අදේවවාදී සාකච්ඡාවන් හි ලොව පවතින අයහකම, දුක හා වේදනාව ප්‍රධාන ස්ථානයක් ගනී. ජර්මානු අදේවවාදියෙකු හා කාව්‍ය කරුවෙකු වූ ජෝර්ජ් බුක්නර් පවසන පරිදි ‘අදේවත්වයේ නොසෙල්විය හැකි ගල් පව්ව ලොව පවතින අයහකම, දුක හා වේදනාවයි’ (Randy Alcorn, If God is Good: Faith in the Midst of Suffering and Evil (Colorado Springs, Colorado: Multnomah Books, 2009), p. 11). එනම් ලොව අයහකම, දුක හා වේදනාව පවතින්නේ නම් කාරුණික වූ දෙවිකෙනෙකු සිටිය නොහැකි බවය. මෙවන් මත දැරීමක් ඇත්තේ බුද්ධිමය ක්ෂේත්‍රයන්හි පමණක් නොවේ. නුතන ඇමෙරිකානු සමාජයේ කරන ලද අධ්‍යයනයක් අනුව දෙවිඳුන් විසින් පිළිතුරු දෙනු ඇතැයි ඔබ විශ්වාස කරන ප්‍රශ්නයක් අසන්නට අවස්ථාවක් ඇත්නම් ඔබ දෙවිඳුන්ගෙන් අසන්නේ කුමන ප්‍රශ්නයක් දැයි විමසු විට බහුලව ලැබී තිබුනේ ‘ලොව අයහකම, දුක හා වේදනාව ඇත්තේ ඇයිදැ’යි යන ප්‍රශ්නයයි (Lee Strobel, The Case for Faith (Michigan: Zondervan, 2000, EPub Format).
ලොව පවතින දුක හා වේදනාව පිළිබඳ ව දේවවාදීන් අතරේ මුලික වශයෙන් මතවාදයන් දෙකක් දකින්නට ඇත. කිතුනුවෙකු වූ තිමොති ජේ. කෙලර් හා අනෙකුත් කිතුනුවන්ගේ මතය වන්නේ ලොව දුක හා වේදනාව පැවතීම මගින් දේවත්වය ප්‍රතික්ෂේප නොවන අතර එය දේවත්වයේ සත්‍යය සනාථ කරන සාධකයක් බවත් ය. දෙවන මතවාදය නම් දුක හා වේදනාව පැවතීමට ඉඩ හැර තිබීමෙන් දෙවිඳුන්ගේ ඥානාන්විතත්වය අවබෝධ කර ගැනීමට කටයුතු කල යුතු බවය. මෙම ලිපියෙන් ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍රයන් වූ මහා කාරුණික දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට පහළ කළ අවසාන මාර්ගෝපදේශය වූ ‘අල් කුර්ආනය’ හා දෙවිඳුන් විසින් එම මාර්ගෝපදේශය ජනයාට ලබා දීම සඳහා පත් කළ අවසාන ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ (එතුමාණන් ගේ ප්‍රකාශන, ක්‍රියාවන් හා අනුමත කළ දෑ අඩංගු) ‘සුන්නාව’ මත පදනම් වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු. මෙමගින් නිවැරදි දේවත්වය මත පදනම් වූ ආධ්‍යාත්මිකත්වය වර්ධනය කර ගැනීමේ අවස්ථාව ඇති කිරීම අපේක්ෂිතයි.
දුක හා වේදනාව ලොව ප්‍රශ්නයක් ව සැමදාම පැවතිය ද එය දේවත්වයට හා දහමට එරෙහි සාධකයක් බවට පත්කරගෙන ඇත්තේ පසුගිය ශතක කිහිපයේදී ය. එය එසේ වුයේ ඇයි?
ජීවිතයේ අරමුණක් නොමැති බව දැකීම
18 වන ශත වර්ෂ කාලවකවානුව තුල බටහිර චින්තන රටාව ජීවිතයේ මුලික අරමුණින් බැහැරව ‘ගුණාත්මක ජීවිතයක්’ කරා ක්‍රමානුකුලව වෙනස්වීම දැකිය හැකිව තිබුණි. මිනිස් අවධානයේ මෙම රැඩිකල් වෙනස්වීමත් සමග ආධ්‍යාත්මික හරයන්ට වඩා මිනිසාගේ ජීවත්වීමේ අගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට උත්සුක වුහ. මෙමගින් ජීවිතයේ අපේක්ෂා භංගත්වයන් දරන්නට නොහැකි ආකාරයෙන් වැඩි වෙන්නට පටන් ගැනිණි. මිනිසාගේ පැවැත්මේ මුලික අපේක්ෂාව මෙලොව ජීවිතයට පමණක් සීමා කොට ගත් විට සදා සතුට හා වින්දනය භුක්ති විඳීමත් දුක හා වේදනාව ප්‍රතික්ෂේප කිරීමත් බවට පත් වෙයි. එය කිසි දිනක සාක්ෂාත් කොට ගත නොහැකි යතාර්ථයෙන් බැහැරවූ අපේක්ෂාවකි.
විශේෂයෙන් ම බටහිර ජාතීන් භුක්ති විඳින්නා වූ සුඛ විහරණයන් හා පහසුකම් හේතුවෙන් ම ඔවුන්ට ජීවිතයේ දුක හා වේදනාව පිළිබඳ යථාර්ථය සමග එකඟතාවක් ඇතිකර ගැනීම දුෂ්කර ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙය බටහිරට පමණක් නොව ලොව බොහෝ තැන්වලට අදාලව පවතින්නක් බවට පත්ව ඇත. යථාර්ථවාදී අරමුණක් නොමැති ජීවිතය තුල සෑම ජීවිත වේදනාවක් ම වැලැක්විය නොහැක්කක් මෙන්ම විග්‍රහ කළ නොහැක්කක් බවට ඔවුන්ට පත්ව ඇත.
දුක හා වේදනාව පසුපස ඇති ප්‍රඥාව
ඉස්ලාමීය මුලාශ්‍ර අනුව ලොව පවතින දුක හා වේදනාව පසුපස ඉමහත් ප්‍රඥාවක් ඇති බව දක්වයි. මෙම දිව්‍යමය ප්‍රඥාව සීමිතබවක් ඇති මිනිස් චින්තනයෙන් පරිපුර්ණ ලෙස අවබෝධ කරගත හැකි යැයි සිතීම වැරදි නිගමනයකි. පරීක්ෂණයක් වූ මෙලොව මිනිසාගේ ජීවිතයේ දුක හා වේදනාව පැවතීමට දෙවිඳුන් විසින් ඉඩහැර තිබීම අහේතුක හෝ අතාර්කික එකක් ලෙස අප විසින් නොසිතිය යුතුව ඇත. මිහිතලය මත වූ මනුෂ්‍යය ජීවිතය ස්වර්ග ජීවිතය ලෙස නොසැලකිය යුතුය. මෙම ජීවිතය අප සැමට මරණින් මතු ස්වර්ග ජීවිතය දිනා ගැනීමේ පරීක්ෂණ අවධියක් පමණි. මෙම සාකච්ඡා අතරේ සඟරාවක දුටු අතුරු අදහසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
‘දිනක් අයෙකු හිසකෙස් කපා ගැනීම පිණිස කරනවෑමියෙකු (බාබර්) වෙත යන ලදී. කෙස් කපන අතර තුර දෙදෙනා අතර කතාබහක් ඇතිවිය. මෙහිදී විවිධ දෑ සාකච්ඡා කළ දෙදෙනා අවසානයේ දෙවිඳුන් ගැන කතාකරන්නට වුහ. කරනවෑමියා පවසා සිටියේ දෙවිඳුන් සිටිනා බව ඔහු විශ්වාස නොකරන බවය. මෙවැනි මතයක් දරන්නට හේතු ඇසුවිට ඔහු පවසා සිටියේ දෙවිඳුන් සිටිනවා නම් මිනිසුන්ටමෙතරම් දුකක් වේදනාවක් විඳින්නටසිදුවී ඇත්තේ කෙලෙසද? මෙලෙස කතාබහ අවසන් කොට කෙස් කපන්නට පැමිණි පුද්ගලයා මහමඟ දෙස අවධානය යොමු කරන විට දුටුවේ අපිරිසිදු ලෙස දිගට කෙස් වවාගෙන රැවුල ද ඉතා අපිසිදු ලෙස තිබු පුදලයෙකි. කෙස් කපන්නට ආ පුද්ගලයා නැවත බාබර් වෙත ගොස් පවසා සිටියේ බාබර්වරුන් ලොව නොමැති බවයි. මෙයින් වික්ෂිප්ත වූ බාබර් පවසා සිටියේ ‘ඇයි මා ඉන්නේ, මී නේද ඔබේ කෙස් කැපීම කළේ’ නමුත් කෙස් කැපීමට පැමිණි පුද්ගලයා පවසා සිටියේ ‘බාබර්වරුන් නැත, බාබර්වරුන් ඉන්නවානම් මහමඟ සිටිනා පුද්ගලයා මෙන් අපිරිසිදුවට දිගට කෙස් වවාගත්තු, රැවුලද අපිරිසිදු ලෙස වවාගත්තු මිනිස්සු සිටිය හැකිද?’ බාබර් පවසා සිටියේ ‘බාබර්වරුන් ඉන්නවා, එසේ සිදු වන්නේ ඔවුන් බාබර් වෙත නොපැමිණ සිටිනා නිසයි’. කෙස් කැපීමට පැමිණි පුද්ගලයා පවසා සිටියේ ‘ඒක ඇත්ත, මහා කාරුණික දෙවිඳුන් ද ඉන්නවා, මිනිසුන් දෙවිඳුන් වෙත යොමු වී පාප ක්‍ෂමාව ඇයද උපකාර ද ඇයද සිටිනා විට තත්ත්වය වෙනස්. වර්තමානයේ ලොව දුක හා වේදනාව පවතින්නේ මිනිසුන් දෙවිඳුන්ගෙන් දුරස්ථවී තම අභිමතය අනුව කටයුතු කරමින් සිටිනා නිසයි’.
මෙය මෙසේ පවසා අපගේ ප්‍රධාන මාතෘකාව වෙත යොමු වෙමු. අයහකම දකින ආකාරය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. පුර්ව විවාහ ලිංගික සම්බන්ධතා අයහපත් ක්‍රියාවක් ලෙස බොහෝ අය දැකිය හැක. නමුත් වෙනත් තවත් පරිසකට එය යහපත් දෙයක් ලෙස දැකිය හැක. කාමමිත්‍යාචාරය නොහොත් පරදාරසේවනය අයහපත් ක්‍රියාවක් ලෙස බහුතරයක් දකිනු ඇත. නමුත් තවත් ඇතැමුන්ට එහි කිසිදු අයහපතක් නැතැයි දකිනු ඇත. ඇතැම් රටවල් පුර්ව විවාහ ලිංගික සම්බන්ධතා, කාමමිත්‍යාචාරය හා සමලිංගිකසම්බන්ධතා අනුමත කර ඇති අතර තවත් රටවල්හි මෙවන් ක්‍රියාවන් සඳහා අනුමැතියක් නොමැත. ඉස්ලාමය තුල යහකම් හා අයහකම් පුද්ගලික මතයන් මත රැඳී නොමැත. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අයහ්කම් යනු මහා කාරුණික අල්ලාහ් විසින් තහනම් කොට ඇති දෑ ය. මහා කාරුණික අල්ලාහ් අනුමැතිය ලබා දී නොමැති ඇතැම් ක්‍රියාවන් යහ ක්‍රියාවන් ලෙස අදේවවාදීන් විසින් දකිනු ඇත. අදේවවාදීන් පවසන අන්දමට ලොව අයහකම්, දුක, වේදනාව පැවතීමට ඉඩහැර තිබීමෙන් දෙවිඳුන් අකාරුණික බව හෝ දෙවිඳුන් නොමැති බවට සාක්ෂියක් ලෙස දක්වති. අදේවවාදීන් පවසන අන්දමට අයහකම, දුක වේදනාව දෙවිඳුන් ඉඩනොහැර සිටීමට කටයුතු කළහොත් පුර්ව විවාහ ලිංගික සම්බන්ධතා, කාමමිත්‍යාචාරය, මත්පැන, සමලිංගිකසේවනය හා අනෙකුත් දුරාචාරයන් ද නැවැත්වීමට කටයුතු කළ යුතු වනු ඇත. එවිට අදේවවාදීන් විසින් දෙවිඳුන් ඉතා ඒකාධිපතිත්වයෙන් කටයුතු කරන බව මොර දෙනු ඇත. එනිසා මිනිසාට දී ඇති ස්වයං නිදහස තුල යහ දේ තෝරා ගැනීමට අවශ්‍ය බුද්ධියද දෙවිඳුන් විසින් ලබා දී ඇත.
අප විසින් මිනිසාගේ ස්වභාවය මෙන්ම ඔහුව නිර්මාණය කළ හේතුව ද නිවරදිව අවබෝධ කරගත යුතුව ඇත. මේ පිළිබඳ ව අප දෙවිඳුන්ගේ වදන්හි සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු.
“තවද බියෙන් ද, සාගින්නෙන් ද, වස්තුන්, ජීවිත හා බෝග පරිහානියෙන් ද අපි නුඹලාව නියත වශයෙන් ම පරීක්ෂා කරන්නෙමු. ඉවසිලිවන්තයින්ට නුඹ ශුභාරංචිය දෙනු”. (අල් කුර්ආන් 2:155).
“නුඹලාගේ වස්තුන් කෙරෙහි ද, නුඹලාගේ ප්‍රාණය කෙරෙහි ද, නුඹලා නියත වශයෙන්ම පරීක්ෂණයට භාජනය කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර ධර්ම පුස්තකය ලැබුවන්ගෙන් ද (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ගෙන් ද (නුඹලාගේ සිත්) රිදවන බොහෝ දේවලට සවන් දීමට නුඹලාට සිදුවනු ඇත. එහෙත් නුඹලා ඉවසිලිමත් වී (අල්ලාහ්ට) බියබැතිමත් වුවහොත් සැබැවින්ම එය අධිෂ්ඨානයෙන් යුත් කාර්යයන් අතුරින් වන්නේය”. (අල් කුර්ආන් 3:186).
“නියත වශයෙන්ම එහි (අවබෝධ ලත් ජනයාට) සංඥා (රාශියක්) ඇත. (මෙසේ) අපි (නිරන්තරයෙන්ම ජනයා පරීක්ෂා කරන්නන් වෙමු” අල් කුර්ආන් 23:30).
“නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා යහපත් දැයි නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවයත් නිර්මාණය කලේ ඔහු (අල්ලාහ්)ය. ඔහු අති බලසම්පන්නය, ක්‍ෂමාශීලිය”. (අල් කුර්ආන් 67:2).
අපට ලබා දී ඇති ජීවිතය අප සැමට යහ ක්‍රියාවන් කරන්නේ කවුරුන්දැයි සොයා බැලීම සඳහා දී ඇති පරීක්ෂණයක් යන්න ඉතා පැහැදිලිය. මෙම පරීක්ෂණය මරණින් මතු අවසානයක් නොමැති ජීවිතයේ ජයග්‍රහණය ලබන්නේ කවුරුන්දැයි තීන්දු කිරීම සඳහාය. අපගේ ජීවිතයේ අවසන් නිගමනය දෙවිඳුන් දන්නාමුත් අපි නොදන්නෙමු. එහෙයින් පරමාන්ත දිනයේ අප ස්වර්ගයට හෝ නිරයට අවතීර්ණ වන්නේ කුමන ක්‍රියාවන් හි ප්‍රතිඵල නිසාද යන්න දැනගැනීමට අපට අවස්ථාවක් ඇත. අපගේ වස්තුව, දරුවන් මේ සියල්ල අපට මෙලොව ජීවිතයේ පරීක්ෂණයන් ය.
“දැනගනු, නියත වශයෙන්ම නුඹලාගේ වස්තුන් සහ නුඹලාගේ දරුවන් නුඹලාට විපාකවලින් පිරුණු පරීක්ෂණයක් වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සතුව මහත් තිළිණ ඇත”. (අල් කුර්ආන් 8:28).
“අපි විශ්වාස කළෙමුයි ඔවුන් කී පමණින් ඔවුන් පරීක්ෂාවට ලක් නොකොට ඔවුන් අත්හැර දමනු ලබන්නේ යැ’යි ජනයා සිතන්නේහු ද?” (අල් කුර්ආන් 29:2).
අපසතු අපගේ වස්තුන් දරුවන් මේ සියල්ල අපට පරීක්ෂාවන් ය. මහා කාරුණික අල්ලාහ් සත්‍යය වශයෙන්ම යුක්තිය හා සාධාරණය මත සියළු දෑ ඉටු කරන්නට බැඳී සිටියි.
“නියත වශයෙන් ම අල්ලාහ් (කිසිවෙකුට) පරමාණුවක තරම්වත් (ඉතාමත්ම අල්ප වශයෙන්වත්) අසාධාරණයක් (හානියක්) නොකරයි. (මිනිසෙකු යමක් කළ විට) එය යහපත් දෙයක් නම් ඔහු (අල්ලාහ්) එය දෙගුණ කරයි. තවද තමන් වෙතින් ඉමහත් කුලියක් ද පිරිනමයි” (අල් කුර්ආන් 4:40).
අවසාන වශයෙන් මිහිතලය මතවූ මිනිස් ජීවිතය සැමට පරීක්ෂණයක් වන අතර මේ සඳහා වූ යහ ප්‍රතිඵල මරණින් මතු අවසානයක් නොමැති ජීවිතයේ දී නෙලා ගැනීමට හැකියාව මහා කාරුණික අල්ලාහ් විසින් සලසා ඇත. දැඩි වූ දුක හා වේදනාවට මෙලොවේ දී විඳින්නට සිදුවන දැඩි පරීක්ෂණයකට කෙනෙකු පත් වුයේ නම් එය මතු ජීවිතයේ ඔහුගේ තත්ත්වය ඉතාම උසස් වීමට අවස්ථාවක් මිස අවාසනාවක් ලෙස නොතැකිය යුතුව ඇත. මහා කාරුණික අල්ලාහ් සිටිනා බවත් මිනිසාට මරණින් මතු ජීවිතයක් ඇති බවත් අපි විශ්වාස කළ යුතුව ඇත. ඒ සඳහා වූ යථාර්ථවාදී සාක්ෂි තවත් ලිපියකින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
By; Ibnu Mansoor
www.yayuthumaga.com