බොහෝ ආගම්වල දෙවියන් පිලිබඳ නිර්වචනය පැහැදිලිව සඳහන් වන්නේ නැත. මේ හේතුවෙන් මිනිසුන්ගේ සිත්වලට දෙවියන් පිලිබඳ වැරදි චිත්‍රයක් නොයෙකුත් හේතුන් මත ඇතුලත් වී තිබේ. දෙවියන් පිලිබඳ නිවැරදි දැනුමක් නොමැති හේතුවෙන් ඇතැම් ජන කොටස් මිත්‍යා විශ්වාසයන් තුලට ද ඇතුලත් වී සිටිති. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් උදවිය භෞතික වස්තුන් වලට දේවත්වය ආරුඪ කොට තිබේ. ඒ අනුව සමහරු ඉර, හඳ, ගස්, ගල් ආදී දේවල් දෙවියන් ලෙස සලකා ඒවාට වැඳුම් පිදුම් සිදු කොට තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රවණතාවය විද්‍යාවේ දියුණුවත් සමහ බොහෝ දුරට මග හැරී ගොස් ඇත. එසේ තිබියදී තවත් සමහරු තම අතින් නොයෙකුත් දේව රූපයන් නිර්මාණය කොට ඒවාට වැඳුම් පිදුම් සිදු කරති. ඇතැම් උගතුන් පවා එම දේව රුප වලට නමස්කාර කොට තම අවශ්‍යතා ඒවායින් ඉල්ලා සිටිනු දැකිය හැකිය.
කෙසේ වෙතත් අල් කුරානයේ දෙවියන්ගේ ලක්ෂණ පිලිබඳ බොහෝ දේවල් සඳහන් වී ඇත. ඒ අනුව ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවන්නේය. ඔහු තමා හැර අන් සියළුම දේවල් මවා පාලනය කරන්නේය. මේ නිසා දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. මෙය සංශිප්ත ලෙස අල් කුරානයේ පහත සඳහන් පරිදි දැකිය හැකිය.
“පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙන කිසිවෙකුත් නොමැත” (කුරානය 112; 1-4).
මේ අනුව අල්ලාහ්ට මිනිස් රුපයක් නොමැත. ඔහු මෙම විශ්වය මැවීමට පෙර සිටි අකාරයටම දැනුත් සිටින්නේය. කෙසේ වෙතත් ඔහු මෙම කාල-අවකාශය තුල නොමැති බව ඉතා පැහැදිලිය. එසේම මෙම විශ්වය තුල ඇති කිසිම දෙයක් ඔහුට සමාන වන්නේද නැත. ඔහු කුමකින් සැදුම් ලද්දේ දැයි කිසිවෙකුට දන්නේද නැත. කෙසේ වෙතත් ඔහුගේ බොහෝ ලක්ෂණයන් ගැන කුරානයේ සඳහන් වේ. එම ලක්ෂණයන් ඔහුගේ මැවීම් සමග සැසඳිය නොහැකිය. උදාහරණයක් ලෙස ඔහු බලන්නේය. ඔහුගේ මැවීම් වලටද බැලිය හැකිය. එහෙත් ඔහුගේ බැලීම ඔහුගේ මැවීම් වල බැලීමත් සමග සැසඳිය නොහැකිය.
අල්ලාහ්ගේ ගුණාංගයන්ගෙන් සමහරක් මෙලෙස දැකිවිය හැකිය. ඔහු එක් කෙනෙකි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඔහු මවන්නාය. රක්ෂණය කරන්නා ය. සියළුම මවිම්වල අවශ්‍යතා ඉටු කර දෙන්නාය. ඔහුට නින්ද හෝ මද නින්ද ඇතිවන්නේ නැත. ඔහු විඩාවට පත්වන්නේ නැත. ඔහු සියළුම දෙනාට යුක්තිය ඉටු කරන්නා ය. මෙවැනි ගුණාංගයන් තවත් රාශියක් ඔහුට ඇත. ඉන් 99 නබි වදන්වල සඳහන් වේ.
මෙම විශ්වය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බව විශ්වය ගැන හැදෑරීමේදී පෙනී යන්නේය. ඊට ප්‍රධාන හේතුන් ලෙස විශ්ව නියතයන්, විශ්වයේ ඒකාකාරී බව, විශ්ව නියමයන් පෙන්වා දිය හැකිය. විශ්වය එක් දෙවිකෙනෙකුට වඩා මවා තිබුනේ නම් ඉහත සඳහන් කල දේ ඉටු වන්නේ නැත.
මෙලොවදී කිසිවෙකුට අල්ලාහ්ව දැකිය නොහැකිය. එහෙත් මුසා නබිතුමා සහ මුහම්මද් නබි තුමා යන දෙදෙනා දෙවියන් සමග ඍජුවම කතාකොට ඇත. කෙසේ වෙතත් මරණයෙන් පසු මිනිසාට ලබා දෙන අළුත් නිර්මාණයෙන් පසු ස්වර්ගවාසින්ට අල්ලාහ්ව දැකීමට සහ කතා කිරීමට හැකි වන්නේය.
බොහෝ අයට අල්ලාහ් පිලිබඳ නිවැරදි දැනුමක් නොමැත. ඒ අනුව සමහරුන් සිතා සිටින්නේ ඔහුට රුපයක් නොමැති බවයි. එහෙත් නබිතුමා පවසන ආකාරයට අල්ලාහ්ට රුපයක් තිබේ. එම රූපය කවර ආකාරයේදැයි කිසිවෙකුට විස්තර කල නොහැකිය. තවද අල් කුරානයේ අල්ලාහ්ගේ ඇස, අත, මුහුණ පිළිබඳව සඳහන් කොට ඇත. එහෙත් ඇතැම් උදවිය ඒවාට වෙනත් අර්ථ දැක්වීම් ලබා දී තිබේ. එය බලවත් වරදක් බව ඉමාම් වරු පවසා ඇත. අල්ලාහ්ගේ ඇතැම් ගුණාංග පිළිබඳව අල් කුරානයේ පහත දැක්වෙන අන්දමට විස්තර කොට ඇත.
“අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහලින් ඇත” (කුරානය 48:10). තවද
“නියතව නුඹ අපගේ (අල්ලාහ්ගේ) ඇස් ඉදිරියෙහි සිටින්නේය” (කුරානය 52:48).
“මහඟුභාවයෙන් හා කීර්තියෙන් අධික නුඹගේ සමිඳුන්ගේ (رب) මුහුණ සදහටම පවතින්නේය” (කුරානය 55:27)
ඉහත සඳහන් දේවල් මිනිසාගේ සීමිත දැනුමෙන් විස්තර කල නොහැකිය. එබැවින් ඒවා කුරානයේ සඳහන් ආකාරයටම පිළිගත යුතුය. ඇයිද යත් කුරානය මිනිස් නිර්මාණයක් නොවන නිසාය. කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව වෙනම ලිපියකින් විස්තර කොට ඇත.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.