කථාකරන භාෂාව අනුව හෝ සමේ වර්ණය අනුව හෝ කෙනෙක් උසස්වන්නේ හෝ පහත් වන්නේ නැත. මිනිසාගේ වටිනාමකම මැනිය යුත්තේ ගුණ දර්ම අනුව මිස වෙනත් කිසිවකින් නොවේ. ගුණ දර්ම නැති මිනිසා තිරිසනාටත් වඩා පහත් තත්වයට වැටෙන්නේය. මේ අනුව ලෝකයේ ඉන්න ටික කාලය තුලදී හොඳක් කර තිබුනොත් එය මරණයෙන් පසුත් පල දෙනු ඇත. නරකක් කර තිබුනොත් මරණයට පසුත් එය ශාපයක් වනු ඇත. ඇත්ත වශයෙන්ම මිනිසාට එවැනි දෙයක් අවශ්‍යද?
සෑම ආගමකින්ම මිනිසාට ගුණ දර්ම උගන්වා තිබේ. මිනිසා බැබලෙන්නේ ඒවා අනුගමනය කළහොත් පමණි. නැතහොත් ඔහුගේ ආගම ඔහුට සාප කරනු ඇත. ආගමක් හරි හැටි පිළිපැදිය හැක්කේ එම ආගම ගැන දැනුමක් තිබුනොත් පමණි. නමට ආගම ගාව ගැනීමෙන් පමණක් යහපතක් වන්නේ නැත. ලෝකය පුරා ආගමික ගිනි දැල් පත්තු වන්නේ නමට ආගම අදහන අය සිදු කරනු ලබන වැරදි නිසාය.
අද අප ජිවත් වන්නේ ආගම නිසා කුලල් කා ගන්නා ලෝකයකය. බොහෝ විට මේවා සිදු වන්නේ ආගම ගැන ඇති කැක්කුම නිසා නොව ලෞකික අරමුණු වෙනුවෙනි. ආගම ගැන කිසිම දෙයක් නොදන්නා රස්තියාදු කාරයින් ආගම වෙනුවෙන් පෙනී සිටීම ආගමික ගැටුම්වලට එක් හේතුවකි. බොහෝ විට ආගමික ගැටුම් අවුළුවන්නේ පුද්ගලික ලාබ ප්‍රයෝජන සඳහාය. මින් සිදුවන අලාබය අතිවිශාලය. හොඳ මිනිසුන් ඒවා වැළැක්වීමට ක්‍රියා නොකර සිටීමත් වැරැද්දකි.
කෙනෙක් වැරැද්දක් කලොත් දඬුවම් කල යුත්තේ ඔහුට මිස ඔහු නියෝජනය කරන ආගම අදහන සියල්ලන්ටම නොවේ. එසේ කිරීම ගෝත්රිකයින්ගේ පුරුද්දකි. අද අපි ජීවත්වන්නේ ගෝත්‍රිකයින් සිටි යුගයට වඩා දියුණු යුගයකය. එබැවින් ආගමික සිද්දස්ථාන වලට ගිනි තැබීම කඩවල් ගිනි තැබීම මංකොල්ල කෑම නොකල යුතු දේවල් ය. ඉතිහාසයේදී ගෝත්‍රිකයින් විසින් එවැනි යුද්ධ දිගු කාලයක් තිස්සේ සිදු කොට ඇත. ඒවා නැවත ආරම්භ කිරීම අපි ආපස්සට යාමකි. එබැවින් අපි බුද්ධිමත්ව කල්පනා කල යුතුව ඇත.
ආගමික නායකයින්ගේ වගකීම විය යුත්තේ නොමග ගිය මිනිසුන් ඇතුළු අනෙකුත් සියළු දෙනාටම නිවැරදි මාර්ගය පෙන්වා දීමය. එසේ තිබියදී පුජකවරුන් වැරදි කිරීමට පෙරමුණ ගන්නේ නම් අනෙක් මිනිසුන් ගැන කවර කථාද? කෙනෙක් වැරදි කරන විට නිවැරදි දහම දන්නා අයත් නිහඬව සිටින්නේ නම් ඔවුන්ගෙන් රටට හෝ දහමට වැඩක් වෙයිද?
සෑම ජන කොටසක්ම එකමුතුව ජීවත්වන්නේ නම් එය රටට මෙන්ම තමන්ටද විශාල ශක්තියකි. එහෙත් අද සිදුවන්නේ සුළු පිරිසකගේ නොමනා ක්‍රියා නිසා විශාල පිරිසක් දුකට පත් වීමය. මේවා වැළැක්වීමට ශක්තිය ඇති අය ඒවා වැළැක්වීමට ක්‍රියා නොකර සිටීම වරදකි. වැරදි කරන අයව නතර කිරීමට සියළු දෙනාම එකා මෙන් නැගී සිටියේ නම් වැරදි කරන අයගේ ශක්තිය හීන වනු ඇත.
මිනිසුන්ගේ අදහස් හා සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්ය. එබැවින් සෑම කෙනෙක්ම එකා මෙන් වීම බලාපොරොත්තු විය නොහැකිය. මෙම කරුණ හොඳින් තේරුම් ගන්නේ නම් අනෙක් අයගේ මත වලට මෙන්ම අනෙකාගේ ආගම් ඇදහීමට බාදාවක් නොවී ජිවත් වීමට දැනගත හැකිය. මිනිසුන්ගේ ආගමික නිදහසට බාදා කිරීමත් එකමුතු කම විනාශ වීමට හේතුවකි.
කිසිම ආගමකින් වැරදි කිරීමට උගන්වන්නේ නැත. එබැවින් එක් ආගමක නීති රීති දිහා බලා තවත් ආගමිකයෙක් එය විවේචනය කිරීම සමගියට කරන විශාල හානියකි. එහෙත් සෑම ආගමකටම පොදු වු වැරැද්දක් කරන විට ඊට විරුද්ධ වීම සියළු දෙනාටම පැවරෙන වගකීමක් වන්නේය. උදාහරණයක් ලෙස මත්ද්‍රවය, ලිංගික අපයෝජනය, සොරකම, කෝලාහල ආදිය වැළැක්වීමට මුළු සමාජයම එකතු විය යුතුය. ඒවාට ඉඩ දී බලා සිටීම විශාල වරදකි. අඩුම තරමින් ඒවා පිළිකුලෙන් හෙලා දැකිය යුතුය.
By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.