බොහෝ වැරදිකරුවන් යහතින් ජීවත්වීම දකින විට දහම ගැන නිසි අවබෝදයක් නොමැති කෙනෙකුට දෙවිකෙනෙක් සිටිනවාදැයි සැකයක් පහළ විය හැකිය. උදාහරනයක් වශයෙන් ඇතැම් පාලකයින් ජනතාව තලා පෙලා අල්ලස් සහ දුෂණයෙන් රට පාලනය කලත් ඔවුන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැත. මේවා දකින විට දුර්වල මනසක් ඇති කෙනෙකුට දෙවියන් ගැන සැක පහළ විය හැකිය. මෙවැනි සිදුවීම ඈත ඉතිහාසයේ සිටම සිදුවී තිබේ. පාරාවෝ මිට හොඳම උදාහරණය වේ. ඔහු දෙවියන්ට අභියෝග කළේය. එහෙත් දෙවියන් ඔහු කෙරෙහි කරුණාව දැක්විය. ඔහුව නිවැරදි මාර්ගයට ගැනීම සඳහා නබිවරුන් දෙදෙනෙකුම යැව්වේය. එහෙත් පාරාවෝ ඉන් ප්‍රයෝජනයක් නොගත් බැවින් ඔහුව සහ ඔහුගේ සේනාව ජලයේ ගිලවා විනාශ කර දැම්මේය. නුහ් නබිතුමාගේ කාලයේදීද එසේම විය. ඔවුන් වැරදි කිරීමෙහි ස්ථිරවම සිටින විට ඔවුන් සියළුම දෙනා විශාල ජන ගැල්මකින් විනාශ කළේය. කෙසේ වෙතත් දෙවියන්ගේ අරමුණ මිනිසා විනාශ කොට දඬුවම ලබා දීම නොවේ. ඔහු ඉතා කාරුණිකය. මේ නිසා මිනිසා කොපමණ වැරදි කලත් මරණයට පෙර යම් දවසක තමන්ව නිවැරදි කර ගැනීම සඳහා සෑම අවස්ථාවකම ලබා දී තිබේ.
මිනිසා සහ ජින්වරුන් දෙවියන්ගේ විශේෂ මැවීම් දෙකකි. ඔවුන්ට ස්වයං තීරණ ගැනීමට හැකිය. එම හැකියාව දේවදුතයින්ට පවා ලබා දී නොමැත. එම හේතුවෙන් මිනිසාට දෙවියන්ගේ අණ පිලිපැදීමෙන් දේවදුතයින්ට වඩා ශ්‍රේෂ්ඨ විය හැකිය. කෙසේ වෙතත් මිනිසාට එය කල හැක්කේ ඔහුට මෙලොවදී ලැබී ඇති පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දීමෙන් පමණි. එම නිසා මිනිසාගෙන් කුමන අකාරයේ වැරදි සිදු වුවත් ඒවා හදා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මිනිසා සහජයෙන්ම වැරදි කරන්නේය. ඒවාට එවෙලේම දඬුවම් කලේ නම් ඔහුගෙන් සිදු වන වැරදි හදා ගැනීමට අවස්තව නොලැබී යනු ඇත. එම නිසා මිනිසා කොපමණ වැරදි කලත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා අවස්ථාවක් ලෙස ඔහුගේ දඬුවම් එවෙලේම ලබා දෙන්නේ නැත.
“අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත” (කුරානය 16:61).
දෙවියන් සෑම දෙයක් ගැනම ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නේය. එය ඔහුගේ ගුණාංගයක් ද වේ. එහෙත් මහා කාරුණික දෙවියන් මිනිසාට මැරෙන මොහොත දක්වා ම ඔහු කරන වැරදි වලට සමාව ගැනීමට අවස්තාව ලබා දී තිබේ. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම මිනිසා ලබා ඇති විශාලා වරමකි. එම වරමෙන් ප්‍රයෝජන නොගන්නේ නම් මොනතරම් අවාසනාවක්ද?
“වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ලාහ් නොදැන සිටිනවා යැයි නොසිතන්න, එහෙත් ඔහු භීතියෙන් තිගැස්සී ඇස් උඩ යන එම දිනය දක්වා ඔවුන්ට අවකාශ ලබා දී තිබේ” (කුරානය 14:42).
මෙම අවවාද වලින් ප්‍රයෝජන ලබන්නා මරණයෙන් පසු නිමක් නොමැති ජීවිතය ජය ගනු ඇත. තවද, ඊට පිටු පාන අය දෙවියන්ගේ දඬුවමට ලක් වනු ඇත. කෙසේ වෙතත් කෙනෙක් දෙවියන්ව විශ්වාස කල යුතු අන්දමට විශ්වාස නොකර තමන් නිවැරදි මාර්ගයේ සිටින්නේ යැයි උපකල්පනය කරන්නේ නම් ඔහු කරන ලොකුම වැරැද්ද එයයි. උදාහරණයක් වශයෙන් දෙවියන් වෙනුවට සාන්තු වරයෙකුව හෝ ඔහුගේ ප්‍රතිමාවක් හෝ දෙවියන් ලෙස සලකා ඔහුට වැඳුම් පිදුම් කිරීම පෙන්වා දිය හැකිය. එවැනි කෙනෙක් නැවත හරි මාර්ගයට පැමිණීම ඉතා විරලය. එහෙත් බේබද්දෙක් හෝ වෙනත් වැරදි කල කෙනෙක් යම් දවසක තමන් කරන වැරදි වලින් මිදී නිවැරදි මඟ තෝරාගැනීම ගැන සිතා බැලිය හැකිය. තවද දෙවියන්ව විශ්වාස කරන කෙනෙක් දෙවියන්ට සමානයන් තබන්නේ නම් එයද ඔහු කරන විශාල වරදකි. ඇයිද යත් එවැනි අයට මරණයෙන් පසු සමාවක් නොලැබෙන බව කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇති නිසාය. එම අවස්ථාවට මුහුණ දුන් පසු නැවත හැරීමක් නොමැත. මෙවැනි අයද නැවත නිවැරදි මාර්ගය අත්කර ගැනීම ඉතා විරලය. මේ නිසා මිනිසා සත්‍යය දහම සොයා දැනගෙන එය පිළිපැදිය යුතුව තිබේ.
“නුඹගේ අධිපති දෙවියන් අධික ලෙස ක්‍ෂමාකරන්නාය; කරුනාවන්තයාය. ඔහු, ඔවුන් උපයාගත් දේවල් සඳහා දඬුවම් කරන්නේ නම් නියත වශයෙන්ම ඔවුනට වේදනාව ඉක්මන් කරත හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට යැයි ප්‍රතිඥා දෙනු ලැබූ වෙලාවක් නියම කොට ඇත. ඉන් ඔබ්බට ඔවුන් සඳහා ගැලවුමක් නැත” (කුරානය 18:58).
මිනිසාට මෙලොවදී ලැබී ඇත්තේ එක් අවස්ථාවක් පමණි. එය හරියාකාරව තේරුම් ගැනීම මිනිසාට පැවරී ඇති විශාල වගකීමකි. එහෙත් බොහෝ අය ඒ ගැන සිතීමට වඩා ලෞකික ජිවිතයේ සැපත වෙනුවෙන් කාලය ගත කිරීම කොතරම් මුග්ධ කමක් විය හැකිද? තවද බොහෝ අය පින් දහම් කරති. එහෙත් ඔවුන් කරන පින් දහම් දෙවියන් විසින් පෙන්වා දෙන ලද ඒවා දැයි සොයා බැලීමක් නැත. බොහෝ විට ඒවා මිනිසාගේ සිතුම් පැතුම් අනුව නිර්මාණය කල ඒවාය. ඒවා තේරුම් ගෙන නිවැරදි මාර්ගයට ප්‍රවේශ වීම සඳහා දෙවියන් මිනිසාට දෙන දඬුවම් ප්‍රමාද කිරීම ප්‍රයෝජනයට ගත යුතුව ඇත. නැතහොත් මිනිසාට ලැබී ඇති අනගි අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී යනු ඇත. එහි ප්‍රතිපලය වන්නේ දෙවියන් ප්‍රතිඥා දී ඇති ස්වර්ගය නොලැබී යාමයි.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.