හරියාකාරව උපවාස කිරීමෙන් මිනිස් ශරීරයට මෙන්ම ආත්මයට බොහෝ ප්‍රයෝජන අත්වන්නේය. උපවාසය මුහම්මද් නබිතුමාට පෙර ජීවත්වූ මිනිසුන් සඳහාද නියෝග කොට තිබී ඇත. ඒ බව අල් කුරානයේ මෙලෙස සඳහන් වන්නේය.“විශ්වාසවන්තයිනි! නුඹලා (අල්ලාහ්ට) බය භක්තියෙන් ක්‍රියා කිරීම පිණිස නුඹලාට පෙර විසු අයට නියම කළා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කළෙමු” (කුරානය 2:183).

උපවාස කිරීම සඳහා දෙවියන් කාළය නියම කොට ඇත. ඒ අනුව උපවාස කළ යුත්තේ ඉස්ලාමිය දින දර්ශනයේ නවවන මාසය වන රමළාන්හිදී  ය. එහි කාල පරාසය අළුයම පාන්දර සිට ඉර බසින තුරු ය.

රමළාන් මාසය හේතු කීපයක් නිසා වැදගත් වන්නේය. අල්-කුරානය පහළ වුයේ එම මාසයේදීය. තවද රමළාන් මාසයේ ලෛලතුල් කදර් නමැති බලගතු රාත්‍රියක් ඇත. එම රාත්‍රියේදී සිදු කරන පින් දහම් රමළාන් නොවන මාස දහසකදී කරන පින් දහම් වලට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨවන්නේය.

සෑම මුස්ලිම්වරයෙකුම උපවාස කාලය තුලදී අහාර පාන, ලිංගික ක්‍රියාවලියන් ඇතුළු බොහෝ දේවල්වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. තවද මෙම කාලය තුලදී දෙවියන්ගේ නියෝග හැකි පමණින් ඉටු කළ යුතු අතර දෙවියන් තහනම් කළ දේවල්වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. එසේ කිරීමෙන් දෙවියන්ට වඩාත් සමීප විය හැකි වන්නේය. රමළාන් මාසයේදී ලබන්නාවූ මෙම පුහුණුව රමළාන් නොවන මාසවලදීද රැකගැනීමෙන් මිනිසාගේ අධ්‍යාත්මික දියුණුව දිගටම පවත්වා ගැනීමට හැකි වනු ඇත.

රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් ලැබෙන බවද රමළාන් මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට රමළාන් නොවන මාසවලදී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට ලැබෙන කුලිය ද ලැබෙන බව නබිතුමා පවසා ඇත.

උපවාස කිරීම වැඩිවියට පත්වු සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය වේ. එහෙත් රෝගීන්ට, දහමින් අනුමත ගමනක යෙදී සිටින අයට උපවාස කිරීමේ අපහසුතාවයක් ඇත්නම් එය වෙනත් දින වලදී ඉටු කිරීමට අවසර තිබේ. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් දැනුම් දී ඇත.
  
“නුඹලාගෙන් යමෙක් රෝගීයෙකු ලෙස හෝ මගියෙකු ලෙස හෝ සිටියිද (ඔවුන්) ඒ වෙනුවෙන් වෙනත් දිනයකදී එම දින ගණන උපවාසයේ යෙදිය යුතුය. එහෙත් (මහලුවීම නිසා හෝ නිරන්තර රෝගී භාවය හේතුවෙන්) උපවාසය ඉටු කිරීමට නොහැකි අය ඒ වෙනුවෙන් දුප්පතුන්ට ආහාර ලබා දිය යුතුය…” (කුරානය 2:184).

මුහුකුරා ගිය වයස නිසා හෝ රෝගී වීම හේතුවෙන් හෝ උපවාසය කිරීමට නොහැකි නම් ඔවුන්ට එසේ ඉටු කිරීමට නොහැකි වන සෑම උපවාසයක් සඳහාම සහල් ග්‍රෑම් 625 පමණ දුපතුන්ට බෙදා දිය යුතුය.

ගැබිණි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට උපවාස කිරීමෙන් ශරීර සෞඛ්‍යයට හානියක් වේ යැයි වෛද්‍යවරුන් පවසන්නේ නම් රමළාන් මාසයේදී එය ඉටු නොකර වෙනත් දිනවලදී ඔවුන්ට අත්හැරුණු උපවාසයන් නැවත ඉටු කළ යුතුය.

කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ඇති කාල සීමාවේදී උපවාස කිරීම තහනම් වේ. එහෙත් ඔවුන්ට අතපසු වූ උපවාසයන් සියල්ලම ගණන් බලා ඒ වෙනුවට වෙනත් දිනවලදී ඒවා ඉටුකළ යුතුය.

කුඩා ළමයින්ට උපවාස කිරීම අනිවාර්ය නොවුවද වයස හත ඉක්මවූ පසු උපවාස කිරීමට පුහුණු කළ යුතුය.

උපවාස කිරීමෙන් අධ්‍යාත්මික යහපතට අමතරව ශරීර සෞඛ්‍යයට වාසි රැසක්ම අත්වන්නේය. තවද උපවාසය නිසා ධනවතුන්ට දුගී ජනතාවගේ බඩගින්න තේරුම් ගැනීමට අවස්ථාව ලැබෙන්නේය.

උපවාස කාලයේදී බොරු කීමෙන් සහ වැරදි කිරීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. නබිතුමා වදාළ හදිසයකට අනුව කෙනෙක් බොරු කීමෙන් සහ පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් වැලකී නො සිටින්නේ නම් ඔහුගේ කුසගින්නෙන් සහ තිපාසයෙන් අල්ලාහ්ට කිසිම අවශ්‍යතාවයක් නැත (සහිහ් අල්-බුහාරි).

උපවාසකිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුසගින්නේ සිටීම පමණක් නොවේ. උමර් රලි තුමා පවසා ඇති අන්දමට උපවාසය යනු හුදෙක් නොකා නොබී සිටීම පමණක්ම නොව බොරුකීම සහ අනවශ්‍ය කථාවල නොයෙදී සිටීමය. සාමාන්‍ය දිනයකදී වුවද අනුන්ගේ කේලම් සහ ඕපාදුප කීම තම මියගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීම වැනි ක්‍රියාවක් බව අල්කුරානයේ සඳහන් කොට ඇත.

උපවාස සමයේදී හැකි තරම් කුරානය පරායණය කිරීම සහ එහි තේරුම දැනගැනීම සඳහා කුර්ආන් පරිවර්තනයක් කියවීමට වඩාත් ප්‍රයෝජනවත් ය. එසේ කිරීම උපවාසයේ ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට හැකි වන්නේය.

උපවාස කාළය තුලදී කිසිම දෙයක් ශරීරයට ඇතුලත් කල නොහැකි වුවත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා දීම වරදක් නොවන බව විද්වතුන් පවසා ඇත.

ස්නානය කිරීම අනිවාර්ය වූ අවස්ථාකදී පවා සහර් (අළුයම ආහාරයෙන්) පසු උපවාසයට ඇතුළු විය හැකිය. ස්නානය කිරීම අනිවාර්ය වන්නේ සලාතය ඉටු කිරීම සඳහා ය.

උපවාසය හමාර කිරීම රට ඉඳි වලින් සිදු කිරීම නබිතුමාගේ සුන්නාවකි. රට ඉඳි වල ඇති සීනිවලින් ශරීරයට අවශ්‍ය ශක්තිය ක්‍ෂණිකව ලැබෙන්නේය. මේ නිසා උපවාසය අවසන් කල කෙනෙකුට විශාල කෑම වේලක් අවශ්‍යවන්නේ නැත. උපවාසය අවසන් වූ පසු අඩුවෙන් කෑම ගැනීම පින් දහම් කිරීමට උදව්වක් වන්නේය. තවද උපවාසයේ නිසි ඵල නෙලා ගත හැකි වන්නේද එසේ කිරීමෙනි.

උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් නව සඳ දැකීමෙනි. එහෙත් සැම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. විශ්වාස්වන්තයින් දෙදෙනෙකු නව සඳ දුටු බව පවසන්නේ නම් ප්‍රමාණවත් ය.

අළුත් සඳ බැලීම භූගෝලීය කලාප අනුව සිදු කරනවාද නැතහොත් ගෝලීය වශයෙන් සිදු කරනවාද යන්න පිලිබඳව විද්වතුන් අතර එදා සිටම මත බේද දැකිය හැකිය. කෙසේ වෙතත් බහුතර මුස්ලිම් විද්වතුන්ගේ මතය වන්නේ තමන් ජිවත්වන භූගෝලීය කලාපය අනුව උපවාසය ආරම්හ කළ යුතු බවයි. ඒ අනුව ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමාගේ මතය වන්නේද තමන් වෙසෙන භූගෝලීය කලාපය අනුව උපවාසය ආරම්භ කළ යුතු බවයි.

උපවාසය අවසාන කළ වහාම සිසිල් බිම (soft drinks-sprite, cokoacola etc;) වැනි දේවල් ගැනීම ඉතාමත් අහිතකර බව වෛද්‍යවරුන්ගේ මතය වේ. මිට හේතුව දවස පුරා විජලනය වී තිබුණු වකුගඩුවලට එම බිම වල ඇති වායුවලින් හානි සිදුවීමට හැකි නිසාය.

උපවාසය නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට බොහෝ ප්‍රයෝජන අත්වන්නේය. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය සැපයෙන්නේ ශරීරයේ ඇති සීනි දහනය වීමෙනි. උපවාසයේ නියැලුණු පුද්ගලයෙකුගේ ශරීරයට අවශ්‍ය ශක්තිය රුදිරයේ ඇති සීනිවලින් සපයා දීමෙන් පසු තව දුරටත් අවශ්‍ය ශක්තිය සැපයීම සඳහා ශරීරයේ ඇති ස්වයංක්‍රීය පද්දති ඉබේ ක්‍රියාත්මක වන්නේය. මින් සිදු වන්නේ ශරීරය තුල තැන්පත් වී ඇති මේදය දැවීමෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීමය. මේ ආකාරයට රුධිර නාල වල ඇති මේදය ඉවත් වීමක් සිදුවන්නේය. කෙසේ වෙතත් උපවාසය අවසන් වූ පසු හෝ සහර් වෙලාවේදී අධිකව කෑම අනුභව කිරීමෙන් ඉහත කි ප්‍රතිපල අත්වන්නේ නැත.

උපවාස කාලයේදී රුධිරයේ ඇති සීනි ඉතා හොඳින් පාලයන වන අතර වේගයෙන් වර්ධනය වන පිළිකා සෛලවලට පෝෂණය අඩු වන්නේය. මේ නිසා පිළිකා රෝගීන්ගේ ශරීරයේ ඇති පිළිකා සෛල වර්ධනය අඩාල වීමට හේතුවක් වේ. තවද උපවාසය නිසා ආහාරයේ අඩංගු නොවුවත් පරිසරයෙන් ශරීරයට ඇතුළු වන්නාවූ DDT වැනි රසායනික ද්‍රව්‍ය ඉවත් වන්නේය. තවද උපවාස නිසා රුදිරයේ සිනි, කොලොස්ටරෝල්, රුධිර සංන්‍යාස්ත පීඩනය (systolic blood pressure) පාලනය හොඳින් සිදු වන්නේය. එම නිසා නියමිත පරිදි උපවාස කිරීමෙන් තරබාරුකම අඩුකළ හැකිය.

වර්ෂ 1994 දී මුස්ලිම් සහ මුස්ලිම් නොවන පර්යේෂකයින්ගෙන් යුත් අන්තර් ජාතික සම්මන්ත්‍රණ සභාව විසින් “උපවාසය සහ නිරෝගිකම” යන මැයෙන් ලොව පුරා කරන ලද පර්යේෂණ වාර්ථාව උපයෝගීකරගනිමින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව උපවාස කිරීම නිසා සෞඛ්‍යයට කිසිම බලපෑමක් නොවන බව නිගමනය කොට තිබේ. කෙසේ වෙතත් උග්‍ර අසනීපයෙන් පෙලෙන රෝගීන් උපවාස කිරීමෙන් වැලකි සිටිය යුතු බව ඔවුන් පවසා ඇත.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *