දෙවියන් සිටිනවාද නැද්ද යන්න විශ්වාසය මත ගොඩ නැගී ඇත. එහෙත් සෑම විශ්වාසයක්ම මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වන්නේ නැත. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ පවා සිදු කරන්නේ යම් විශ්වාසයන් පෙරදැරි කරගෙනය. විශ්වයේ බිහිවීම ගැන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් දරන විශ්වාසයයි. එහෙත් ඒවා හඳුන්වන්නේ ‘විශ්වාසය’ කියා නොව ‘වාදය’ යනුවෙනි. 

මහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා එක්තරා අවස්තවකදී ඔහු විසින් ප්‍රකාශිත “A brief history of time from big bang to black hole” යන ග්‍රන්ථයේ සඳහන් කොට තිබුනේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඔහු එම නිගමයට පැමිණ ඇත්තේ විශ්වය ගැන මනා අධ්‍යනයකින් පසුවය. එහෙත් ඔහුගේ නවතම මතය වන්නේ විශ්වය ඉබේ ඇතිවී තිබිය යුතු බවයි. කෙසේවෙතත් ඔහුගේ මෙම නව මතය බොහෝ විද්‍යාඥයින් පිළිගන්නේ නැත. මහාචාර්‍ය ගෙරල්ඩ් ශ්‍රෝඩර් (Prof Gerald Schroeder) පවසන්නේ ස්ටෙෆාන් හොකින් මහතා පවසන ආකායට ස්වභාවික නීතිවලින් විශ්වය බිහිවන්නේ නම් කාලය ඇතිවීමට පෙර ස්වභාවික නීති ඇතිවී තිබිය යුතු බවයි. ඇයිද යත් කාලය ආරම්හ වන්නේ විශ්වය බිහිවූ පසුව නිසාය. කෙසේ වෙතත් විශ්වය බිහි වූ අන්දම හෝ මුල්ම ජීවියා බිහිවුයේ කෙසේද යන්න මෙතෙක් විද්‍යාවෙන් සොයාගෙන නැත. මේ සම්බන්දයෙන් පවතින සෑම මතයක්ම විද්‍යාඥයින්ගේ විශ්වාසය මත පදනම් වූ ඒවාය.

විද්‍යාඥයින් කුමන මත දැරුවත් අල්කුරානයේ බොහෝ විද්‍යාත්මක සංකල්ප 7 වන සිය වසේදීම පහළ කොට ඇත. ඒවා කිසිවක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් වී නොමැත. උදාහරණයක් වශයෙන් විශ්වයේ ප්‍රසාරණය පෙන්වා දිය හැකිය. එය එඩ්වින් හබල් විසින් සොයා ගනු ලැබුවේ 20 වන සියවසේදී ය. අල්කුරානය මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වන්නේ නම් එවැනි ප්‍රකාශනයක් සිදු කල හැක්කේ කෙසේද? ඒ හැරුණු විට කුරානයේ තවත් බොහෝ විද්‍යාත්මක සංකල්පයන් ඇත. මින් පෙනී යන්නේ එය ජීවමාන දෙවි කෙනෙකුගේ පණිවිඩයක් විය යුතු බවයි.

අල්කුරණය හැරුණු විට දෙවියන්ගේ පැවැත්ම සනාත කිරීම සඳහා නබිවරුන් ප්‍රාතිහාරයන් සිදු කොට පෙන්වා තිබේ. එම ප්‍රාතිහාරයන් ඔවුන්ටම මිස වෙන කිසිවෙකුට කල නොහැකි වීමෙන් ඒවා දෙවියන්ගේ උදව්වෙන් පමණක් කල හැකි දේවල් බව සනාථ වන්නේය. උදාහරණ වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්වුවා ඇත, උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත, ලාදුරු රෝගීන්ව සුවපත් කොට ඇත, එසේම මුසා නබිතුමා මුහුද දෙබෑකොට ඇත, ඔහුගේ හැරමිටිය නාගයෙකු බවට පත් කොට ඇත. මේවා කිසිවක් දෙවියන්ගේ උදව්වෙන් මිස කල හැකි දේවල් නොවේ. අල් කුරානය අදටත් අප අතර පවතින ජීවමාන ප්‍රාතිහාරයකි. මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නේ දෙවි කෙනෙක් සිටින බවයි.

කෙසේ වෙතත් මිනිසා විසින් සිතේ මවා ගෙන ඇතැම් දෙවිවරුන් අදහති. එවැනි දෙවිවරු සිටින බව සනාථ කිරීමට කිසිම සාදකයක් ඉදිරිපත් කොට නොමැත. තවද එම දෙවිවරුන් විසින් මැවූ විශ්වයක් හෝ ජීවින් ද දැකිය නොහැකිය. එසේම ඔවුන් විසින් පහළ කල දහමක්ද නැත. මෙවන් විශ්වාසයන් මිත්‍යා දෘෂ්ටික බව කීම නිවැරදිය. තවද විශ්වය ගැන හැදෑරීමේදී මුළු විශ්වයටම එක් දෙවිකෙනෙක් පමණක් සිටිය යුතු බවට බොහෝ විද්‍යානුකුල සාක්‍ෂි තිබේ. ඒ අනුව එක් දෙවිකෙනෙකුට වඩා සිටින බව පැවසීම පිළිගත නොහැකිය.

මිනිසා විසින් දෙවිවරුන්ගේ රූප සාදා ඒවාට වැඳීමත්  මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවකි. කිසිසේත්ම විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරන දෙවි කෙනෙක් ගල් සහ වැලිවලින් තනන රූපයකට සම කල නොහැකිය. මේ නිසා ඉස්ලාම් දහමේ රූප වන්දනාවක් නැත.

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *