By: අබූ අබ්දුල්ලාහ්

අල්ලාහ් කවුරුන්දැයි තේරුම් ගැනීමට නම් අප සමාජයේ ඇතැම් මුස්ලිම්වරුන් පවා වර්තමානයේදී ගොදූරු වී තිබෙන දූර්මතයන් දූරලිය යුතු වේ.

අනෙක් ආගම් හා සැසඳූ විට, මුස්ලිම්වරුන්ට ඔවුන්ගේම පුද්ගලික දෙවි කෙනෙකු නැත. මුස්ලිම්වරුන් මක්කමෙහි ශුද්ධ වූ කබාවට වැඳූම් පිදූම් කරන්නේ නැත. මුස්ලිම්වරුන් මහම්මත්තුමාට (ඔහුට සමාදානය ලැබේවා) වඳින්නේ නැත. මුස්ලිම්වරුන් සොහොන් හෝ මැරුණු මිනිසුන් පුදන්නේ නැත. මුස්ලිම්වරුන් ධර්මිෂ්ඨ මිනිසුන් අදහන්නේ ද නැත. මුස්ලිම්වරුන් පින්තූරවලට වඳින්නේ නැත. සමහරු කියන ලෙස පල්ලිවල බිත්තිවලට වඳින්නේත් නැත.

මුස්ලිම්වරුන් ඉර, හඳ, ප්‍රතිරූප, ගස්, ගල් හෝ වෙනත් ඒ හා සමාන දේට වඳින්නේ නැත. මුස්ලිම්වරුන් සඳට වඳින්නේ නැත. මුස්ලිම්වරුන් අහසේ සිංහාසනාරූඪව සිටින රැවුල සහිත වැඩිහිටි පුද්ගලයකුට වඳින්නේ නැත. කෙටියෙන් කිවහොත් දිව්‍යය ලෝකයේ හෝ පොළවේ හෝ වෙනත් වචන වලින් කිවහොත් මෙම විශ්වයේ මවන ලද කිසිම දෙයකට මුස්ලිම්වරුන් වඳින්නේ නැත. එසේ නම් මුස්ලිම්වරුන් වඳින්නේ කා?

මුස්ලිම්වරු වඳිනුයේ මහ පොලොවේ හා දිව්‍යය ලෝකයේ හැමදේම මැවූ මැවුම්කරුට පමණි. මුස්ලිම්වරුන් වඳින්නේ මවන, පවත්වාගෙන යන, රැක බලා ගන්නා, ජීවිතය හා මරණය ගෙන එන, සෑමදේම පාලනය කරන, මවන හා විනාශ කරන දෙවියන්ට පමණි. කිසිම කෙනෙකු දැක නැති නිසාත්, කිසිම කෙනෙකුට දැක ගැනීමට නුපුළුවන් නිසාත්, කිසිම කෙනෙකුට සිතෙහි මවා ගැනීමට නොහැකි නිසාත්, මුස්ලිම්වරුනට දෙවියන්ගේ රූපයක් නැත. ඔහුට සම කිසිවක් නැත. සිතෙහි ඇතිවන කුමන දෙවි කෙනෙකුගේ රූපයක් වුවද, ඉස්ලාම් දහමේ දෙවියන්ගේ නොවේ.

අල්ලාහ් යනු මුස්ලිම් දෙවියන්ගේ නම නොවේ. අල්ලාහ් යනු මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) මැවූ නමක් නොවේ. අල්ලාහ් යනු මුස්ලිම්වරුන් හැදූ නමක් නොවේ. අල්ලාහ් යනු දෙවියන්ට කියන අරාබි වචනය නොවේ. අරාබි භාෂාව යනු මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) ඉපදීමට වසර සිය ගණනකට පෙර සිට අරාබි අර්ධද්වීපයේ මිනිසුන්ගේ සන්නිවේදන භාෂාවය. එසේ නම් අල්ලාහ් නම් අරාබි වචනයේ තේරුම කුමක්ද? අල්ලාහ් යන්නෙහි අරාබි තේරුම නම් දෙවියන්ය. අරාබි භාෂාවෙන් දෙවියන්ගේ තේරුම අල්ලාහ් බව මෙයින් පෙන්වයි. ථෙරවාදය, මහායානය, රාමායනය, භගවත්ගීතාව හෝ බයිබලයේ දෙවියන් යන්න පරිවර්තනය කරන්නේ නම් එහි අරාබි වචනය අල්ලාහ් යන්නයි.

දෙවියන් යන වචනය ඔබ ගූගල් පරිවර්තකයේ යතුරුලියනය කළහොත් ඔබට ලැබෙන අරාබි වචනය අල්ලාහ් ය. අරාබි භාෂාවෙන් දෙවියන් යන්නෙහි තේරුම අල්ලාහ් බව මෙයින් පෙන්නුම් කෙරේ. එය මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) හෝ මුස්ලිම්වරුන් විසින් නිර්මාණය කරන ලද දෙයක් නොවේ.

අල්ලාහ් යනු කවුරුන්ද?

අල්ලාහ් යනු මුස්ලිම් වුවද, බෞද්ධ වුවද, හින්දූ වුවද, ක්‍රිස්තියානි වුවද, නිරාගමික වුවද සියළුම මනුෂ්‍යයන්ගේ මැවුම්කරුවාණෝ ය. අල්ලාහ් යනු සෑම පවතින දෙයකම පොලව, ඉර, සඳ, තරු සහ සෑම පවත්නා ද්‍රව්‍යයකම මැවුම්කරුවාණෝ ය. සෑම ලෝකයකටම ඔහු අධිපති ය. ඔහු ඔහුුම පමණෙකි, (ඔහු ඒකියයි, ඔහුට හවුල්කරුවන් නැත. ඔහු ස්වයංපෝෂිත ය. ඔහු ඉපදූනේවත්, ඔහුගෙන් කෙනෙකු ඉපදෙන්නේවත් නැත. ඔහුට බිරිඳක හෝ පුත්‍රයෙකු හෝ ළමයින් හෝ නැත. ඔහුට ඥාතීන් නැත. මක් නිසාද යත් ඔහු හා සම වන වෙනත් කිසිවක් නැති නිසාවෙනි.

“(නබියේ මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් එක් කෙනෙකි. (එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්‍යතාවක්ද නොවන්නකි. (සියල්ලන්ම ඔහුගේ වරප්‍රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ). ඔහු දාව කිසිවෙකු උපත ලැබුවේ ද නැත. ඔහු වෙනත් කිසිවෙකුට උපත ලැබුවේ ද නැත. නැත. තවද ඔහුට සමවන කිසිවක්ද නැත.” (කුරාණය 112

; 1-4).

සියලූම දේ මැවූ හා සියලූම දෙය පාලනය කරන එකම දෙවි ඔහු ය. ඔහුගේ දැනුම පරිපූර්ණ ය. ඔහුගේ දැනුමට හෝ ඔහුගේ නාමයන්ට හා ගුණවලට හෝ සම අන් කිසිවෙකු නැත. ඔහු සියල්ල දන්නේ ය. ඔහුගේ අවසරයෙන් හා දැනුමෙන් තොරව ගසක කොළයක් බිමට වැටෙන්නේ ද නැත.

“එම අල්ලාහ් මිස, වෙන කිසිම හිමියෙකු නැත. (වඳිනු ලැබීමට ඔහු හැර වෙන කාටවත් හිමිකමක් නැත.) (ඔහු) රහසද, නොරහසද හොඳින් දන්නේය. ඔහු අසීමිත දයාබරවන්තයෙකි. අසමසම ආදරවන්තයෙකි. එම අල්ලාහ් හැර, නැමදූමට යුත්තෙකු වන වෙන කිසිවෙක් නැත.(ඔහු සත්‍යය වූ) රජෙකි. පාරිශුද්ධවන්තයෙකි. ශාන්තිය හා සමාදානය ලබා දෙන්නෙකි. අභයදායීය. ආරක්ෂකයෙකි. බලසම්පන්නයෙකි. ඔහුට වෙනත් අලංකාරවත් ශුද්ධවූ නාමයන් බොහොමයක් ඇත්තේය. අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුවම සුවිශුද්ධ කරන්නේය. ඔහු සියල්ලන්ටම බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වන්නේය.”  (කුරාණය 59: 22-24).

ඔහු අපව මැවුයේ ඇයි? අපට පොළවෙහි අභිමතාර්ථයක් තිබේ ද?

අල්ලාහ් සියල්ලෙහිම මැවුම්කරු නිසා අපට මේ ජීවිතයේ ආශිර්වාද ලැබීම හේතුවෙන් අපි ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. මැවුම්කරුවාණෝ ඔහු ම පමණෙකි, වන්දනා ලැබීමට සුදූසු වන්නේ හුදෙක්ම ඔහු පමණි. කිසිදූ හවුල්කරුවෙකු හෝ, පණිවිඩකරුවෙකු (ශාස්තෘවරයකු) හෝ, දේවදූතයකු හෝ, ධාර්මික මිනිසුන් හෝ, සූර්යයා, චන්ද්‍රයා, ගස්, ගල්, කඳූ වැනි වස්තූන් හෝ ප්‍රතිමූර්ති හෝ නොමැතිව තනිවම ඔහුම පමණක් වන්දනා කිරීමට අපව මවන ලදී. ඒ සිල්ල නිර්මානය කරන ලද දේ වේ. අල්ලාහ් අපට ඔහුට පමණක් වැඳීමට අණකොට තිබේ.

අපව මවා ඇත්තේ සෙල්ලම් කිරීමට හෝ විනෝදය පිණිස නොවේ. අපව අහම්බයෙන් මැවුවාද නොවේ. අපව මවන ලද්දේ මහත් වූ අභිමතාර්ථයක් වෙනුවෙනි – අල්ලාහ්ට පමණක් ඔහුගේ හවුල්කරුවන් නොමැතිව වන්දනාමාන කිරීම සඳහායි.

“මට අවනත වී මාව නැමදීමට මිස ජීන්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කලේ නැත.” (කුරාණය 51 : 56)

“අහස්ද, භූමියද, මේවා මධ්‍යයෙහි ඇති දෙයද, නිකරුණේ අප උත්පාදනය කළේ නැත. මෙය (නිකරුණේ යන්න) ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිතුවිල්ලකි. ප්‍රතික්ෂේප කරන මොවුන්ට විනාශයයි. මොවුන්ට (නිරා) ගින්නම ලැබෙනු ඇත.” (කුරාණය 38 : 27).

“අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය, සියල්ල කෙරෙහි අල්ලාහ් බලසම්පන්නය. අහස් හා භූමිය උත්පාදනයෙහිද, රාත්‍රිය හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නියත වශයෙන්ම බොහෝ සාධක ඇත. (බුද්ධිමත්) මෙවැන්නන් (තමන්ගේ) නැගී සිටීමේද, වාඩි වීමේද, තමන්ගේ නින්දෙහිද, අල්ලාහ්වම සිතා අහස් හා භූමියෙහි උත්පාදනය ගැනද සිතා : අපගේ දෙවියනේ, ඔබ මේවා නිකරුණේ උත්පාදනය කර හැරියේ නැත. ඔබ ඉතාමත් පාරිශුද්ධය. (නිරා) ගින්නේ දඬුවමෙන් අපව බේරා ගනු මැනව” (කුරාණය 3 : 189-191).

අල්ලාහ්ට පමණක් වඳින කවරෙකුට හෝ ඔවුන්ගේ සැබෑ බවට තිළිණයක් වනු පිණිස මරණින් මතු ජීවිතය පාරාදීසයක් ලබා දේ. අල්ලාහ්ගේ හවුල්කරුවන් ඇසුරුකරන්නන් අපාය වෙත නියම කෙරේ.

නියත වශයෙන්ම භය භක්තිකයින්ට (ශ්‍රද්ධාවත් හා ධාර්මික පුද්ගලයින්ට) තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඉතාමත් සුවය දෙන ස්වර්ගයන් ඇත. (අපට සම්පූර්ණයෙන්ම අවනත වන) මුස්ලිම්වරුන්ව (පාපයන් කරන) වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද? ඔබට කුමක් සිදූවී ඇත්ද? (දෙදෙනාම සමාන යයි) කෙසේ නම් තීන්දූ කරන්නෙහුද? (කුරාණය 3 : 189-191).

මේ පොළවෙහි අපගේ ජීවිතය පරීක්ෂණයකි. එය මෙහෙයුමකි.

“අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද නියමිත කාරණාවකට හා (ඒවාට) නියමිත කාල අවකාශයකටද මිස, අප උත්පාදනය කලේ නැත. කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් තමන්ට බිය ගන්වා අනතුරු අඟවන ලද දැය ප්‍රතික්ෂේප කර හරින්නාහ”. (කුරාණය 46 : 3).

මෙම අභිමතාර්ථ විස්තර කිරීම සඳහා දෙවියන් සෑම ජාතියකම පුද්ගලයන් වෙතට පණිවිඩකරුවන්, ශාස්තෘවරුන් පිටත් කරන ලදී.

“(භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි වාසය කළ) සෑම සමූහයන්ටම නියත වශයෙන්ම අපි දූතයෙකු යවා ඇත්තෙමු. (එම දූතයින් ඔවුන්ට) අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. (මාර්ගය වැරද යවන) ෂෙයිතාන්වරුන්ගෙන් ඔබ ඈත් වනු (යයි කියමින් ගියහ). අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ අයද ඔවුන්ගෙන් ඇත. එබැවින් ඔබ භූමියෙහි වටේ සංචාරය කර (නබිවරුන්ව) බොරු කළ අයගේ අවසානය කෙසේ වන්නේදැයි යන්න අවධානය කර බලනු”. (කුරාණය 16 :36).

ඔවුන්ගේ ජීවිත ගත කරන්නේ කෙසේද යන්නට මාර්ගෝපදේශනය හා නීති ඇතුළත් පොත් දෙවියන් විසින් ඔහුගේ පණිවුඩකරුවන් සමහර දෙනෙකුට යවා ඇත. විශ්වයේ මනුෂ්‍ය වර්ගයා හා ජීන්වරුන් වෙනුවෙන් දෙවියන්ගේ අවසාන පණිවිඩකරු මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) ය. දෙවියන් ඔහුව එවූයේ අවසාන හෙළිදරව්ව වූ කුරාණයත් සමගිනි. කුරාණය යනු දෙවියන්ගේ වචනයයි. එය මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) නිර්මාණය කළ දෙයක් නොවේ. මහම්මත්තුමා (ඔහුට සමාදානය ලැබේවා) කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත.

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *