චෝදනාව: කුරාණය 8:39
පළමුව ඉස්ලාම් විවේචකයින් විසින් ඉහත වැකිය ඉදිරිපත් කොට ආකාරය වෙත අවධානය යොමු කරමු.
“තවද (මුළු ලොව පුරාම) අල්ලාහ්ගේ ඉස්ලාමය පමණක් ඉතිරිවන ලෙස අනෙකුත් සියළුම ආගම්, ජීවන රටා, ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ නීති-රීති (FITNAH) භූමියෙන් විනාශකොට අතුගා දමන තුරු (මුළු ලොව පුරාම) සියළුම අන්‍යාගමිකයින්ට විරුද්ධව සටන් කරන්න. ඔවුන් තම ආගම් අතහැර ඉස්ලාමය වැළඳගන්නේනම්, අල්ලාහ්ට ඔවුන් කරන්නා වූ සියල්ල පෙනෙන්නේය”.
විග්‍රහය: අපි සුපුරුදු පරිදි මෙම කුර්ආන් වැකියේ වඩාත් නිවැරදි අර්ථ දැක්වීම කෙරෙහි යොමුවෙමු.
“(විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ) නපුරුකම් සම්පූර්ණයෙන්ම පහ වී අල්ලාහ්ගේ ධර්මය සම්පූර්ණයෙන්ම ස්ථාවර වන තුරු (මක්කාවාසීන් වන ප්‍රතික්ෂේප කරන) ඔවුන් සමග යුද්ධ කරනු. (නපුරුකම් කිරීමෙන්) ඔවුන් ඈත් වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය” (අල් කුර්ආන් 8:39).
අප වෙත චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කොට තිබු පරිවර්තනයත් එයට පහතින් දී ඇති පරිවර්තනයත් කරුණාකර සසඳා බලන ලෙස කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. ආගමික ග්රන්ථ සම්බන්ධයෙන් මෙලෙස ද්වේෂසහගත අයුරින් විකෘති කොට ඉදිරිපත් කිරීම කිසිදු දහමක් අනුමත කරන්නක් නොවේ. ඉහත චෝදනාවේ ඇති කොටස කියවන මුස්ලිම් නොවන ශ්‍රී ලාංකිකයෙකුගේ සිතේ ඉස්ලාමිකයින් පිළිබඳ ව ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීමක් ද යන්න කරුණාකර මොහොතක් සිතා බලන්න. වෛරය හා ක්‍රෝධය පදනම් කරගෙන කරන්නාවූ මෙවන් ද්වේශ සහගත ප්‍රචාර තරයේ හෙලා දකින්නෙමු.
අන් දහම් පිළිබඳ ව කටයුතු කළ යුතු ආකාරය ගැන අල් කුර්ආනය පැහැදිලි ඉගැන්වීම් ඉදිරිපත් කොට ඇත.
“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99).
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29).
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2: 256)
ඉහත අල් කුර්ආන් වැකි අන් දහම් පිළිබඳ ව ඉස්ලාමිකයින් කටයුතු කළ යුතු ආකාරය පහදා දෙයි. ඉස්ලාමීය ප්රචාරයේ යෙදෙන මඟ පෙන්වීම් ද අල් කුර්ආනයේ අන්තර්ගත වී ඇත.
“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16–125).
ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු තාඩන පීඩන විඳ දරා ගනිමින් මෙම නව ඉස්ලාමීය සමාජය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. කුරෛෂ් නායකයින් තමන්ගේ බලය යෙදවීමෙන් ඉස්ලාමයේ වර්ධනය වළක්වන්නට නොහැකි බව අවබෝධ කරගෙන මුහම්මද් තුමා සමග සම්මුතියකට එළඹෙන්නට සාකච්ඡා කළහ. ඔවුන්ගේ පළමු යෝජනාව වුයේ එක් වර්ෂයකට ඔවුන්ගේ බහුදේව වාදී වන්දනයට සියල්ල සහභාගී වියයුතු අතර අනෙක් වර්ෂයේ ඉස්ලාමීය පිළිවෙත අනුගමනය කරමින් සියල්ල කටයුතු කළ යුතු බවය. මෙයට පිළිතුරු වශයෙන් දෙවිඳුන් අල් කුර්ආනයේ 109 වැනි පරිච්ඡේදය පහළ කරමින් එය ප්‍රතික්ෂේප කරන්නට උපදෙස් ලබා දුන්නේය.
මෙය අසාර්ථක වූ පසු සම්මුතියකට එළඹීම සඳහා කුරෛෂ් නායකයින් ඉදිරිපත් කළ යෝජනාව වුයේ මුහම්මද් තුමා මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අරාබි වරුන්ගේ රජු බවට පත් වීමට නම් එය ඔවුන් කැමැත්තෙන් ප්රදානය කරන්නට සුදානමින් සිටින බවය. එසේත් නොමැති නම් ධනය රැස් කර ගැනීම අපේක්ෂාව වුයේ නම් මුළු අරාබි කරයේ සියලු සම්පත් එතුමාගේ දෙපා අභියස ගෙනත් තබන්නට ඔවුන් කැමැති බවය. ඔවුන්ගේ මීළඟ යෝජනාව වුයේ මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අති රූමත් ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් සාදා ගැනීම නම් සියලු රූමත් ස්ත්‍රීන් එම අන්තඃපුරයට ගෙනැවිත් දෙන්නට ඔවුහු පොරොන්දු වුහ. ඔවුන්ගේ එකම කොන්දේසිය වුයේ ඉස්ලාමීය ප්‍රචාරය වහාම නැවැත්විය යුතු බව පමණි. එනම් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නේ නම් මුහම්මද් තුමාට මුළු අරාබි කරයේ රජු වීමටත් එහි සියලු සම්පත් වල උරුමක්කාරයා බවට පත් වන්නටත් අලංකාර ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් උරුම කර ගන්නටත් මාර්ගය විවෘත ව තිබිණි. එතුමාගේ දැඩි ස්ථාවරය වුයේ හිරු තම එක් අතකත් සඳු තම අනිත් අතෙහිත් ගෙන තැබුවත් ඉස්ලාමීය ප්‍රචාරය නොනවත්වන බවය. මේ කිසිම මඟකින් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නට නොහැකි වූ බහු දේව වාදී කුරෛෂ් නායකයින් ඉස්ලාමිකයින් සම්බන්ධව ආර්ථික හා සමාජ සම්බාධක පනවන්නට තීරණය කළහ. අවුරුදු තුනක් පමණ මෙම සම්බාධක හේතුවෙන් අන්ත අසරණ තත්ත්වයට පත් වූ ඉස්ලාමිකයින් දැඩි අධිෂ්ඨානයකින් යුක්තව තමා තෝරා ගත් නිවැරදි මාර්ගයේ සියලු පීඩාවන් හා ගැහැට විඳ දරාගනිමින් සිටියහ. මෙම ක්‍රියාවෙන්ද ඉස්ලාමිකයින්ව දුර්වල කරන්නට නොහැකි වූ කුරෛෂ් නායකයින් මුහම්මද් තුමාව අවසානයේදී මරා දමන්නට තීරණය කළහ.
මෙම වැකිය පහළ කරනු ලැබූවේ මුහම්මද් තුමාණන් අවුරුදු 13ක් ම ප්රතික්ෂේපක මක්කාවාසී කුරෛෂ් නායකයින්ගේ අති භයානක භීෂණය හා හිංසනය දරාගත නොහැකිව මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසු මෙම කුරෛෂ් නායකයින් විශාල හමුදාවක් සමග මදීන නගරය ආක්‍රමණය කිරීමට පැමිණ මදීනා නගරය අසල ඇති බද්ර් නම් ස්ථානයේ සිදුවු පළමු යුද ගැටුම පදනම් කරගෙනය. මෙම වැකියේ ‘ෆිත්නා’ යන අරාබි පදයට චෝදනා ඉදිරිපත් කරන වර්තමාන ඉස්ලාම් විවේචකයින් දී ඇති අර්ථ ලැයිස්තුව ඕනෑම අයෙකු මවිතයට පත්කරවන්නකි. මෙවන් මනඃකල්පිත මතයන් ඉදිරිපත් කිරීම සත්‍යය වශයෙන් ම ඉස්ලාමය කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ඉතා මනා ලෙසින් විදහා දක්වන්නක් ලෙස මධ්‍යස්තව සිතන ඕනෑම අයෙකුට අවබෝධ වන කාරණයකි. මෙම බද්ර් යුද්ධය ඇති වන්නේ ආක්රමණකාරී කුරෛෂ් ප්රතික්ෂේපකයින් විසින් මක්කාවේ සිට මදීනා නගරය වෙත කළ යුද මෙහෙයුම හේතුවෙනි. මෙම වැකියේ සඳහන් වන්නේ එම ආක්රමණකාරී කුරෛෂ් ප්රතික්ෂේපකයින් පිළිබඳ ව ය. අන් ආගමිකයින් සමග ක්‍රියා කළ යුතු මාර්ගෝපදේශය අල් කුර්ආනය ඉතා අලංකාර අයුරින් ඉහතින් දක්වා ඇති පරිදි ලබා දී ඇත. සත්‍යය අවබෝධ කර ගනිමු. පදනම් විරහිත වෛරය හා ක්‍රෝධය ඉවත ලා යහ මිනිසුන් ලෙසින් එකිනෙකා අවබෝධ කරගෙන සාමකාමී හා සහෝදරත්වයෙන් බැඳුනු අලංකාර ශ්‍රී ලංකාවක් ගොඩ නඟන්නට අපි එකිනෙකා අත්වැල් බැඳ ගනිමු.