කථාකරන භාෂාව අනුව හෝ සමේ වර්ණය අනුව හෝ කෙනෙක් උසස්වන්නේ හෝ පහත් වන්නේ නැත. මිනිසාගේ වටිනාමකම මැනිය යුත්තේ ගුණ දර්ම අනුව මිස වෙනත් කිසිවකින් නොවේ. ගුණ දර්ම නැති මිනිසා තිරිසනාටත් වඩා පහත් තත්වයට වැටෙන්නේය. මේ අනුව ලෝකයේ ඉන්න ටික කාලය තුලදී හොඳක් කර තිබුනොත් එය මරණයෙන් පසුත් පල දෙනු ඇත. නරකක් කර තිබුනොත් මරණයට පසුත් එය ශාපයක් වනු ඇත. ඇත්ත වශයෙන්ම මිනිසාට එවැනි දෙයක් අවශ්‍යද? 

සෑම ආගමකින්ම මිනිසාට ගුණ දර්ම උගන්වා තිබේ. මිනිසා බැබලෙන්නේ ඒවා අනුගමනය කළහොත් පමණි. නැතහොත් ඔහුගේ ආගම ඔහුට සාප කරනු ඇත. ආගමක් හරි හැටි පිළිපැදිය හැක්කේ එම ආගම ගැන දැනුමක් තිබුනොත් පමණි. නමට ආගම ගාව ගැනීමෙන් කිසිම යහපතක් වන්නේ නැත. ලෝකය පුරා ආගමික ගිනි දැල් පත්තු වන්නේ නමට ආගම අදහන අය සිදු කරනු ලබන වැරදි නිසාය.

අද අප ජිවත් වන්නේ ආගම නිසා කුලල් කා ගන්නා ලෝකයකය. බොහෝ විට මේවා සිදු වන්නේ ආගම ගැන ඇති කැක්කුම නිසා නොව ලෞකික අරමුණු දිනා ගැනීම සඳහාය. ආගම ගැන කිසිම දෙයක් නොදන්නා රස්තියාදු කාරයින් ආගම වෙනුවෙන් පෙනී සිටීම මිට එක් හේතුවකි. බොහෝ විට ඔවුන් එසේ කරන්නේ කාගේ හෝ කොන්තරාක්තුවක් ඉටු කිරීම සඳහාය. මින් සිදුවන අලාබය අතිවිශාලය. මේ නිසා හොඳ මිනිසුන් ඒවා වැළැක්වීමට ක්‍රියා නොකර සිටීමත් එක්තරා වැරැද්දකි.

සෑම ජන කොටසක්ම එකමුතුව ජීවත්වන්නේ නම් එය රටට මෙන්ම තමන්ටද විශාල ශක්තියකි. එහෙත් අද සිදුවන්නේ සුළු පිරිසකගේ නොමනා ක්‍රියා නිසා විශාල පිරිසක් බේද වීමය. මේ සඳහා හොඳ මිනිසුන්ද වග කිව යුතුය. සියළු දෙනාම එකා මෙන් වැරදි කරන අයට විරුද්ධව නැගී සිටියේ නම් වැරදි කරන අයගේ ශක්තිය  හීන වනු ඇත. එහෙත් මෙවැනි දෙයක් අප සමාජයේ සිදු වන්නේ නැත.

මිනිසුන්ගේ අදහස් හා සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්ය. එබැවින් සෑම කෙනෙක්ම එකා මෙන් වීම බලාපොරොත්තු විය නොහැකිය. මෙම කරුණ හොඳින් තේරුම් ගන්නේ නම් අනෙක් අයගේ මත වලට මෙන්ම අනෙකාගේ ආගම් ඇදහීමට බාදාවක් නොවී ජිවත් වීමට දැනගත හැකිය. මිනිසුන්ගේ ආගමික නිදහසට බාදා කිරීමත් එකමුතු කම විනාශ වීමට හේතුවකි.

කිසිම ආගමකින් වැරදි කිරීමට උගන්වන්නේ නැත. එබැවින් එක් ආගමක නීති රීති දිහා බලා තවත් ආගමිකයෙක් එය විවේචනය කිරීම සමගියට කරන විශාල හානියකි. එහෙත් සෑම ආගමකටම පොදු වු වැරැද්දක් කරන විට ඊට විරුද්ධ වීම සියළු දෙනාටම පැවරෙන වගකීමක් වන්නේය. උදාහරණයක් ලෙස මත්ද්‍රවය, ලිංගික අපයෝජනය, සොරකම, කෝලාහල ආදිය වැළැක්වීමට මුළු සමාජයම එකතු විය යුතුය. ඒවාට ඉඩ දී බලා සිටීම විශාල වරදකි. අඩුම තරමින් ඒවා පිළිකුලෙන් හෙලා දැකිය යුතුය.

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *