අල්ලාහ් අල් කුර්ආනයෙහි ඔහුගේ නම් සහ ගුණාංග විස්තර කොට ඇත. අල්ලාහ් ගැන දැන ගැනීමට එම ගුණාංග අත්‍යාවශ්‍ය වේ. ඒවා අධ්‍යයනය කිරීමෙන් මිනිසා තුළ අල්ලාහ් පිලිබඳ සවිඤ්ඤාණික දැනුම වර්ධනය කල හැකි අතර එමගින් කෙනෙකුගේ නිහතමානිකම පෝෂණය කල හැකිය. තවද අල්ලාහ්ව හොඳින් තේරුම් ගැනීම තුලින් කෙනෙකුගේ ක්‍රියා කලාපයන් නිවැරදි මගට යොමුකළ හැකි වන්නේය. අනෙක් අතට මිනිසාට හුදෙක් නීති පමණක් පැනවීමෙන් එම ප්‍රතිපල අත්කර ගත හැකි වන්නේ නැත.
අල් කුරානයේ සහ නබිවදන් වල අරාබි බසින් සඳහන් කොට ඇති අල්ලාහ්ගේ ගුණාංග වෙනත් භාෂාවකින් පරිවර්තනය කිරීම ඉතා අසීරු කරුණකි. ඇයිද යත් ඒවාට සරිලන තනි වචන වෙනත් භාෂාවලින් සොයාගැනීමට තිබෙන අපහසුතාව නිසාය.
අල්ලාහ්ගේ සෑම ගුණාංගයක්ම ඔහුට පමණක් ආවේනික වූ ඒවාය. එබැවින් ඒවා ඔහුගේ කිසිම මැවිමක ගුණාංගවලට සම කල නොහැකිය. කෙසේ වෙතත් ලිපිය කෙටි කිරීම සඳහා වැදගත් කරුණු කිහිපයක් පමණක් මෙහිදී සලකා බලනු ලැබේ.
අල් කුරානයේ යුගලයක් වශයෙන් දැකිය හැක්කේ ‘අර්රහ්මාන්’ සහ ‘අර්රහිම්’ යන ගුණාංග දෙකයි. මෙම වදන් දෙකෙන්ම පැවසෙන්නේ අල්ලාහ්ගේ කරුණාවන්තකම, මෘදුබව සහ දයානුකම්පිතබව වැනි දේවල් වේ. අල්ලාහ්ගේ අනෙක් නම් මෙන්ම මේවායින් ඔහුගේ ආනුභාවය සහ පාරමිතාව පෙන්නුම් කෙරෙන්නේය. අල්ලාහ්ට මෙම ගුණාංග ඇති බැවින් ඔහුගේ මැවීම් වලට අසීමිත ලෙස දයාව පෙන්වන්නේය. ඒ අනුව මිහිපිට වැරදි කරන අයට මෙන්ම හොඳ කරන අයට එක සමානව කරුණාව දක්වන්නේය.
අල්ලාහ්ගේ තවත් ගුණාංගයක් වන්නේ ‘අල්බසීර්’ යන්නයි. එම ගුණාංගයෙන් පැවසෙන්නේ ඔහු සෑම දෙයක්ම එකම වෙලාවේදී ඉතා හොඳින් නිරීක්ෂය කරන බවයි. ඔහුගේ බැල්මට කිසිම දෙයක උදව් අවශ්‍ය වන්නේ නැත. එනම් ආලෝකය හෝ වෙනත් දෙයක පිහිට අවශ්‍ය වන්නේ නැත. මේ නිසා කිසිම බදකයකින් අල්ලාහ්ගේ බැල්ම වැළැක්විය නොහැකිය. මෙය අල්ලාහ්ට පමණක් සුවිශේෂී ගුණාංගයකි. එසේ තිබියදී කව්රුන් හෝ සිතන්නේ නම් ඔහුගේ ෂෙයික් වරුන්ට ලෝකයේ කොතැනක සිටියත් තම අනුගාමිකයින්ගේ තත්වය නිරීක්ෂණය කල හැකිය කියා එවිට ඔහු තම ෂෙයික් වරයාව අල්ලාහ්ගේ තත්වයට උසස් කරන්නේය. එසේ කිරීමෙන් ඔහු නොදැනුවත්වම තම ෂෙයික් වරයාව අල්ලාහ්ට සම කරන්නේය. එසේ කිරීම අල්ලාහ් සමා නොකරන වරදක්වේ. එබැවින් එවැනි වරදක් කල කෙනෙක් සිය මරණයට පෙර සමාව ගෙන තිබිය යුතුය. නැතහොත් ඔහු කොතරම් පින් දහම් කර තිබුනත් නිරයට පාත්‍ර වනු ඇත.
‘අස්-සමියි’ අල්ලාහ්ගේ තවත් ගුණාංගයකි. ඉන් පැවසෙන්නේ ඔහු සෑම කෙනෙකුටම එකම වෙලාවේදී ඉතා හොඳින් සවන් දෙන බවයි. එම ගුණාංගය අල්ලාහ්ට මිස වෙන කිසිම කෙනෙකුට නොමැත. මිනිසාට ද සවන් දිය හැකි මුත් එය බොහෝ සීමාවන්ට යටත් වන්නේය. එසේ තිබියදී කව්රුන් හෝ සිතන්නේ නම් තම ෂෙයික් වරුන්ට ලෝකයේ කොතැනක සිටියත් තම අනුගාමිකයින්ගේ ඉල්ලීම්වලට සවන්දිය හැකිය කියා ඔහු එම ෂෙයික් වරයාව අල්ලාහ්ට සමාන කරන්නේය. මෙය ඉතා බරපතල වරදක් වේ.
‘අල් වහ්හාබ්’ යනු අල්ලාහ්ගේ තවත් ගුණාංගයකි. ඉන් කියැවෙන්නේ ඔහු සෑම කෙනෙකුගේම උවමනාවන් පිරිනමන්නා බවයි. එසේ තිබියදී කව්රුන් හෝ තම ෂෙයික් වරුන්ටත් එම ගුණාංගය ඇතැයි සිතාගෙන ඔවුන්ගේ මාර්ගයෙන් තම උවමනාවන් ඉටු කරවා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඔවුන් එම ශේයික්වරයාව අල්ලාහ්ගේ මට්ටමට උසස් කරන්නේය. උදාහරණයක් ලෙස දරු පල නොමැති කෙනෙකුට වෛද්‍යවරුන්ගේ පිහිට පතනවා වෙනුවට ෂෙයික්වරුන්ගෙන් උදව් පැතීම පෙන්වා දිය හැකිය.
අල්ලාහ්ට සමානයන් තැබීම ගැන ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුට පහත දක්වන අන්දමට අවවාද කොට තිබේ.
“ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, ‘මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයක් (යනුවෙනි)” (කුරානය 31:13).
තවද අල් කුරානයේ වෙනත් වැකියක දෙවියන්ට සමානයන් තැබීමේ බැරෑරුම්කම පහත දැක්වෙන අන්දමට විස්තර කොට ඇත.
“නියතවශයෙන්ම අල්ලාහ් ඔහුට (වෙන දෙයක්) සම කරනු ලැබීම ක්ෂමා නොකරන්නේය. එය හැර අනෙක්වා ඔහුගේ අභිමතය පරිදි ක්ෂමා කරන්නේය. කවරෙක් (නැමදීමේ දී) අල්ලාහ්ට (යමක්) ආදේශ කරයිද ඔහු නියතවශයෙන්ම මහා පාපයක් ගොතන ලද්දෙක් වේ” (කුරානය 4:48).
ඇතැම් අය නොදැනුවත් කම නිසා අල්ලාහ්ගේ ගුණාංග ඇතැම් ෂෙයික් වරුන්ට ලබා දී ඇත. තවත් සමහරු දැන දැනම එම වරද කරති. එබැවින් ඔවුන්ට එම වරදේ බැරෑරුම්කම පැහැදිලි කොට දුන්නත් එය පිළිගැනීමට සුදානම් නොවෙති. මින් සිදුවන්නේ ඔවුන් කොපමණ දුක් මහන්සියෙන් පින් දහම් කලත් අල්ලාහ්ගේ දඬුවමට ලක් වීමටය.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.