ඈත කාලයේදී විශ්වය නිරන්තරයෙන්ම තිබුණු එකක් බව විශ්වාස කොට තිබේ. එහෙත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කොට ඇත. කෙසේ වෙතත් විශ්වය බිහිවුයේ කෙසේද යන්න තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවකි.
බොහෝ විට විශ්වයේ ආරම්භය පිළිබඳව අසනු ලබන ප්‍රශ්නයන් වන්නේ, විශ්වයට ආරම්භයක් තිබේ නම් එය කෙසේ ඇතිවූයේද? ඒ සඳහා නිර්මාණ කරුවෙක් සිටිය යුතුද? නැතහොත් එය ඉබේ ඇතිවූයේද? නිර්මාණ කරුවෙක් සිටිනවා නම් ඔහු කව්ද? විශ්වයට නිර්මාණ කරුවෙක් නොසිටින්නේ නම් විශ්වය ඇති වුයේ කෙසේද? විශ්වය දෙවියන් මැවුවා යැයි පිළිගත හැකිද? දෙවියන් විශ්වය මැව්වේ යැයි පිළිගන්නේ නම් ඔහු කව්ද? ඔහු සිටින්නේ කොහිද? ඔහුගේ ලක්ෂණ මොනවාද? යනාදිය වේ.

අපගේ විශ්වය බිලියන හතරක් පමණ පැරණි බව ගණන් බලා තිබේ. එහි ආරම්භය සෙවීම සඳහා විද්‍යාඥයින් විශාල වෙහෙසක් ගනිති. කෙසේ වෙතත් මේ දක්වා එම උත්සාහයන් සාර්ථක වී නැත. එහෙත් විද්‍යාඥයින් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ඇතැම් මතවාදයන්  ඉදිරිපත් කොට ඇත. මහා පිපිරුම් වාදය ඉන් එක් මතයකි. එම මතය පිළිනොගන්නා විද්‍යාඥයින් පිරිසක්ද සිටිති. ඔවුන් පවසන්නේ විශ්වය ඉබේ ඇතිවිය යුතු බවයි. එහෙත් එම මතය පිලි නොගන්නා විද්‍යාඥයින් ද  සිටිති. ඒ අනුව විශ්වයේ බිහිවීම විද්‍යාඥයින්ට තවමත් අභිරහසකි.

විශ්වයේ අපි දකින ජීවින් අතරින් මිනිසා ඉතා වැදගත් මැවීමක් වන්නේ ඔහුට විශ්වයේ මැවුම්කරු ගැන සිතා බැලීමට බුද්ධියක් තිබෙන නිසාය. ඒ අනුව විශ්වය ඇතිවීමට මැවුම්කරුවෙක් සිටිය යුතු බව මිනිසාට තේරුම් ගැනීමට හැකි වන්නේය. තවද විශ්වය ගැන හැදැරීමේදී එම මැවුම්කරු ඉතා බලගතු සර්වඥානියෙක් විය යුතු බව මිනිස් බුද්ධියට වැටහෙන්නේය. එබැවින් එම කරුණ කිසිවෙකුට ඉවත දැමිය නොහැකිය.

විශ්වයට යම් කිසි මැවුම් කරුවෙක් සිටින බව පිළිගන්නේ නම් ඔහු විසින් කිසිම දෙයක් මැවීමට පෙර ඔහු පමණක් සිටිය යුතුය. මෙහිදී ගොඩ නැගු තර්කය අනුව ඔහුට පෙර කිසිම ජීවියෙක් හෝ වස්තුවක් තිබිය නොහැකිය. ඇයිද යත් සෑම දෙයක්ම උපදින්නේ මෙම ප්‍රථම මැවුම්කරුගෙන් නිසාය. මෙම සිද්ධාන්තය පිළිගැනීම අනිවාර්ය වන්නේ ඔහු ප්‍රථම බලය වන බැවිනි. තවද මෙම නිර්මාණකරු සෑම දෙයක්ම මවා තිබිය යුත්තේ ඔහුගෙන් පිටත අවකාශයකදීය. මේ නිසා එම මැවුම්කරු ගැන දැන ගැනීමට හැකි වන්නේ ඔහු දෙන පණිවිඩයකින් පමණි.

සෑම ප්‍රධාන දහමකින්ම එම මැවුම්කරු ගැන සඳහන් කොට ඇත. අල්කුරණය එම මැවුම්කරු විසින් අවසාන වරට එවන ලද දහම් පණිවිඩය වේ. කුරානය හැදෑරීමෙන් විශ්වයේ මැවුම්කරු ගැන නිවැරදි වැටහීමක් ලබා ගත හැකිය. කුරානය එම මැවුම්කරුගෙන් ලැබුණු බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු කුරානය තුලම අන්තර්ගත කොට තිබේ. කුරානය හැදෑරු බොහෝ විද්‍යාඥයින් එය මිනිස් නිර්මාණයක් විය නොහැකි බව පිළිගෙන තිබේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *