අල් කුර්ආනයේ වැරදි සොයමින් එය මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද දේව පණිවිඩයක් නොවන බවට පැවසීමට උත්සාහ දරන්නන් විසින් අල් කුර්ආනයේ 18 වැනි පරිච්ඡේදයේ 86 වැනි වැකිය උපුටා දක්වන්නට අතපසු නොකරති. මෙම වැකිය පිළිබඳ චෝදනාව පළමුව දකින්නට තිබුනේ ඉස්ලාම් විරෝධී බටහිර සමාජ මාධ්යයන්හිය. පසුව ඇතැම් දේශීය ඉස්ලාම් විරෝධීන් විසින් ද මෙම චෝදනාව නගන්නට කටයුතු කරමින් සිටින බව දකින්නට ඇත. පළමුව මෙම අල් කුර්ආන් වැකියන් හි සිංහල අර්ථ දැක්වීම වෙත අවධානය යොමු කරමු.
“(නබිවරය) දුල් කර්නයින් පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසන්නෝය. මම ඔහු ගැන නුඹලාට විස්තරයක් කරන්නම් යැයි පවසනු. සැබැවින්ම අපි මිහිතලයෙහි ඔහුට (ආධිපත්‍යය දරන්නට) පහසුකම් සැලැස්සුවෙමු. සෑම කරුණකින්ම මඟක් අපි ඔහුට පෙන්වා දුනිමු. එබැවින් ඔහු එක් මඟක් අනුගමනය කළේය. හිරු අවරට යන (බැසයන) ස්ථානයට ඔහු ලඟා වූ විට මඩ වගුරු අතුරින් එය අවරට යනු දුටුවේය. ඒ අසල පිරිසක් දුටුවේය. ‘අහෝ දුල් කර්නයින් එක්කෝ නුඹ (ඔවුනට) දඬුවම් කළ හැකිය. එසේත් නොමැතිනම් ඔවුන් අතරෙහි යහපත (ඉටු කිරීම)ක් ගත හැකිය”. (අල් කුර්ආන් 18:83-86)
චෝදනා නගන්නන් පවසන්නේ ඉහත අල් කුර්ආන් වැකිය අනුව හිරු මඩ වගුරක අවරට යන්නේ යැයි පවසන බවය. මෙය විද්‍යාත්මක වශයෙන් මහා වැරැද්දක් ලෙසද දක්වන්නට ඉදිරිපත් වෙති. මෙම වැකිය වෙත අවධානය යොමු කිරීමේ දී මෙවන් අර්ථයක් එහි ගැබ් වී තිබේ ද? එය පවසන්න දුල් කර්නයින්තුමා හිරු බැසයන වෙලාවේ මඩවගුරක් ඇති ස්ථානයකට පැමිණි විට එම මඩවගුර සහිත ජලයෙහි හිරු බැසයන බව දුටු බවක් ය.
හිරු අවරට යනවිට ලංකාවේ නම් බටහිරි වෙරළතීරුවේ සිටින්නෙකුට හිරු මුහුදේ ගිලී බැසයන බව දැකිය හැකිය. ඇත්ත වශයෙන් ම හිරු සයුරේ ගිලී බැසයන්නේ ද? නමුත් අපි දකින්නේ එවන් දර්ශනයකි. අල් කුර්ආනය පවසන්නේත් දුල් කර්නයින්තුමාණන් හිරු බැසයන අවස්ථාවේ දුටු දර්ශනය පිළිබඳවය. මෙවන් ඉතා ලාබාල තර්ක ඉදිරිපත් කරමින් අල් කුර්ආනය පිළිබඳ බොළඳ කරුණු ඉදිරිපත් කිරීම ඉතාම කණගාටුදායකය. හිරු සඳු පිළිබඳ ව අල් කුර්ආනය වර්ෂ 1450කට පෙර ඉදිරිපත් කළ අදහස් වෙත යොමු වෙමු.
“රාත්‍රිය ද දහවල ද හිරු ද සඳු ද මැව්වේ ඔහු (අල්ලාහ්) මය. (ඒවා) සියල්ලක් ම අභ්‍යවකාශයේ ඒවාට නියමිත කක්ෂය තුල පිහිනා යති” (අල් කුර්ආන් 21:33)
මෙය හිරු පිළිබඳ ව ඇති විද්‍යාත්මක සත්‍යයයි. ඒ හැරෙන්නට චෝදනා නගන්නන් ඉදිරිපත් කරන අයුරු මඩ වගුරක හෝ අන් ජලය ඇති තැනක හිරු ගිලී යන බව අල් කුර්ආනය අදහස් ඉදිරිපත් නොකරයි. නමුත් සැන්දෑ සමයේ හිරු බැසයන විට ඕනෑම අයෙකු එය දකින්නේ ජලයේ ගිලී හිරු අවරට යන බවයි. දකින දෙයයි යථාර්ථය අතර ඇති වෙනස අප විසින් තෝරාබේරා ගත යුතු ව ඇත. මෙම පදනම් විරහිත අභූත චෝදනාව ඉස්මතු කරන්නේ ප්‍රධාන වශයෙන් ම ඉස්ලාම් විරෝධී මිෂනාරීවරුන් හෙයින් ඔවුන්ට එක් දෙයක් බෛබලයෙන්ම මතක් කර දිය යුතුව ඇත.
“විනිශ්චය නොකරන්න. එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ. ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?” (බෛබලය – ශුද්ධවර මතෙව් 7:1-3)
බාහිර හෝ අභ්‍යන්තර පරස්පරයන්ගෙන් තොරවූ එකම ආගමික ග්‍රන්ථය අල් කුර්ආනය ම සාක්ෂි දරයි.
“ඔවුන් (විශ්වාස නොකරන්නන්) මෙම අල්කුර්ආනය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු නොවේද?මෙය අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් පහළ වු පුස්තකයක් නම් මෙහි අන්තර්ගතයේ (වැරදි හා) පරස්පරයන් ඔවුන් විසින් දකින්නට තිබුණි”. (අල්කුර්ආනය 4:82)
මෙම අල් කුර්ආන වැකිය අනුව දෙවිඳුන් මනුෂ්‍යය වර්ගයා ඉදිරියේ තබන්නාවූ අභියෝගය නම් එහි අන්තර්ගතයේ එක් වැරැද්දක් හෝ පරස්පරයක් දක්නට ඇත්නම් සැබැවින්ම අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් පහලවුවක් නොවන බවයි. මෙම අභියෝගය වර්ෂ 1450 පමණ කාලයක් විවෘතව ඇත. අල් කුර්ආනයේ භෞතික කරුණු පමණක් 1000 කට වඩා සඳහන් කොට ඇත. විද්‍යාවට ගෝචර වන්නේ භෞතික කරුණු හෙයින් නුතන විද්‍යාත්මක සිද්ධාන්ත පදනම් කරගෙන අල් කුර්ආනයේ වැකි විමසා බලන්නට ඉදිරිපත්වූ සියල්ලන් මවිතයෙනුත් මවිතයට පත්කරමින් සනාථ වූ සත්‍යයක් නම් අල් කුර්ආනයේ වදන් නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් අභිබවා කරුණු පැහැදිලි කොට ඇති බවය.
By: එම්. අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com