චෝදනාව: කුරාණය 3:85

“තව ද කිසිම පුද්ගලයෙකු ඉස්ලාමය හැර වෙනත් ආගමක් තෝරා ගන්නේ ද හෝ ඇළුම් කරන්නේ ද, ඉස්ලාමය කිසිලෙසකින්වත් එය පිළිගන්නේ නැත. (එනම් එවැනි නිදහසකට ඉස්ලාමයේ ඉඩක් නැත)”. 

ඉස්ලාම් විවේචකයින් විසින් මෙම වැකිය ඉදිරිපත් කොට ඇති ආකාරයයි ඉහතින් දක්වා ඇත්තේ.

විග්‍රහය: සුපුරුදු පරිදි මෙම අල් කුර්ආන් වැකියේ වඩාත් නිවැරදි සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු.
“ඉස්ලාම් නොවන අන් දහමක් කවරෙකු සොයන්නේ ද, එය ඔහුගෙන් පිළිගනු නොලබන්නේමය; තවද ඔහු පරමාන්ත දිනයේ අලාභාවන්තයින්ගෙන් අයෙකු වන්නේය”.

මෙම මතය ඉස්ලාමයට පමණක් සීමාවූවක් ලෙස දක්වමින් චින්තන නිදහසට ඉස්ලාමය තුළ ඉඩක් නොමැති බව විදහා දක්වන්නට බොළඳ උත්සාහයක් මෙමගින් ගෙන ඇත. බෞද්ධ කෝණයෙන් ඉස්ලාමය මිත්‍යා දෘෂ්ටියකි. ඉස්ලාමයේ කෝණයෙන් බුදු දහම මිත්‍යා දෘෂ්ටියකි. මෙය හින්දු හා කිතුනු දහම් කෙරෙහි ද එක හා සමාන අයුරින් බලපායි. තමා සම්‍යක් දෘෂ්ටියේ පිහිටා කටයුතු කරන බවත් තම පිළිවෙතින් බැහැරවුවන් මිත්‍යා දෘෂ්ටියේ බව පිළිගැනීම පොදු සම්මතයක් බවට පත් ව ඇත. අන් දහම් විවේචනය කිරීම අපගේ ප්‍රතිපත්තිය නොවන අතර අකමැත්තෙන් හෝ පහත සඳහන් කොටස ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අපට සිදු වී ඇත.

මිත්‍යා දෘෂ්ටි කර්මයාගේ විපාකාදිය 

පහත සඳහන් කොටස මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” ග්‍රන්ථයෙන් උපුටා ගත්තෙමු. මෙම ග්‍රන්ථයේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කොට ඇත.

“නාහං භික්ඛවේ, එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති.

මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එකම ධර්මයෙකු දු මාගේ සර්වඥතාඥානයෙන් නොදකිමි. මිත්‍යා දෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේයැ”යි තථාගතයන් වහන්සේ වදාළ සේක. (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” 78 වැනි පිටුව).

‘මිත්‍යා දෘෂ්ටියෙහි විපාක’ 

“මේ මිත්‍යා දෘෂ්ටිය වනාහි මහා සාවද්‍ය වූ අකුසල කර්මයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දේශනා කොට ඇත. ‘මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මහා සාවද්‍ය වූ අන් එකද ධර්මයක්වත් මගේ බුදු ඇසින් මම නොදකිමි. එහෙයින් මේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම බරපතළ වූ මහා වරදකි. අකුසලයකි’ යනුයි.

සාමාන්‍යයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය නම් වූ අකුසල කර්මයෙහි යෙදුණු පුද්ගලයෙක් වේ නම්, ඔහුට මේ සසරින් එතෙර වීමට අවකාශයක් නැත්තේය. සතර අපා ආදියෙහි වෙසෙන සත්වයෝ පවා කල්ප විනාශය වන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහෙත් නියත මිසදිටුවාට ඒ කාල සීමාවෙහි පිටසක්වළ එක්තරා අපායක දුක් විඳීමට සිදු වන්නේය”. (‘කර්මය හා විපාකය – I කාණ්ඩය’ 11 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ)

කරුණාකර තම දහමේ ඇති කරුණු ගැනද අවබෝධයකින් යුක්තව අන් අයට ඇඟිල්ල දික්කරන්නට කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි සිතන්නෙමු.

ආගමික නිදහස හා ඉස්ලාමය 

තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත යන්න ඉස්ලාමයේ මතයයි. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට ද කිසිදු ගැටුමකින් හෝ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමකින් තොරව එවැනිම මතයක් දැරීමේ හා ක්‍රියාත්මක වීමේ අයිතියක් ඇති බව පිළිගැනීම වාර්ගික – ආගමික බහුවිධතාවයේ (pluralism) යථාර්ථය බවත් සමාජ සංහිඳියාවේ නොබිඳිය හැකි පදනම බවත් ඉස්ලාමය අර්ථ දක්වයි. මෙය ලෝකව්‍යාප්ත යථාර්ථයකි.

ආගමික, වාර්ගික හා සංස්කෘතික බහුවිධතාව ලොව සැමතැන දැකිය හැකි යථාර්ථයක් බවට පත් ව ඇත. එහෙයින් සමාජ සංහිඳියාව ඇති කිරීමට නම් බහුවිධතාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙයි.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10:41)

“තවද අපි ආදම්ගේ දරුවන් ව ගෞරවනීයත්වයට පත් කළෙමු.” (17:70)

ඉහත අල් කුර්ආන් වැකි සියල්ල මුස්ලිම්වරයෙකුට තම පිළිවෙත සත්‍ය යැයි පිළිගැනීමට ඇති අයිතිය හා සම අයිතියක් ඉස්ලාමිකයින් නොවන්නන්ට ද ඇති බව පිළිගනී. ඉස්ලාමිකයින් ව පමණක් ගෞරවනීයත්වයට පත් කොට ඇති බව සඳහන් නොකොට ආදම්ගේ දරුවන් සැවොම ගෞරවනීයත්වයට පත් කළෙමු යන්නෙන් අදහස් කොට ඇත්තේ මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවමය.

බහුවිධතාව සමාජ යථාර්ථයක් බව පිළිගන්නා ඉස්ලාමීය ඉගැන්වීම් තම පිරිස පොදු සමාජ ප්‍රවාහයෙන් දුරස්ථ කොට වෙනම කණ්ඩායමක් ලෙස ජීවත්වීමට දිරිගන්වන්නේ නැත. ඉස්ලාමීය අනන්‍යතාව ආරක්ෂා කර ගෙන තම පිළිවෙත් නිසි අයුරු ඉටුකරමින් අනෙකුත් සියලු සමාජ ස්ථරයන් සමග අන්තර් ක්‍රියාකාරකම් හි යෙදෙන්නට ඉස්ලාමය දිරිගන්වයි.

බහුවිධතාව යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. පවතින සමාජ විවිධත්වය තුළ අර්ථවත් හා උද්‍යෝගිමත් අයුරින් අන්තර් ක්‍රියාකාරකම් හි යෙදීම බහුවිධතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. විවිධත්වය යනුවෙන් බොහෝ විට අදහස් කෙරෙන්නේ කිසිදු අන්තර් හෝ අන්තඃ ක්‍රියාකාරකමකින් තොරවූ ආගමික හෝ වාර්ගික පදනමකින් යුත් සමාජ ස්ථරයන්හි පැවැත්මය. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන් යථාර්ථයක් බවට පත්කර ගන්නකි. සැබෑ අන්තර් ක්‍රියාකාරකමකින් හා සම්බන්ධතාවකින් තොර විවිධත්වය පමණක් පවතින අවස්ථාවන් හි සමාජ ඝර්ෂණයන් ඇතිවීමේ ප්‍රවණතාවන් අධික විය හැක. මෙවන් තත්ත්වයක් ඉස්ලාමය අනුමත නොකරයි.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ”. (අල් කුර්ආන් 29:46)

විශ්වයේ අධිපති දෙවිඳුන් තමන් යැයි ජනයා නොමග යවමින් සිටි පාරාවෝ වැන්නෙකු සමග ද අන්තර් ක්‍රියාකාරකම් හි යෙදිය යුතු පිළිවෙත මුසා (මෝසෙස්) හා හාරුන් ධර්ම දුතයන් වෙත දන්වා සිටි අයුරු පහත අල් කුර්ආන් වැකියෙන් පැහැදිළි වෙයි.

“එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවූ”. (අල් කුර්ආන් 20 : 44)

ආගමික බැඳියාවන් ඇති සමාජයක ආගමික විශ්වාසය ඉතා සංවේදී සාධකයකි. ඉස්ලාමය ආගමික ප්‍රචාරණය අනුමත කරන අතර තමන් දේශනා කරන හෝ පහදා දෙන කරුණු අන් අය විසින් පිළි ගත යුතු යැයි බලපෑම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මෙ මගින් චින්තන නිදහස සහතික කිරීමක් ඉස්ලාමීය ඉගැන්වීම් මගින් ඉදිරිපත් කරයි. ඉස්ලාමය පිළිබඳ කරුණු පහදා දීමේදී ඉතා ගෞරවනීය අයුරින් අන් අයගේ සිත් නොරිදවා සුහදත්වය පදනම් වූ සංවාදයන් හි නියැළෙන ලෙස අල් කුර්ආනය උපදෙස් ලබා දෙයි.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16:125)

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2:256)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.

By: එම්. අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *