ඉස්ලාමය ජ්‍යෝතිෂය ප්‍රතික්ෂේප කරන්නේද? එසේ නම් එයට හේතු පැහැදිලි කරන්න.
පැහැදිලි කිරීම
ලග්න පලාපල කේන්දර බැලීම අත්ලේ රේඛා ශාස්ත්‍රය සුබ අසුබ වේලාවන් සුබ අසුබ සලකුණු නැකත් හා හුනු ශාස්ත්‍රය වැනි ක්‍රියාවන් මගින් පොදුවේ අපේක්ෂා කරන්නේ සිදු වීමට ඇති දෑ පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමයි. මෙම කරුණු සියල්ලම ජ්‍යෝතිෂය විෂය ධාරාවට අදාළ කරුණු ලෙස සැලකිය හැක. ශබ්දකෝෂ අර්ථ දැක්වීමට අනුව ජ්‍යෝතිර් වේදය හෙවත් ජ්‍යෝතිෂය අර්ථ දක්වා ඇත්තේ “නක්ෂත්‍ර තාරකාදීන්ගේ ගමන් හා සාපේක්ෂ පිහිටීම ආදිය මිනිසාට මිනිස් කටයුතු වලට හා පරිසරයට ඇතැයි කියන බලපෑම් පිළිබඳ ව උගන්වන විද්‍යාව, නැකත් විද්‍යාව”, ආදී වශයෙනි.
මිනිසා නිරතුරුවම අනාගතය පිළිබඳව බලාපොරොත්තු හා සැකය පදනම් කර ගනිමින් කටයුතු කරන්නෙකි. සිදු වීමට ඇති දෑ පිළිබඳ කුතුහලය හේතුවෙන් මෙවන් අනාවැකි ක්‍රමවේද උපයෝගී කරගන්නට ඉදිරිපත් වෙයි. මෙම ක්‍රමවේදයන් කොතෙක් දුරට සත්‍යය හා විද්‍යාත්මක පදනමකින් යුක්තද යන්න පළමුව විමසා බලා පසුව ඉස්ලාමයේ ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු.
අප රටෙ හි පළ වන ‘ජාතික’ පුවත්පත් මෙන්ම රුපවාහිනි හා ගුවන් විදුලි නාලිකා මගින් ද මෙවන් ක්‍රියාවන් සඳහා පිටු ගණන් හා විකාශන වේලාවන් වෙන් කර ඇති අතර ජනගහණයෙන් ප්‍රමාණවත් පිරිසක් මේ පිළිබඳව උනන්දුවක් දක්වන බවද දක්නට ඇත. විවාහ යෝජනා දැන්වීම් සියල්ලෙහිම පාහේ මෙම කරුණු අන්තර්ගතව ඇති බව දක්නට ඇත. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මෙලෙස ජ්‍යෝතිෂයට දී ඇති වැදගත්කමින්ම අප සමාජය කෙතරම් දුරට මෙම ක්‍රියාවලිය කෙරෙහි තබා ඇති විශ්වාසය මැන ගත හැකි වනු ඇතැයි සිතන්නෙමු. නමුත් මේවායින් කෙරෙනු ලබන බලපෑම පිළිබඳව විද්‍යාත්මකව හා යථාර්ථවාදීව විචාරය කරන හා අභියෝග කරන අවස්ථා අප දැක ඇත්තේ ඉතා විරලවය. එහෙයින් මේ විෂයට අදාළව තර්කානුකුල හා විද්‍යාත්මක කරුණු කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
අනාවැකි කීම ඉහත උපුටා දක්වා ඇති ශබ්දකෝෂ අර්ථ දැක්වීම අනුව එය විද්‍යාවක් ලෙස හඳුන්වා දී තිබුණද එය සැබැවින්ම අනුමානය පදනම් කර ගත් කලාවකි. එහි මුල්ම කොන්දේසිය වන්නේ අනාවැකි ප්‍රකාශ කිරීමේදී හැකි තරම් සාමාන්‍යය ව්‍යවහාරයන් භාවිත කිරීමයි. එමෙන්ම නිශ්චිත ස්ථාන දින වකවානු පුද්ගලයින් හා අවසන් ඵලය ආදිය සඳහන් නොකිරීමයි. ඒ සඳහා පහත උදාහරණ දෙස අපගේ අවධානය යොමු කරමු.
1. මේ සතියේ ඔබට සුබ අසුබ මිශ්‍ර ඵල ගෙන දෙයි.
2. තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.
3. ගමට මෙන්ම සිතට ද අවිවේකී සතියකි.
4. කෙටි ගමන් බිමන් වැඩි සතියකි.
5. ව්‍යාපාර කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට නව ආකාරයකින් හා නව ප්‍රබෝධයකින් යුතුව සිය රැකියාව කර ගෙන යෑමට ඉඩකඩ උදා වේ.
6. පවුලේ නෑ හිතමිතුරන් අතර හොඳ හිත තහවුරු වේ.
7. දෛනික කටයුතු අපහසුවකින් තොරව කර ගෙන යෑමට ඉඩකඩ ඇති කෙරේ.
8. යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට හැකි වේ.
මෙවැනි කාරණා එකක් කිහිපයක් හෝ සියල්ලම වුව යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ අදාළව සත්‍යය වීමට හැකි බව ප්‍රකාශ කිරීමට විශේෂ ශාස්ත්‍රීය දැනුමක් හෝ විධි ක්‍රමයක් අවශ්‍ය නොවන බව සුපරීක්ෂාකාරීව සිතන අයෙකුට තේරුම් ගත හැකි වනු ඇත.
යම් විශේෂ කරුණක් පිළිබඳව අනාවැකි ප්‍රකාශ කිරීමේදී මුළු දිවයිනටම පොදු වන අයුරින් එය කරන බව අපි දැක ඇත්තෙමු. තවද එවැනි දෑ ඒකාන්ත වශයෙන්ම සිදු වන බව නොකියා අවිනිශ්චිත අනුමානයන් භාවිත කරමින් පවසන බවද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස 2006 / 06 / 05 දින ‘සම්පත’ ජ්‍යෝතිෂ්‍ය පුවත්පතේ මුල් පිටුවේ පළ වූ පහතින් උපුටා දක්වා ඇති අනාවැකි විමසා බලමු.
1. ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ සමහර ප්‍රදේශ වලට හිම වැසි ලැබීමට පුළුවන.
2. ආහාර විෂ වීමක් පිළිබඳ පුවත් රට පුරා පැතිර යෑමට පුළුවන. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනෙකුට රෝහල් ගත වීමට සිදු විය හැක.
වියළි කාලගුණ තත්ත්වයන් යටතේ නුවරඑළිය හා කඳුකර ප්‍රදේශයන් හි හිම හෝ අයිස් පතනය වීම සිදු වේ. එමෙන්ම ආහාර හෝ ප්‍රමිතියෙන් තොරව මත්පැන් (කසිප්පු වැනි) විෂ වීම් නිසා රෝහල් ගත වීම පිළිබඳ පුවත් ද එතරම් දුලබ නොවේ. එහෙයින් මෙවන් අනාවැකි සැබෑ වීමේ අවස්ථා ද (සම්භාවිතාව) ඉහළ අගයක් ගනී.
එමෙන්ම එම පිටුවේම පළ වූ මෙම සඳහන ද විමසිල්ලෙන් කියවන්න. “කර්මාන්ත ශාලා වලට බලවත් අපල කාලයක් උදා වේ. කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක විශාල කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගැනීමට පුළුවන. ත්‍රස්තවාදී ක්‍රියා නව මුහුණුවරකින් කලඑළි බැසීමට පුළුවන”.
“බලාපොරොත්තු නොවූ මොහොතක” ගිනි ගැනීම් ඇති වී නැත්තේ කවදාද? පැරණි ව්‍යාපාරික ස්ථාන ගිනිකෙළි කම්හල් ආදිය ගිනි ගැනීම් එතරම් දුලබ නොවන බව ද ඒ පිළිබඳව විමසිල්ලෙන් පරීක්ෂා කරන අයෙකුට වටහා ගත හැකි වනු ඇත. අනෙක් කාරණය ත්‍රස්තවාදී ක්‍රියා එකම මුහුණුවරකින් සිදු වී නොමැති බව සැමට පහසුවෙන් වටහා ගත හැකි කාරණයකි. පුර්ව නිගමනයන් හා පසුගාමී පක්ෂපාතිත්වයන්ගෙන් තොරව විවෘත මනසකින් බලන අයෙකුට ජ්‍යෝතිෂයේ පදනම මිත්‍යාව බව වටහා ගැනීමට ඉහතින් දැක් වූ සරල කරුණු ටික වුවද ප්‍රමාණවත්ය.
ජ්‍යෝතිෂය ඉගෙන නොගෙන අනාවැකි පැවසීමේ කලාව
1. යම් කාරණයක් ඒකාන්ත වශයෙන්ම සිදු වන බව තනි අනාවැකියක් මගින් ප්‍රකාශ කිරීමෙන් වළකින්න. අනාවැකි ගණනාවක් පවසන්න. එවිට එයින් එකක් හෝ කිහිපයක් හෝ සිදු වීමට ඇති සම්භාවිතාව වැඩිය. අනාවැකි වැඩි වන ප්‍රමාණයට සාර්ථකත්වය ඉහළය. මක්නිසාද යත් මේ අනාවැකි වල අලුත් ආශ්චර්යයන් ප්‍රකාශ නොවන නිසාත් එවා සාමාන්‍ය ජීවිතයේ දී අපි සැවොම ඉඳහිට අත් විඳින සිදු වීම් නිසාත්ය. යම් අනාවැකියක් ඉෂ්ට වූ විට ඒ පිළිබඳව උදම් ඇනීම සම්ප්‍රදායකි. මෙකී අනාවැකිකරුවන්ගේ ‘වාසනාවට’ අසාර්ථක වූ අනාවැකි පිළිබඳව කිසිවෙකු ප්‍රශ්න කිරීම බොහෝ විට සිදු නොවන්නකි.
2. ජනතාව බියගන්වන කුතුහලය දනවන අනාවැකි ක්ෂණික ජනප්‍රියත්වයක් ලැබෙනු ඇත. එම බිය හා අවිනිශ්චිතභාවය හේතු කොට ගෙන රක්ෂණ සමාගම් වලට හා ජ්‍යෝතිෂය පුවත්පත් වලට වැඩි ඉල්ලුමක් ඇති වී ලාභයක් උපයා ගත හැක. උදාහරණ වශයෙන් වැසි සමය ආසන්නයේ දී අනාවැකි පළ කිරීම පහසුම හා ඵලදායිතම අනාවැකි බවට නිසැකවම පත් වනු ඇත. ඉදිරියේදී මහා ගංවතුරක් විශාල නාය යාමක් වැනි අනාවැකි ඉතා සුලබය. සුළු වර්ෂාවකින් වුව ද කොළඹ හා තදාසන්න නාගරික මහා මාර්ග වතුරින් යට වන නිසා එවැනි අනාවැකි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. පසුගිය කාලගුණ දත්ත හා කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉදිරි අනාවැකි ද මෙහි දී බොහෝ උපකාරී වනු ඇත. අවාසනාවට ශ්‍රී ලංකාව හා බොහෝ ආසියාතික රටවලට ඉතා විශාල ව්‍යසනයක් ගෙන දුන් සුනාමිය පිළිබඳව කිසිදු ජ්‍යෝතිෂඥයෙකුට අනාවැකි කීමට නොහැකි වීම ඔවුන්ගේ වංචා සහගත පිළිවෙත හෙළිදරවු කරන්නක් නොවේද?
3. නිර්මාණාත්මක ජ්‍යෝතිෂ අනාවැකි සඳහා ‘සුබසෙත’ පුවත්පතේ 2006 / 06 / 02 දින කලාපයේ ප්‍රධාන ශීර්ෂ පාඨය මෙසේ කියවා රස විඳින්න.
“ජුනි 18 වැනිදා කුජ ශනි ග්‍රහ යුද්ධයෙන් කුජ ජය ගනී. ගුරු නවයේ මර්මස්ථාන වීමෙන් රටේ ප්‍රගතියට නව වැඩපිළිවෙලක් – අධ්‍යයන අංශ රෝහල් බැංකු වෙළඳ කාර්මික අංශවල දියුණුවක් නව මුහුණුවරකින් රටේ පාලනයේ සුවිශේෂ වෙනස්කම් ඉදිරි ගමන නව මාවතකට කාලගුණ වෙනස්වීම් තුළින් සුළි සුළං ගංවතුර තර්ජන මුහුදු යාත්‍රාවලට හානි….”
මෙහි සඳහන් දියුණු නව මුහුණුවරකින් සුවිශේෂී නව මාවත් ආදී විශේෂණ මැනීමට අර්ථ දැක්වීම් නොමැත. ඉහතින් ගෙන හැර දැක්වුයේ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා සිතන අයෙකුට වුවද ජ්‍යෝතිෂයේ සැඟවුණු මිත්‍යාව ඉතාම පහසුවෙන් අවබෝධ කර ගත හැකි තොරතුරුය.
ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව
ජ්‍යෝතිෂය අනාවැකි පැවසීමේ පදනම වශයෙන් භාවිත කරන්නේ ආකාශස්ථ වස්තුන්ගේ චලිතයන් හා ඒවායේ සාපේක්ෂ පිහිටීමය. ආකාශස්ථ වස්තුන්ගෙන් ජ්‍යෝතිෂය භාවිත කරනුයේ සෞරග්‍රහ මණ්ඩලයට සහ හිරු රාශි චක්‍රයට අයත් තාරකා රාශි 12 ක් පමණි. දැනට ඇති දත්තයන් අනුව වසර තුන් දහසකට පමණ පෙර ආරම්භ වූ ජ්‍යෝතිෂය වර්තමානයේද පවතින්නේ ආරම්භක යුගයේ පැවති තත්ත්වයේමය. මෙයින් පැහැදිලි වන්නේ ජ්‍යෝතිෂය වූ කලී කිසිදා ඉදිරියට නොයන කිසිදා දියුණු නොවන ශාස්ත්‍රයක් බවය. එහි අක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ප්‍රථම සාක්ෂිය මෙයයි.
දෙවන කරුණ වනුයේ හිරු රාශි චක්‍රය පිළිබඳ සත්‍යය තත්ත්වයයි. මේෂ වෘෂභ මිථුන කටක මේ ආදි වශයෙන් තාරකා රාශි 12 ක් තම පදනම වශයෙන් ගෙන ජ්‍යෝතිෂය විසින් සමස්තය කිරා මැන බලයි. ජ්‍යෝතිෂඥයින් සිතා ගෙන සිටින්නේ රාශි ගැසුණු තාරකා මණ්ඩල අහසේ ඇත යන්න හා පොළොව වටා අංශක 360 ක අහස් පරාසයක යථෝක්ත තාරකා රාශි 12 පිහිටා ඇත යන්නය. මෙමගින් අදහස් වනුයේ අනෙකක් නොව මින් වර්ෂ තුන් දහසකට පමණ පෙර සිට නිව්ටන්ගේ කාල සීමාවන් දක්වා වස්තුන්ගේ චලනයන් පිළිබඳ සත්‍යය හඳුනා ගැනීමට තිබු නොහැකියාව සහ චලිතය පිළිබඳව තිබු අල්ප දැනුමේ දෝංකාරයයි. එහෙත් නවීන තාරකා විද්‍යානුකුලව බලන විට රාශි ගැසුණ තාරකා පොකුරු හෝ හිරු රාශි චක්‍රය යනුවෙන් හෝ දෙයක් සැබැවින්ම නොමැත. තරු රාශි වශයෙන් හෝ හිරු රාශි චක්‍රය වශයෙන් හෝ පෙනෙන්නා වූ සංසිද්ධිය හුදු දෘශ්‍ය සංසිද්ධියක් පමණි. උදාහරණයක් වශයෙන් හිරු රාශි චක්‍රයට සම්බන්ධ වන රාශි දෙකක් ගෙන විමසා බලමු. ජෙමිනි හෙවත් මිථුන රාශියේ ප්‍රධාන තාරකා සහ ඒවායේ සිට පොළොවට ඇති දුර ප්‍රමාණයන් පහත දක්වා ඇති අයුරුය.
බීටා පොලොක්ස් ආලෝක වර්ෂ 35
ඇල්ෆා කැස්ටර් ආලෝක වර්ෂ 45
ගැමා ඕල්හීනා ආලෝක වර්ෂ 105
ම්යූ ටිජැට් ආලෝක වර්ෂ 160
එප්සෛලෝන් මෙබ්සුටා ආලෝක වර්ෂ 1080
(A light year is 5,865,696,000,000 miles (9,460,800,000,000 kilometers). That’s a long way!)
ලිඕ හෙවත් සිංහ රාශියෙ හි ඇති ප්‍රධාන තාරකා සහ ඒවායේ සිට පොළොවට ඇති දුර ප්‍රමාණයන් මෙසේය.
ඇල්ෆා රෙග්යුලස් ආලෝක වර්ෂ 84
ගැමා අල්ජීබා ආලෝක වර්ෂ 190
බීටා ඩිනිබෝලා ආලෝක වර්ෂ 43
ඩෙල්ටා ෂොෂ්මා ආලෝක වර්ෂ 82
එප්සෛලෝන් අසාඩ් ඔස්ට්‍රේලිස් ආලෝක වර්ෂ 340
මේ අනුව ජ්‍යෝතිෂඥන් විසින් සිතා ගෙන සිටින පරිදි තාරකා රාශියක් වශයෙන් පෙනී යන දර්ශනය සැබැවින්ම එසේ පවතින්නක් නොවන බැව් ඉහත දුර ප්‍රමාණයන් අනුව සසඳා බැලීමේදී ඉතා හොඳින් පැහැදිලි වේ. මෙය පැහැදිලි ව අවබෝධ කර ගත හැකි උදාහරණයක් විමසා බලමු. විදුලි පහන් කණු සිටුවා ආලෝකමත් වූ මහා මාර්ගයක රාත්‍රී කාලයේදී ඔබ මෝටර් රථයකින් ගමන් කර බලන්න. මාර්ගයේ ඈත ඉදිරියෙන් ලොකු වංගුවක් තිබෙන ස්ථානයක් සැලකිල්ලට ගන්න. මාර්ගයේ ඈත සිටින ඔබට පෙනෙනුයේ එළි පොකුරකි. එහෙත් ඔබ වංගුවට අවතීර්ණ වූ විට එළි පොකුර විසිර ගොස් සාමාන්‍යයෙන් සමාන දුරකින් සිටුවා ඇති ලයිට් කණු ඔබට පෙනී යනවා ඇත. එබැවින් දුරක දී ඔබ දුටු එළි පොකුර සත්‍යයක් මෙන් දෑසට පෙනී යන අසත්‍යයකි. තරු රාශි වශයෙන් පෙනෙනුයේ ද එවැනි සත්‍යයක් මෙන් දර්ශනය වන අසත්‍යයන්ය. එහෙත් ජ්‍යෝතිෂය ස්වකීය භාවිතයේ දී මෙම අසත්‍යය සත්‍යයක් වශයෙන් දකී. එය ජ්‍යෝතිෂයේ අවිද්‍යාත්මකත්වය පෙන්නුම් කරන දෙවන සාධකයයි.
හුදු දෘශ්‍ය සංසිද්ධියක් වන හිරු රාශි චක්‍රයට සාපේක්ෂව ගනිමින් ජ්‍යෝතිෂඥයින් විසින් අහස අංශක 360 ක කෝණික පරාසයක් වශයෙන් සලකමින් ද රාශි දෙකක් අතර අවකාශ පරාසය අංශක 30 කට බෙදා වෙන් කර ද ඇත. ජ්‍යෝතිෂඥන්ට නවීන තාරකා විද්‍යාව පිළිබඳ අල්ප දැනුමක්වත් නොමැත යන්න මෙම සාවද්‍යය ගණනය කිරීම් මගින් ඉතා පැහැදිලිව ඔප්පු වන කරුනකි. ජ්‍යෝතිෂඥයින් සිතා ගෙන සිටින්නේ සුර්යයා සහ පෘථිවිය වටා අංශක 360 ක් වූ වෘත්තාකාර පරාසයක මෙම තරු රාශි 12 පිහිටා ඇති සෙයකි. මේ අනුව ඔවුන් සිතා සිටිනුයේ පෘථිවිය සුර්යයා වටා ගමන් කරන බවකි. එහෙත් සත්‍යය වනුයේ පොළොව ස්වකීය චලිතයේදී අහසේ එක් වරක් පසු කළ ලක්ෂයකට නැවත කිසිදා නොඑන බවය. යමෙක් සුර්ය කේන්ද්‍රික රාමුවකට සාපේක්ෂව එය තුළ සිර වී ආකාශස්ථ වස්තුන් පරීක්ෂා කිරීමේ දී දකිනුයේ ජ්‍යෝතිෂඥයින් විසින් දකින දෙයමය. නිව්ටන් ට පවා ඉන් ඔබ්බට දැකීමට නොහැකි විය. හේතුව සුර්ය ග්‍රහ මණ්ඩලය සිදු කරන චලිතය ගැන දැනුමක් නිව්ටන් ට නොතිබූ නිසාය. පෘථිවිය සුර්යයා වටා සිදු කරන වෘත්තාකාර හෝ ඉලිප්සාකාර චලිතයක් සහ පෘථිවිය වටා වෘත්තාකාර අහස් පරාසයක පිහිටි හිරු රාශි චක්‍රයන් සත්‍යයක් සේ ජ්‍යෝතිෂඥයින් ට පෙනී යනුයේ පෘථිවිය ඇතුළත් සුර්ය ග්‍රහ මණ්ඩලය සිදු කරන චලිතය සහ ඉන් එහාට සිදු කරන චලිතයන් ගැන ඔවුන් සැබැවින්ම නොදන්නා නිසාය. මෙය ජ්‍යෝතිෂයේ අවිද්‍යාත්මකත්වය පෙන්නුම් කරන තෙවන සාක්ෂියයි.
දැන් අප දරු උපතක් පොළොවේ සිදු වන විට එම වේලාවට උදා වී තිබෙන තරු රාශිය පාදක කර ගෙන කේන්ද්‍රයක් හෙවත් හඳහනක් ජ්‍යෝතිෂඥයා විසින් සාදන අන්දම විමසා බලමු. යම් දිනක යම් වේලාවක දරුවෙකු උපදින විට ඒ වෙලාවේ දී උදා වී තිබුණේ මිථුන රාශිය යැයි සිතන්න. මිථුන රාශිය උදා වී ඇති බැව් යන්න ඇස් දෙකට පෙනී යන දෙයකි. එහෙත් සත්‍යය එයද? මිථුන රාශියට අයත් ප්‍රධාන තාරකා පහක් ඇති බැව් ඉහතින් පෙන්වා දෙන ලදී. ඒවාට ඇති දුර ප්‍රමාණය ද ඉහතින් දක්වා ඇත. එහෙත් මිථුන රාශිය උදා වී ඇති බැව් දෑසට පෙනී ගියත් එතැන මිථුන රාශිය නොමැත. සත්‍යය නම් මිථුන රාශියේ එක් තාරකාවක් එතැන තිබී ඇත්තේ දරු උපතට ආලෝක වර්ෂ 35 කට පෙරය. අනෙක් තාරකා ආලෝක වර්ෂ 45, 105, 160, 1080 යනාදී වශයෙන් වූ අතීතයේ දී එතැන තිබී ඇති තාරකාය. තාරකා යනු ඉතා වේගයෙන් චලිත වන වස්තුන් බැවින් උක්ත තාරකා එකක් වත් දරුවා උපදින වේලාවේ එතැන ඇත්තේ නැත. තාරකාවකට පොළොවේ සිට ඇති දුර ප්‍රමාණයේ ආලෝක වර්ෂ ගණන අනුව ඒවායින් නිකුත් වූ ආලෝකය පොළොව කරා පැමිණීමට කාලය ගත වේ. එබැවින් කේන්ද්‍රයක් නැතිනම් හඳහනක් වශයෙන් ගණන් සාදා ජ්‍යෝතිෂඥයින් විසින් සත්‍යයක් නොව මනස්ගාතයකි. මෙය ජ්‍යෝතිෂයේ අවිද්‍යාත්මකත්වය පෙන්නුම් කරන සිව්වැනි සාක්ෂියයි.
මනුෂ්‍ය චින්තනයේ ස්වභාවය වනුයේ එකක් පසුපස තවෙකක් වශයෙන් සිදුවීම් සිදු වන විට දෙවන සිදු වීමට පාදක වුයේ පළමු වන සිදුවීමය යන්න විශ්වාස කිරීමය. මෙය ඇතැම් විට නිවැරදි විය හැකිය. ඇතැම් විට වැරදි විය හැකිය. මෙනයින් ජ්‍යෝතිෂයේ ප්‍රධාන මුලධර්මය ගැන කීමට ඇති වැදගත් ප්‍රකාශය වනුයේ එමගින් කරන අනාවැකි ලෝකය තුළ එසේම සිදු වන බවට කිසිම පිළිගත් සහතිකයක් නොමැති බවය. මෙය තහවුරු කරන ඓතිහාසික උදාහරණ කිහිපයක් දිය හැකිය. වර්ෂ 1186 දී එවකට දැන ගෙන තිබු සියලුම ග්‍රහලෝක තුලා රාශිය කෙලින් ස්ථානගත විය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රානුකුලව තුලා යනු වාතයට අධිපතියා වන බැවින් ජ්‍යෝතිෂඥයින් ප්‍රකාශ කර තිබු පරිදි අති විශාල සුළි කුණාටුවක් හමා ලෝක විනාශය සිදු වන බවය.
ජර්මනියේ ජනයා කුණාටුවෙන් බේරීම පිණිස අගල් කපා ඒවාට බැස රැකවරණය සලසා ගන්නට කටයුතු කළහ. බෛසන්තියම් මාලිගය වටා උස් තාප්ප බැඳ එයට ආවරණයක් ඇති කරන ලදී. මෑත පෙරදිග වැසියෝ ගුහා සහ බිංගෙවල් තුළට වන්හ. එහෙත් සැවොම මවිත කරමින් කිසිවක් සිදු නොවී ග්‍රහයෝ විසිර ගියෝය.
වර්ෂ 1524 දී මෙලෙසම සියලුම ග්‍රහයෝ කුම්භ රාශිය එල්ලේ ස්ථානගත වුහ. කුම්භ රාශිය ජලයට අධිපතියා වශයෙන් ජ්‍යෝතිෂයේ සැලකේ. ජ්‍යෝතිෂඥයින් ප්‍රකාශ කළේ ලොව විනාශ කරන දෙවන මහා ජල ගැල්මක් සිදු වන බවය. එහෙත් සිදු වූ කිසිවක් නොමැත. ඒ එකලය. මෙකල සිදු වූ සිදුවීම් කිහිපයක් ගැන අපගේ විචාරක්ෂිය යොමු කරමු. වර්ෂයක් පාසාම ජ්‍යෝතිෂඥයින් විසින් ඒ ඒ රටවල් සහ පොදුවේ සමස්ත ලෝකය සඳහා පලාපල විස්තරයක් ප්‍රසිද්ධියට පත් කරති. එහෙත් ඉන්දියාවේ සිදු වූ රජීව් ගාන්ධි ඝාතනය එහි සිදු වූ භුමි කම්පා ඉරානයේ සිදු වූ මහා භුමි කම්පාව සුනාමි ව්‍යසනය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාශ කිරීම ආදී ලෝකයේ ප්‍රධාන සිදුවීම් ගැන ලෝකයේ කිසිදු ජ්‍යෝතිෂඥයෙක් ඒවා සිදු වීමට පෙරාතුව දැන ගෙන සිටියේ නැත. මෙය ජ්‍යෝතිෂයේ අවිද්‍යාත්මකත්වය ඔප්පු කරන පස් වන සාක්ෂියයි.
ජ්‍යෝතිෂයේ අවිද්‍යාත්මකත්වය පිළිබඳව ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු මගින් සෘජුව ඔප්පු වන්නේ ජ්‍යෝතිෂය යන්න මිත්‍යාවක් යන්නය. එහෙයින් එමගින් ජනයාට වන හෝ කළ හැකි කිසිදු සේවයක් නොමැත. කනගාටුදායක කරුණ වන්නේ මෙරට උගත් මෙන්ම සාමාන්‍ය ජනයාද ජ්‍යෝතිෂය පසුපස දුවන දිවිල්ලය. 2014 මාර්තු මාසයේ සිදු වූ මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීම පිළිබඳව කිසිදු ජ්‍යෝතිෂඥ යෙකුට එය සිදු වීමට පෙර අනාවැකියක් පැවසීමට හෝ ඉන් පසු මෙම අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීමට කිසිදු හෝඩුවාවක් ලබා දීමට හැකියාවක් ලැබී නොමැත. මෙම සියලු කරුණු පදනම් කර ගෙන ජ්‍යෝතිෂය යනු සහතික වශයෙන්ම මිනිසා මුලා කරන මිත්‍යාවක් ලෙස සලකා ප්‍රතික්ෂේප කළ යුතු ව ඇත.
(ඉහතින් දක්වා ඇති බොහෝ කරුණු උපුටා ගනු ලැබූවේ 2007 මැයි ‘විමර්ශන’ සඟරාවෙනි)
ජ්‍යෝතිෂය හා ඉස්ලාමය
ඉස්ලාමය සහමුලින්ම ජ්‍යෝතිෂය ප්‍රතික්ෂේප කරයි. අනුමානය මත පදනම් වූ මිත්‍යා ප්‍රබන්ධයක් ලෙස ඔප්පු වී ඇති ජ්‍යෝතිෂය පමණක් නොව එහි සියලු අංග ද ඉස්ලාමය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ජ්‍යෝතිෂවේදියෙකු වෙත ගොස් ඔහුගේ අනාවැකි වලට සවන් දීම එම මිත්‍යා ශාස්ත්‍රය හැදෑරීම වැනි ජ්‍යෝතිෂයට අදාළ සියලු කරුණු ඉස්ලාමය තහනම් කොට ඇත. මේ පිළිබඳව මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය වූ එකම දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය අත්වේවා) විසින් පවසා ඇති කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
“අනාවැකි කියන්නෙකු (දෛවඥයෙකු) හමු වී යමක් විමසන්නේ ද ඔහුගේ සලාතය (දෛනික පස් වේල නැමදුම) දින 40 කට ප්‍රතික්ෂේප වනු ඇත.” (මුස්ලිම් 5440)
“යමෙකු අනාවැකි කියන්නෙකු (දෛවඥයෙකු) හමු වී ඔහු පවසන දෑ විශ්වාස කළේ නම් මුහම්මද් හට පහළ කළ දෑ (ඉස්ලාමය – අල් කුර්ආනය) ප්‍රතික්ෂේප කළ අයෙකු බවට ඔහු පත්වන්නේය.” (අබු දාවූද් 3895)
ජ්‍යෝතිෂඥයින් අනාවැකි කියන්නන් දෛවඥයින් පේන කියන්නන් වැනි අයගේ මිත්‍යා වෘත්තිය ඉස්ලාමය කෙතරම් දැඩි අයුරින් ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය වූ එකම දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය අත්වේවා) විසින් පවසා ඇති ඉහත ප්‍රකාශනයන්ගෙන් ඉතා හොඳින් පැහැදිලි වෙයි. මිනිසා අසත්‍ය හා වංචාකාරී රැවටිලි වලින් මුදවා ගැනීම ඉස්ලාමයේ එක් ප්‍රධාන අංගයකි. මෙම වංචාකාරී වෘත්තීය පිළිබඳව අල් කුර්ආනය ඉදිරිපත් කරන කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු.
අදෘශ්‍යමාන අතීන්ද්‍රිය හා ඇතැම් අවස්ථාවන් හි පාරභෞතික කරුණු පිළිබඳව අනාවැකි පළ කිරීම ජ්‍යෝතිෂයේ ප්‍රධානතම කාර්යයයි. මේ පිළිබඳව අල් කුර්ආනයේ වදනක් කෙරෙහි අවධානය යොමු කරමු.
“ගුප්ත දෑ හි යතුරු ඔහු (අල්ලාහ්) සතුය. ඔහු හැර අන් කිසිවෙකු ඒවා නොදනියි.” (අල් කුර්ආන් 6:59)
ඉතා සංක්‍ෂිප්තව ඉහතින් ඉස්ලාමීය මුලාශ්‍රයන්ගෙන් උපුටා දක්වන ලද කරුණු අනුව ජ්‍යෝතිෂය සහමුලින්ම තහනම් වන අතර මිනිසාව මෙවන් මිත්‍යාවන්ගෙන් ආරාක්ෂා කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් හි එක් වැදගත් අංගයකි. එහෙයින් අනුමානය හා මිත්‍යාව පදනම් කර ගත් ජ්‍යෝතිෂය හා එයට ඇඳුණු අනෙකුත් සියලු ඉගැන්වීම් වලින් වැළකී සත්‍යය අවබෝධ කර ගෙන ජීවත් වන්නට අධිෂ්ඨාන කර ගනිමු.
By: අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com