‘ඉස්ලාම්’ සහ ‘සලාම්’ යන අරාබි පදයන් හි මූල අරාබි අක්ෂර වන්නේ ‘ස ල ම’ යන්නය. මෙම මූල අක්ෂරයන්ගෙන් අවනතවීම, කීකරුවීම, සාමය යන අර්ථයන් ඇති අරාබි වචන සෑදේ. ඉස්ලාමයේ සම්මත ආශිංසනය වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ ය. ‘ඔබට සාමය අත්වේවා’ යන්න මෙහි අර්ථය වේ.
ඉස්ලාම් දහමේ ධර්ම දුතයාණන් (නබි/රසුල් වරයාණන්)
වර්ෂ 1450 කට පමණ පෙර අරාබි කරයේ මක්කා නගරය අසල රට ඉඳි අතු සෙවිලි කළ කටු මැටි බිත්ති වලින් සැදුම් ලත් නිවසක පිරිමි දරුවෙකු උපත ලැබුවේය. මෙම සුවිශේෂී දරුවා බිහි වෙන්නට මාස කිහිපයකට පෙර ඔහුගේ පියා වූ අබ්දුල්ලාහ් මෙලොවින් සමු ගෙන තිබිණි. ඔහුගේ සීයා වූ අබ්දුල් මුත්තලීබ් විසින් මෙයට පෙර අරාබි සමාජයේ භාවිතයේ නොතිබූ ‘මුහම්මද්’ යන නම මෙම දරුවාට තබන ලදී. ‘මුහම්මද්’ යන්නෙහි සමීපතම සිංහල අර්ථය ‘ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයා’ යන්නයි. අනාථ කම උපතින්ම උරුම කර ගෙන බිහි වූ මෙම දරුවා රැක බලා ගත්තේ එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් විසිනි. වයස අවුරුදු හය වන විට ආදරණීය මවද මෙලොවින් සමුගත්තාය. එතුමාගේ අට වන වියේදී රැක බලා ගත් සීයාගේද මෙලොව ජීවිතයේ අවසානය ඇති විය. ඉන් පසු එතුමාව රැක බලා ගත්තේ පියාගේ සහෝදරයෙකු වූ අබු තාලිබ් විසිනි. කිසි සම්මත අධ්‍යාපනයක් නොලැබූ මේ දරුවා එඬේර කම හා සුළු ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම තමාගේ ජීවිතයේ චර්යාව බවට පත් කර ගත්තේය. උපතින්ම අනාථකම උරුම කරගෙන බිහි වී ජීවිතයේ අන් කිසිවෙකු බොහෝ විට අත් නොවිඳි දුෂ්කරතාවන්ට මුහුණ දුන් මේ දරුවා වර්තමාන ලෝක ජනගහනයෙන් බිලියන 1.8 ක එනම් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුගේ පරමාදර්ශී චරිතය පමණක් නොව අසමසම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ උතුම්ම මිනිසා බවට පත් ව ඇත.
අරාබි සමාජයේ පැවති සමාජ දුරාචාරයන්, මිනිස් ජීවිතයේ අරමුණ හා හරය ආදී කරුණු පිළිබඳව තම චින්තනය නිරන්තරයෙන් යොමු කරමින් සිටි මුහම්මද් තුමා මක්කාහ් නගරය අසල පිහිටි හිරා ගුහාවේ තනිව වාඩිවී මෙනෙහි කරමින් කල් ගෙවන්නට පුරුදුවී සිටියේය. කුඩා කාලයේ එඬේර ජීවිතයක් ගතකල එතුමා පසු කාලීනව ව්‍යාපාර කටයුතු වලද නියැලුනේය. සාක්ෂරතාවක් නොමැත්තෙකු ලෙස ආරම්භයේ සිට ජීවිතයේ අවසානය දක්වාම කටයුතු කළේය. එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වූ තරුණ පිරිස් හා බැඳුනු අතර තරුණ අවධියේ පටන් එතුමා විදහා දැක් වූ ශ්‍රේෂ්ඨ ගුණාංග හේතුවෙන් එම සමාජය විසින් “අල් අමීන් – විශ්වාස වන්තයා” හා “අස් සිද්දීක් – සත්‍ය වන්තයා” යන ගෞරවනීය නාමයන්ගෙන් එතුමාණන්ව ඇමතීමට ඉදිරිපත් වුහ. එතුමාගේ විසි පස් වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළෙඳ කටයුතු වල නිරත වුණු අතර එතුමාගේ අවංකත්වය හා ශ්‍රේෂ්ඨ ගති ගුණ කෙරෙහි පැහැදුණු ඇය එතුමා හා විවාහ වීමට යෝජනා කළාය. එවිට කදීජා තුමිය 40 වන වියේ පසු වුවාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසි පහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ. එතුමාණන් වගකීම් සහිතව ක්‍රියා කළ, කරුණාභරිත ස්වාමියෙක් හා පියෙකු වූ අතර එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැප වී සිටියහ. ස්වේඡාවෙන්ම දිළිඳුකම ප්‍රිය කළද, තම වගකීම් නිසි ලෙස ඉටු කරමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. “නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන්නේ තම පවුලට ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා” යැයි එතුමා ප්‍රකාශ කළේය.
ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම්
ඉස්ලාම් දහම කුළුණු පහක් මත ගොඩ නැඟී ඇති බව මුහම්මද් තුමාණන් විසින් වරෙක පවසන ලදී.
1. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසි වෙකු නොමැති බවත්, මූහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයා හා ගැත්තා බව විශ්වාස කොට සාක්ෂි දැරීම. අල්ලාහ් යනු අරාබි පදයකි. මෙම පදයට බහුවචනයක් හෝ ස්ත්‍රී හෝ පුරුෂ ලිංග භේදයක් හෝ නොමැත. එහෙයින් ‘අල්ලාහ්’ යන්න විශ්වයේ අධිපති සත්‍යය ඒකීය දෙවිඳුන් ඇමතීමට වඩාත් සුදුසු පදයයි.
2. අස් සලාත් (නැමදුම)
දෛනික ව පස් වතාවක් ඉටු කළ යුතු සලාතය ස්ථාපිත කිරීම. ඒවා නම් ‘ෆජ්ර් සලාතය’- හිරු උදාවීමට පෙර ඉටු කළ යුතුය. ‘ලූහ්ර් සලාතය’ මද්‍යහන හිරු මුදුන් වී එය බැසීමේ පියවර ආරම්භ කරන වේලාවේ සිට යම් ද්‍රව්‍යයක සෙවනැල්ල එම ද්‍රව්‍යයේ ප‍්‍රමාණයට සමාන වන තත්ත්වයට පත්වන අවස්ථාව තෙක් වේ. ‘අස්ර් සලාතය’ ලූහර් සලාතයේ කාලය නිමවීම පටන් හිරු බසින වේලාව තෙක් වේ. ‘මඃරිබ් සලාතය’ හිරු බැසීමේ සිට ආලෝකය පහ වෙමින් රැය බෝ වීමත් සමග අවසන්වේ. ‘ඉෂා සලාතය’ මඃරිබ් සලාතය නිමවීම පටන් මධ්‍යම රාති‍්‍රය තෙක් වේ. එක් සලාතයක් ඉටු කිරීම සඳහා මිනිත්තු දහයකට වඩා අඩු කාලයකි ගතවන්නේ.
3. සකාත් (ශුද්ධකාරක බද්ධ)
නිශ්චිත අවම ප‍්‍රමාණයක ජංගම වත්කමක් තමා වෙත වසරක කාලයක් අයිතිව සිටි සෑම මුස්ලිමයෙකුම මෙය ගෙවිය යුතුය. තම ධනය හා වස්තුව සඳහා වූ පවිත්‍රතාවක් මෙමගින් ඇතිවේ. මෙලෙස ධනය ගෙවීමෙන් මිනිසා තුළ පවතින තෘෂ්ණාවෙන් සහ මසුරුකමින් මිදිය හැකිවන අතර, ධනවතුන් කෙරෙහි දුගී ජනතාවගේ සිත් තුළ හට ගන්නා ඊර්ෂියාව සහ වෛරය අවම කළ හැකිවේ. ගෙවිය යුතු කාලය, ප‍්‍රමාණය, දිය යුත්තේ කාටද යන්න පිළිබඳ ව ඉස්ලාම් සවිස්තරාත්මකව සඳහන් කරයි. වසරක් පාසා මෙම මුදල අය කර, සුදුසු අය අතර බෙදා දීමට ඉස්ලාමීය රාජ්‍යයන් කටයුතු කරයි. මුස්ලිම් නොවන දේශයන්හී වාසය කරන මුස්ලිම් ධනවතුන් එම මුදල, දුගී අය වෙත ගෙන ගොස් භාර කරති. සමාජයේ නිශ්චිත ජන කොටස් අටකට අයත් මෙම මුදල ඉන් පරිබාහිර කටයුතු සඳහා වැය කළ නොහැක.
4 අස්සව්ම් (උපවාසය)
සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොර නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ආශාවන්ද මැඩ පැවැත්විය යුතුය. පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. නිරාහාරව සිටීමේ අභ්‍යාසය තුළින් දුප්පතුන්ට, අසරණයින්ට උදව් කිරීමේ මානසිකත්වයක් පහළ වෙයි. උපවාසයේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ ‘තක්වා’ යන අරාබි පදයෙන් අර්ථවත් වන විශ්වයේ අධිපති දෙවිඳුන් පිළිබඳ තම චෛතසිකයේ ඇති කර ගන්නාවූ සවිඤ්ඤාණකත්වය මගින් බියබැතිමත්කම ගොඩ නගා ගැනීමය. උපවාස මාසය අවසන් වී ඊළඟ ‘ෂව්වාල්’ මාසයේ ආරම්භය සනිටුහන් කරන නව සඳ දැකීමත් සමග පසු දින උදෑසන පවත්වනු ලබන ‘ඊද් සලාතයට’ පෙර තම නිවැසියන් සැවොම වෙනුවෙන් එක් එක් අය සඳහා සහල්, තිරිඟු හෝ රට ඉඳි කිලෝ ග්‍රෑම් 2.5ක් දුගී ජනයා වෙත ලබා දිය යුතුය. මෙය තම උපවාස කාලය තුළ සිදුවූ ඇතැම් අඩුපාඩු සඳහා වූ ප්‍රතිකර්මයක් ලෙසත් දුගී ජනයාට ‘ඊද්’ උත්සවය සඳහා වූ උපකාරයක් ලෙසත් සැලකේ.
5 හජ් කර්තව්‍යය
මක්කාවේ පිහිටා ඇති කඃබාව (මස්ජිදුල් හරාම්) වෙත ගොස්, ශ‍්‍රද්ධාව, යහපත් බව තහවුරු කර ගැනීමට ඉවහල් වන්නාවු නියමිත කි‍්‍රයාවන් ඉටු කළ යුතු වේ. වසරේ අවසාන චන්ද්‍ර මාසයේ ආර්ථික, ශාරීරික හා ගමන් පහසුකම් වැනි හැකියාවන් තිබෙන මුස්ලිම්වරුන්ට ජීවිතයේ එක් වතාවක් හජ් ඉටු කිරීම අනිවාර්ය වේ. ලොව විවිධ ප්‍රදේශ වලින් මුස්ලිම්වරු පැමිණීම තුළින් ජගත් මුස්ලිම්වරුන් අතර එක්සත් බව ඇතිවී ජාත්‍යන්තර සහෝදරත්වයක් ගොඩ නැගේ. මෙමගින් ඔවුන්ගේ හදවත් තුල විශ්වාසය, ස්ථීර පැවැත්ම හා ශාන්තිය වර්ධනය වේ.
ඉස්ලාම් දහමේ සියළු නැමදුම් මගින් අපේක්ෂා කරන්නේ දෙවිඳුන්ට අවනත වීම මගින් සාරධර්ම සපිරි යුක්තිය හා සාධාරණය මත පදනම් වූ පිරිසිදු චරිතයක් ගොඩ නඟා ගැනීමය.
ඉස්ලාමයේ විශ්වාසය පිළිබඳ කරුණු
ඉස්ලාමය බිහිවීම හා එහි ප්‍රධාන කරුණු මුහම්මද් තුමාණන්ගෙන් ආරම්භවුවක් නොවේ. මිහිතලය මත පළමු මිනිසා වූ ආදම්තුමාගෙන් ම ඉස්ලාමය බිහිවිය. දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම දූතයින් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර එම මූලික පණිවිඩයේ සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.
සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.
ඉහත පණිවිඩය අනුව ජීවිතය සකස් කර ගැනීම ‘ඉස්ලාමය’ නොහොත් දෙවිඳුන්ට අවනත වී සාමය අත්කර ගැනීම ලෙස දක්වනු ලැබේ. මෙම පණිවිඩය හා අනෙකුත් මඟ පෙන්වීම් ජනයාට ලබාදීම පිණිස සත්‍යය දෙවිඳුන් විසින් කලින් කලට ජනයා අතුරින් තෝරාගත් ධර්ම දුතයින් ව පත් කරන ලදී. මෙසේ බිහිවූ ඉස්ලාමයේ විශ්වාසය මුල්කරගත් කරුණු හයක් අඩංගු වේ. ඒවා නම්:
1. අල්ලාහ් විශ්වාස කිරීම
2. මලක්වරු නොහොත් සුරදුතයින් (Angels) විශ්වාස කිරීම
3. පෙර දෙන ලද දේව ග්‍රන්ථ විශ්වාස කිරීම
4. මහා කාරුණික අල්ලාහ් විසින් පත් කරන ලද සියළු ධර්ම දුතයින් (රසුල් වරුන්) විශ්වාස කිරීම
5. මළවුන්ගෙන් නැගිටුවා දේව විනිශ්චය ලබා දෙන අවසන් දිනය විශ්වාස කිරීම
6. සියල්ල මහා කාරුණික දෙවිඳුන්ගේ දැනුම මත සිදුවන බව විශ්වාස කිරීම
ඉස්ලාමයේ සාරධර්ම සංග්‍රහය
ඉස්ලාමය සාරධර්ම පිළිබඳ ව දී ඇති වැදගත්කම අල් කුර්ආන් හා මුහම්මද් තුමාණන්ගේ පහත සඳහන් ප්‍රකාශනයෙන් වඩාත් පැහැදිළි වනු ඇත.
“කව්රුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කව්රුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)
මුහම්මද් තුමාණන් වරක් පවසා සිටි පරිදි “සැබැවින්ම මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම පිණිස මිස නැත” (අල් මුවත්තා)
තවත් වරෙක එතුමාණන් පවසා සිටියේ “දහම පිළිබඳ ව වඩාත් ශ්‍රේෂ්ඨ බැතිමතා වන්නේ තම චර්යාවන් පිළිබඳ වඩාත් ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයාය” (අබුදාවූද් 2199).
කුළුණු පහකින් යුක්ත ඉහතින් විග්‍රහ කරන ලද ඉස්ලාමීය මුලික ඉගැන්වීම් හා යහකම එකිනෙකින් වෙන් කොට ගන්නට නොහැකි අයුරින් බැඳි ඇත්තකි. සාරධර්ම සපිරි ජීවිතයක් ගත කරමින් යහකම් මත පදනම් වී කටයුතු කිරීම තම ඉස්ලාමීය විශ්වාසයේ පරිපුර්ණත්වය සහතික කරන්නක් ලෙස දැක්විය හැක. අල් කුර්ආනයේ බොහෝ වාක්‍යයන් හි ඉස්ලාමිකයින් ව හඳුන්වා ඇත්තේ ‘විශ්වාස කොට යහකම් කරන්නන්’ ලෙසය. අල් කුර්ආනය හා මුහම්මද් තුමාණන් ඉස්ලාමිකයින් වෙත දන්වා සිටින්නේ ඔවුන් අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ තම හැසිරීම් තුළින් අන් ජනයා සමග ඉතා යහපත් අයුරින් කටයුතු කරන්නන් බවය. ඉස්ලාමීය ඉගැන්වීම් ලබා දී ඇති සාරධර්ම ඉතා කෙටියෙන් පහතින් දක්වා ඇත්තෙමු.
1. සත්‍යවාදී වීම 2. නිර්ව්‍යාජත්වය 3. පරාර්ථකාමිත්වය 4. නිහතමානිත්වය 5. ඉවසිලිවන්ත කම 6. ක්‍ෂමාශීලිත්වය 7. පවිත්‍රතාව 8. අවංකත්වය 9. යහකම හා කාරුණිකත්වය 10. විනීත හා ගෞරවනීයත්වය 11. මධ්‍යස්ථභාවය 12. දෙමව්පියන්, වැඩිහිටියන්, කාලත්‍රයන්, ඥාතීන්, දරුවන්, අසල්වැසියන්, අනාථයින්, දුගීන්, සේවකයින්, පාලකයින් හා බලධාරීන් මෙන්ම පොදු මනුෂ්‍ය ප්‍රජාව සම්බන්ධව යුක්තිය හා සාධාරණය මත පදනම් වී කටයුතු කිරීම.
ඉස්ලාමීය විමුක්ති මාර්ගය
ඉහතින් දක්වා ඇති ඉස්ලාමීය මුලික ඉගැන්වීම් හා ඉස්ලාමීය සාරධර්ම අනුව තම ජීවිතය සකස් කර ගෙන කටයුතු කිරීම මෙලොව හා මතු ලොව විමුක්තිය ලඟා කර දෙන්නක් බව ඉස්ලාමීය ඉගැන්වීම් පෙන්වා දෙයි.
ඉස්ලාමීය ධර්ම සාහිත්‍යය
ඉස්ලාමීය ධර්ම සාහිත්‍යය කොටස් කිහිපයකින් යුක්තය. මෙයින් ප්‍රමුඛතාවක් ලැබී ඇත්තේ අල් කුර්ආනයට හා සුන්නා වටය. මේවා පිළිබඳ පහතින් කෙටියෙන් විස්තර කොට ඇත.
අල් කුර්ආන්
මුහම්මද් තුමාණන් වෙත තම වයස අවුරුදු හතළිහේ දී ප්‍රථම වරට ජිබ්රීල් නම් සුර දුතයාගේ (මලක් වරයාගේ) මාර්ගයෙන් දෙවිඳුන්ගේ පළමු දේව පණිවිඩය පහළ කරන ලදී. වසර විසි තුනක් මුළුල්ලේ පහළ වුණු එම දේව පාඨයන් තුළ අල්ලාහ් ගේ ඒකීය භාවය, පෙර සිටි ධර්ම දුතයින් හා එම ජන සමුහයන් පිළිබඳ විස්තර, ආචාර ධර්ම, මෙලොව හා මතුලොව ජය ගැනීම සඳහා වූ මඟ පෙන්වීම්, ජීවිතයේ හා මරණයේ අර්ථයන්, යනාදී කරුණු අඩංගුය. මෙම දේව පාඨයන් ‘අල් කුර්ආනය’ නමින් හැඳින් වේ. ශත වර්ෂ දහ හතරකට සමීප කාලයක සිට කිසිදු වෙනස් කිරීමකට භාජනය නොවී එවකට සකස් කළ මුල් පිටපත් හා අනුරූපී වන අයුරින් අදටත් සුරක්ෂිත ව ඇත. අල් කුර්ආනය අරාබි බසින් පහළ කරන ලද අතර, එම භාෂාව භාවිතා කරන විශාල සමාජයක් ලොවේ අදත් ජීවත් වේ.
සුන්නා
අල් කුර්ආනයට පසුව ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු දෙවන මුලාශ්‍රය වැදගත් වෙයි. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළිගත් වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි.
ඉස්ලාමයේ වර්තමාන ව්‍යාප්තිය
ශත වර්ෂ 14 කට පමණ පෙර ඉතා දුබල හා සරල ආරම්භයකින් ජනයා වෙත ඉතා සුළු වශයෙන් ව්‍යාප්ත වූ ඉස්ලාමය අද එහි අනුගාමිකයින් බිලියන 1.8 දක්වා වර්ධනය වී ඇත. දහම පිළිබඳ ව කිසිවෙකුට බලපෑම් නොකරන ලෙස ඉස්ලාමය උගන්වයි. ඉස්ලාමීය ව්‍යාප්තිය අධ්‍යයනය හා අවබෝධය මත සිදුවන්නකි.
ඉස්ලාම් සංස්කෘතියේ මුලික ලක්ෂණ
දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ සිට මිහිතලයෙන් සමුගෙන මිහිදන් කරන අවස්ථාව දක්වා ඇති සියලු කටයුතු පිළිබඳ මඟ පෙන්වීමක් ඉස්ලාමීය සංස්කෘතියට අයත් වෙයි. එනිසාම ඉස්ලාමය දහමක් ලෙස හඳුන්වනවාට වඩා පරිපුර්ණ ජීවන සැලැස්මක් ලෙස දැක්වීම වඩා නිවැරදිය. මෙයින් වැදගත් අවස්ථා කිහිපයක් පහතින් කෙටියෙන් ඉදිරිපත් කොට ඇත්තෙමු.
දරු උපතකදී
1. දරු උපතකදී දරුවාව සෝදා පිරිසිදු කරගත්තායින් පසු දකුණු කණට ඇසෙන පරිදි ‘අසාන්’ (සලාතය සඳහා ආරාධනය කිරීම පිණිස කරන්නා වූ පාරායනය) කීම හා වම් කණට ඇසෙන පරිදි ‘ඉකාමත්’ (සලාතය ආරම්භ කිරීමට මොහොතකට පෙර කරන්නා වූ පාරයනය) කීම.
2. රට ඉඳි කැබැල්ලක් විකා මෘදු කොට දරුවාගේ උඩු තල්ලේ ගෑම. මෙය ‘තහ්නීක්’ ලෙස හැඳින් වේ.
3. හත්වන දිනයේ දී හිසකෙස් බුගා එම කෙස් වල බරට සමාන බරකින් යුත් රිදී හෝ එහි වටිනාකමට සමාන මුදල් දුප්පතුන් ට දන් දීම. හොඳ අර්ථවත් නමක් දරුවාට ලබා දීම. එළුවෙකු කපා එහි මාංශ කොටස් තුනකට බෙදා එක් කොටසක් දුප්පත් අයට ද, තවත් කොටසක් අසල්වැසියන් හා ඥාතීන් ට ද ඉතිරිය පවුලේ පරිභෝජනය සඳහා ද ගත හැක. පිරිමි දරුවන්ගේ ලිංගාග්‍ර චර්ම ඡේදනය ද මෙදින හෝ සමීප දිනක සිදුකළ යුතුය.
4. අල් කුර්ආන් ඉගැන්වීම් අනුව වර්ෂ දෙකක් දක්වා මව්කිරි දීමට දිරි ගන්වා ඇත.
මල්වරවීම
ගැහැණු දරුවෙකු මල්වරවීම පිළිබඳ උත්සව පැවැත්වීමක් ඉස්ලාමය අනුමත නොකරයි. එම සිදුවීම මව දැනගත යුතු කාර්යයක් ලෙස දැක්වේ.
විවාහය
ඉස්ලාමය විවාහය දිරිගන්වන දහමකි. විවාහයකදී කරුණු හතරක් සලකා බලන ලෙස මුහම්මද් තුමාණන් දන්වා ඇත. ඒවානම් ධනය, සමාජ තත්ත්වය, රූපාලංකාරය හා ධාර්මිෂ්ඨත්වය වෙයි. නමුත් ධාර්මිෂ්ඨත්වය හා යහ චරිතය සඳහා ප්‍රමුඛතාවක් දෙන ලෙස මෙම උපදේශයේ සඳහන් වෙයි.
විවාහයක් සඳහා පහත සඳහන් කරුණු සම්පුර්ණ විය යුතුය.
1. යෝජිත මනාලියගේ හා මනාලයාගේ කැමැත්ත තිබිය යුතුය. මනාලයාට හා මනාලියට එකිනෙකා දැකබලාගැනීම සඳහා ඉඩ ප්‍රස්තා සලසා දිය යුතුය.
2. මනාලිය විසින් තීරණය කරනු ලබන විවාහ ත්‍යාගය (මුදල් හෝ අන් දෙයක්) ‘මහ්ර්’ නමින් හැඳින් වේ. එය මනාලයා විසින් මනාලියට ලබා දිය යුතුය. මනාලියගෙන් දෑවැද්දක් ඉල්ලා සිටීම ඉස්ලාමය අනුමත නොකරයි.
3. මනාලියගේ භාරකාරයෙකු හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
4. විවාහය රහසිගත ව සිදු නොකළ යුතුය.
5. විවාහ උත්සවය ‘වලිමා’ නමින් හැඳින් වේ. මෙම සංග්‍රහය මනාලයාගේ වියදමින් සිදු කළ යුතුය.
6. විවාහ උත්සවය ඉතා චාම් අන්දමින් පවත්වන්නට දිරි ගන්වයි.
7. විවාහ උත්සව සංග්‍රහය සඳහා දුප්පත් ජනයාව ද ආරාධනා කරන්නට දිරිගන්වයි.
උත්සව
ආගමික වශයෙන් වැදගත් උත්සව දෙකක් ඉස්ලාමීය ඉගැන්වීම් හි දකින්නට ඇත.
ඊදුල් ෆිත්ර්
වාර්ෂිකව රමළාන් මාසයේ සිදු කළ යුතු අනිවාර්ය උපවාසය අවසන් කිරීමෙන් පසු ඉස්ලාමීය දින දර්ශනයේ ඊළඟ මාසය වූ ‘ෂව්වාල්’ මස නව සඳ දැකීමෙන් පසු එම මස පළමු දිනයේ ‘ඊදුල් ෆිත්ර්’ නම් වූ උත්සවය පවත්වනු ලැබේ. මෙදින අළුයම අනිවාර්ය සලාතය ඉටු කිරීමෙන් පසු ස්නානය කොට අලුත් ඇඳුමින් සැරසී මස්ජිදය හෝ නියමිත විවෘත ස්ථානයක පවත්වනු ලබන ‘ඊද්’ සලාතයට සහභාගී වී එයත් සමග පවත්වනු ලබන ආගමික දේශනයට සහභාගී වේ. ‘ඊද්’ සලාතයට යෑමට පෙර යමක් අනුභව කොට යෑම සම්ප්‍රදාය වේ. සලාතය හා දේශනය අවසන් වූවායින් පසු එකිනෙකාට සුභ පැතීම හා ආශිංසනය කිරීම ද සිදු කෙරේ. දෙමව්පියන්, ඥාතීන්, අසල්වැසියන්, හිතමිතුරන් හමුවී ඔවුන්ට සුභ පැතීම හා ආශිංසනය කිරීම ද සිදු කරනු ලැබේ. සලාතය ඉටු කරන තැනට එක් මඟකින් ගොස් තවත් මඟකින් නිවස කරා ඒම ද සම්ප්‍රදායකි. මෙමගින් වැඩියෙන් ජනයා හමුවීමට අවස්ථාව උදාකර ගැනීම අපේක්ෂා කෙරේ. මෙහි තවත් විශේෂ කටයුත්තක් තිබේ. එනම්, හැකි අය පවුලේ සෑම සාමාජිකයින් වෙනුවෙන් එක් අයෙකු සඳහා හාල් හෝ තිරිඟු හෝ රට ඉඳි කිලෝ දෙකහමාර බැගින් දුගී ජනතාව අතර බෙදා දිය යුතුය. මෙම බෙදා දීම, පාන්දර උත්සව නැමදුම සඳහා යෑමට පෙර අවසන් කළ යුතුය. දුගී දුප්පත් ජනතාවද උත්සවය සැමරීමට අවස්ථාවක් ලබා දීම මෙහි අරමුණවේ.
ඊදුල් අද්හා
මෙම උත්සවය ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වැනි මස වූ ‘දුල් හිජ්ජා’ මස දහ වැනි දින පැවැත් වේ. බොහෝ ක්‍රියාකාරකම් ‘ඊදුල් ෆිත්ර්’ උත්සවය හා සමාන වේ. සලාතය ඉටු කිරීමෙන් පසු ආහාර අනුභව කිරීම සම්ප්‍රදාය වේ. දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දුතයෙකු වූ ඉබ්‍රාහිම් (ආබ්‍රහම්) තුමාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් කිහිපයක් මෙම උත්සවය මෙන්ම ඉස්ලාමයේ වැදගත් වගකීමක් වූ හජ් කර්තව්‍යය ට පසුබිම් වී ඇත. දෙවිඳුන්ට අවනත වීමේ ඉබ්‍රාහිම් ධර්ම දුතයාණන්ගේ ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානය සංකේතවත් කරමින් මෙම උත්සවයේ දී අනුමත සතෙකු කපා දුප්පතුන්, අසල්වැසියන්, හිතමිතුරන් හා තමන් පරිභෝජනයට ගැනීම සිදු කෙරේ.
අනෙකුත් උත්සව
මුහම්මද් තුමාණන්ගේ උපන් දිනය සැමරීම පිණිස උත්සව පැවැත්වීමක් වර්තමානයේ දකින්නට ඇතත් මුහම්මද් තුමාණන් හෝ එතුමාණන්ගේ සමීප මිතුරන් එවැන්නක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඉස්ලාමීය ඉගැන්වීම් උල්ලංඝනය නොකොට (මත්පැන, අනවශ්‍ය ස්ත්‍රී පුරුෂ මිශ්‍රවීම් වැනි ක්‍රියාවන්ගෙන් තොරව) අනෙකුත් ලෞකික හා සමාජීය උත්සව පැවැත්වීමට ඉස්ලාමයේ තහනමක් නොමැත.
අවමංගල්‍යයකදී
මරණය ශෝක ජනක සිදුවීමක් ලෙස දක්වා ඇතිමුත් එම ශෝකය සඳහා ද සීමාවන් ඉස්ලාමීය ඉගැන්වීමෙහි අන්තර්ගතය. හිසකෙස් කඩා දමමින්, ලතෝනි දෙමින් හඬා වැළපීම ඉස්ලාමය අනුමත නොකරයි. පොදුවේ ශෝකය සඳහා දින තුනක කාලයක් ලබා දී ඇත. ස්වාමි පුරුෂයා අහිමි වූ බිරිඳක් වෙනුවෙන් මෙම කාලය දීර්ඝ කොට ඇත. තම ස්වාමි පුරුෂයා අහිමි වූ ස්ත්‍රියක් පත් වන්නේ ඉතාම අසරණ හා මානසික වශයෙන් බිඳ වැටුණු තත්ත්වයකට. මෙම තත්ත්වයෙන් මිදී ප්‍රකෘති තත්ත්වයට පත් වීමට ඇයට කාලය අවශ්‍ය වෙයි. අය ගැබ් ගෙන ඇති දැයි දැනගැනීමට ද කාලය අවශ්‍ය වෙයි. මේ නිසා ඇයට චන්ද්‍ර මාස හතරක් හා දින දහයක ශෝක කාලයක් ලබා දී ඇත. මෙම කාලය තුළ අඳුරු කාමරයක ජීවත් වීමට සලසා ඇතැයි ඇති මතයන් සම්පුර්ණයෙන් ම අසත්‍යයකි. රැකියා කරන ස්ත්‍රියක් නම් රැකියාවට යෑමට හා අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට යෑම වැනි අත්‍යාවශ්‍ය කරුණු සඳහා ඇයට අවස්ථා ඇත. මෙම කාලය තුළ විවාහ යෝජනා පිළිබඳ සාකච්ඡා කරනු නොලැබේ.
මරණයක් සිදුවුවායින් පසු කළ යුතු කාර්යයන් පහතින් දක්වා ඇත.
1. ප්‍රාණය සම්පුර්ණයෙන් නිරුද්‍ර වූ බව දැනගැනීමෙන් පසු දෑස වැසීම
2. මියගිය අයගේ නය හා අනෙකුත් පොරොන්දු ඉටු කිරීමට සමීප ඥාතීන් වගකීම් භාර ගනී.
3. ඉස්ලාමීය පිළිවෙත් අනුව මෘතදේහය නෑවීම සිදු කරනු ලැබේ.
4. මෘතදේහය සඳහා සකස් කරන ඇඳුම ‘කෆන්’ නමින් හැඳින් වේ. මේ සඳහා මිල අධික නැති සුදු රෙදි භාවිතා කිරීම සම්ප්‍රදාය වේ.
5. මෘතදේහය සඳහා විශේෂිත මිනී පෙට්ටියක් නොමැත. සැමට ඇත්තේ එක් පොදු මිනී පෙට්ටියකි. මෙහි තබා මෘතදේහය මස්ජිදයට හෝ පොදු ස්ථානයකට රැගෙන යාමෙන් පසු ‘සලාතුල් ජනාසා’ නමින් හැඳින්වෙන මෘත දේහය සඳහා වූ සලාතය සාමුහික ව ඉටු කරනු ලැබේ.
6. මෙම සලාතයෙන් පසු මෘතදේහය මිහිදන් කිරීම සඳහා සුසාන භුමිය කරා ගෙන ගොස් ඉස්ලාමීය පිළිවෙතට සකස් කළ මිනී වලෙහි දේහය තැන්පත් කොට එය වසා දැමීම සිදු කරනු ලැබේ. එම මිනීවල මත ගොඩනැඟීම් කිසිවක් කිරීම තහනම් වේ.
7. ඉහත සියලු කටයුතු හැකි පමණ ඉක්මණින් අවසන් කිරීම ඉස්ලාමීය සම්ප්‍රදායයි. නිවසෙහි දින ගණන් මෘත දේහය තබා ගැනීම සිදු කරනු නොලැබේ.
8. ඉහත කරුණු හැරෙන්නට මරණයෙන් පසු තුන්වැනි දින, මාසයකදී, දින හතලිහෙදී වැනි කාල නිර්ණායකයන් තුළ කිසිදු කටයුත්තක් කිරීම ඉස්ලාමීය සම්ප්‍රදාය නොවේ.
කුල ක්‍රමය
ඉස්ලාමීය ඉගැන්වීම් කුල ක්‍රමය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. සම්පුර්ණ මනුෂ්‍ය වර්ගයාම එක පියෙකුගෙන් හා එක මවගගෙන් පැවතෙන එකම පවුලේ සාමාජිකයින් බව ඉස්ලාමය උගන්වයි. එහෙයින් වාර්ගික හෝ ආගකික පදනමින් හෝ අන් කිසිදු සාධකයක් පදනම් කරගනිමින් මිනිසා වෙන් කොට සැලකීම සඳහා ඉඩක් නොමැත. සාමාන්‍ය සමාජය තුළ අපට දකින්නට ඇති මිනිසා දුරස්ථ කරන ධනය, බලය, නිලය, කුලය වැනි සාධක අනුව උස්පහත්කම් මැනීම ද ඉස්ලාමය අනුමත නොකරයි.
“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 49:13)
“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (නබි වදන් – බුහාරී හදීස් අංක 1623, 1626 හා 6361).
By: Ibnu Mansoor
www.yayuthumaga.com