරන ලද විවේචන කිහිපයක් පිළිබඳවද සලකා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ඒ පිළිබඳ විස්තර පහතින් ලබා දී ඇත්තෙමු.

විවේචන

සැබැවින්ම රටක සිදුවන්නා වූ සියළු කාර්යයන් පිළිබඳව විවේචන තිබීම එම සමාජයේ යහපත පිණිසම වන්නක් බවත් එම සමාජයේ අදහස් දැක්වීමේ අයිතියේ සහතිකයක් ලෙසත් එය දැක්විය හැක. නමුත් විවේචන වෛරය හා ක්‍රෝධය පදනම් වුවක් නම් සිදුවන්නේ පිරිහීම හා සමාජ ඒකාග්‍රතාව බිඳ වැටීම පමණි.  තිස් වසරක් පුරා ලාංකේය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකේය දේශය, ලාංකේය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත.

යුද්ධය රටට අහිමි කළ විශාලතම සම්පත වුයේ “මානව සම්පතයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කළ යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කරන ලදී. තමන් උපන් භූමිය තුළම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වුහ. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩිහිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්යය ප්‍රතිඵලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතළ වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කළ හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත්තේ පුර්ව යුද වකවානුවේ ප්‍රචාරයන් දැනුදු සිදුවෙද්දී ඒ පිළිබඳව වගකිවයුත්තන් නිහඬ නිරීක්ෂකයින් බවට පත්වී ඇති බව දැකීමෙනි. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥානයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥානය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?

මෙම තත්වය පසුබිම් කරගෙන දැනට මතුවී ඇති විවේචන පිළිබඳව යථාර්ථයෙන් දකින්නට උත්සාහ කරමු.

  1. හලාල් සහතික ලත් ආහාර වර්ග අල්ලාහ් ගේ නමින් ඉඳුල් කළ ආහාරයන්ය.

මෙවන් චෝදනා පිළිබඳව තමන්ගේ හෘද සාක්ෂිය අමතා විමසන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. හලාල් සහතික ලත් ආයතනයන්ගෙන් බහුතරයක් ඉස්ලාමීය ඒවා නොවේ. කරුණාකර මෙ පිළිබඳව මෙම මුස්ලිම් නොවන ආයතනයන්ගෙන් විමසා බලන්න. හලාල් සහතික ලබා දීමේ ක්‍රියා වලිය විද්‍යාත්මක එකක් වන අතර එම ක්‍රියාවලිය තුළ මෙවන් පිළිවෙතකට කොහෙත්ම ඉඩක් නොමැත්තේය. මෙය සත්‍යය වශයෙන්ම කිසිම පදනමක් නොමැති සම්පුර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි.

  1. හලාල් සහතිකය ලබා ගැනීම කරනුයේ එම ආයතනයන්ට කරන්නාවූ බලකිරීම් නිසාය. හලාල් සහතිකය ආරම්භයේ ලබාදුන්නේ ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ අනුබද්ධිත ආයතනයක් මගිනි. එසේ නොවුවහොත් එයට ජාත්‍යන්තර පිළිගැනීමක් සහතික කරගැනීම කිසිසේත්ම කළ හැකි දෙයක් නොවේ. කෙසේ නම් මෙම ආයතනය විශාල සමාගම් වලට බලපෑම් කරන්නට හැකි වන්නේද යන්න සැවොම සිතා බැලිය යුත්තක් නොවන්නේද?

හලාල් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය අයදුම් පත් සහ අනෙකුත් ලියකියවිලි  ආයතනයන්ට ලබා දෙන්නේ ඉල්ලීමක් කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව යමෙකුට සැකයක් ඇත්නම් මෙය තහවුරු කළ හැක.

  1. හලාල් සහතිකය දීමෙන් ලැබෙන්නාවූ මුදල් ඉස්ලාමීය ප්‍රචාර කටයුතු වලට යොදා ගනිති.

හලාල් සහතික ලබා දෙන ආයතනයේ සියලු ගිණුම් වරලත් ගණකාධිකාරවරයෙකුගේ විගණනයට බඳුන් කරනු ලැබ සියලු රාජ්‍ය නීති රීති අනුව පවත්වා ගෙන යන්නකි. ඉස්ලාමීය ප්‍රචාර සඳහා කිසිම මුදලක් වෙන්කිරීමට එම ආයතනයේ ගිණුම් හෝ පරිපාලන පටිපාටියේ ඉඩක් කිසිසේත්ම නොමැත. මෙයද පෙර චෝදනා මෙන් අර්ථ ශුන්‍ය එකක් පමණි.

  1. මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවයක් වූ හලාල් සහතිකය සඳහා මුස්ලිම් නොවන්නන් හට අධික මිලක් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමට සිදුවී තිබේ.

මෙය, භාණ්ඩ මිල සකස් වන්නේ කුමන සාධක මතද යන්න පිළිබඳව දැනුමකින් තොරව මතු කළ චෝදනාවක් බව පැහැදිලිය. ලංකාවේ ආහාර නිෂ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා‍ බලමු.

සැබැවින්ම, ලංකාවේ පාරිභෝගික වෙළඳපොළ (Consumer Market) ඉතා කුඩා එකකි. එනිසා අපේ රටේ නිෂ්පාදකයාට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඇති වෙළඳපොළ ඉතා කුඩා එකකි. මේ නිසා නිෂ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව බෙදීගොස් භාණ්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙළඳ‍පොළකි. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර භාණ්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිෂ්පාදකයින් දැනුදු සිටින්නේ ඉන්දියානු නිෂ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයකය. අද අපේ රටේ බොහෝ භාණ්ඩ වල නිෂ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට

ඉන්දියාවෙන් ආනයනය කළ හැක. මෙම තත්වය තුළ ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත හෙළන්නට අප කටයුතු කළහොත් එය ජාති ද්‍රෝහී ක්‍රියාවක් වනවාට කිසිම සැකයක් නොමැත. හලාල් සහතිකය ඉවත් කළ වහාම ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඔහුගේ භාණ්ඩ නිෂ්පාදනයේ නිශ්චිත පිරිවැය සුළු නිෂ්පාදන ප්‍රමාණයක් විසින් අවශෝෂණය කරගැනීමට සිදුවන හෙයින් වෙළඳ පොළට යවන භාණ්ඩයන්ගේ මිල ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි. එසේ කිරීමේදී ඉන්දියාවෙන් ආනයනික ලාබ භාණ්ඩ සමග තරඟ කරන්නට නොහැකි වීමෙන් ඉතා අසරණ තත්වයකට ඔහු පත් වෙයි. නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක තිබියදී අඩු මිලට භාණ්ඩ සැපයුවහොත් ඔහුගේ කර්මාන්තයේ ආයු කාලය ඉතාම කෙටි විය හැක.

කෙසේ වෙතත් හලාල් සහතිකය වෙනුවෙන් නිෂ්පාදකයාට භාණ්ඩයක් (උදා: බිස්කට් පැකැට්ටුවක්) සඳහා අමතරව වියදම් වන්නේ සත ගණනක් පමණි.

ජනයා උද්වේගයට පත්කරවීම සඳහා මේවා සටන් පාඨ විය හැකි මුත් අර්ථ ශාස්ත්‍රය පිළිබඳව දැනුමකින් තොරව කරන්නාවූ මෙවන් ප්‍රකාශන නිසා දේශීය නිෂ්පාදකයා සහතික වශයෙන්ම ඉතා කෙටි කාලයක් තුළ විනාශ කර දැමීම පමණයි මේවායින් සිදුවන්නේ. එමනිසා බුද්ධිමත්ව හා යහ චින්තනයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වෙමු. වෛරය හා ක්‍රෝධය ඉවතලා ලක් මවගේ දු දරුවන් මෙන් සාමය, සමගිය හා සෞභාග්‍ය සපිරි රටක් ගොඩ නගන්නට අත්වැල් බැඳ ගනිමු.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *