මා කුඩා කල පටන් හැදී වැඩුණු සමාජය තුල, මා හට වටහා ගැනීමට නොහැකි විවිධ දේවල් ඇසින් දුටුවෙමි. උදාරණයක් ලෙස ගත් කල, විවිධ මිනිසුන්ගේ ක්‍රියාවන් ලෙස එනම්, සමහර පිරිමි හෝ ගැහැණු අනුන්ගේ පුද්ගලික දේවල් හා නොයෙක් සිදුවීම්, තමාට අදාල නොවන බවත් දැන දැනම ඒ දේවල් පිළිබඳව විශාල උනන්දුවකින් සොයා බලා, ඒ පිළිබඳ වැඩිපුරත් එකතු කර අන් අයට පවසා, තමාටත් අන් යටත් විශාල හිරිහැරයක් කර ගන්නා අවස්ථාවේ, සමහරු කිසිම දෙයක් සිදු නොවූ ලෙස හා සමහරුන් ඒ පිළිබඳ නොදන්නා නමුත්, ඔවුන්ද ඒ සිදුවීමට සම්බන්ද කර විශාල ගැටුම් ඇති කර ගැනීම. මේ සිදුවීම් නිසා මගේ හිතට දැනෙන අසරණ කම කිව නොහැක. එනම්, වැරදි කර පුද්ගකයා නිදැල්ලේ සිට අසරණයා දුක් විදීමය. මාගේ ප්‍රශ්ණය නම් ඇයි මෙසේ වනුයේ.
තවත් උදාහරණයක් නම්, පස යටට පැළ වීමට දමන්නාවූ ඇට වර්ගයන්. මා කුඩා කල මාගේ මව විසින් ගෙවත්තේ පැළවීමට දමන්නා වූ ඇට වර්ග පිළිබධව, ඇය උනන්දු වනවාට වඩා, මාගේ උනන්දුවයි. එනම් එය පැලවූ වහාම මාගේ රාජකාරිය නම්, එය අම්මාට හා අන් අයට හොරා එය ගලවා බැලීමයි. ඒ මා සොයනුයේ එය පැල වන ආකාරයයි. වැඩිහිටියන්ගෙන් අසා දැන ගත්තත්, එහි මුල්ම පැළය පිළිබඳ, ඔවුන් දෙන්නාවූ පිළිතුර මගේ හිතට ප්‍රමාණවත් නොවන්නක්. ඔවුන් කියනුයේ සියල්ල ඉබේ ඇති වුවක් බවයි. ගසක් ලොකු වී අලංකාරමත් කොළ, මල්, ගෙඩි හට ගන්නා අවස්ථාව, කෙතරම් ප්‍රිය ජනකද? නමුත්, ඊට ටික කලකට පසු, ඒ ගසම, කොළ වේලි, හැලී ගස මළානික වන ආකාරය හා නැවත වරක් එම ගසම අපුරුවට දළු දා පරිසරයට ගෙන්නාවූ ප්‍රිය ජනක බව. මේවා කාගේ වැඩක්ද? ඉතිරිය ප්‍රශ්නයක් පමණි.
තවත් දවසක එනම් කුඩා කල මගේ සහෝදරයාගේ නිවසේ ඇති කරන්නාවූ කුකුළන්, පිළිබද මට ඇති වූ හැගීම. එනම් මා හුස්ම ගන්නා ආකාරය හා එම සතා හුස්ම ගන්නා ආකාරය. මා ඔක්සිජන් වායුව ගන්නා බවත්, ඒ සතා කෙසේද හුස්ම ගනුයේ යන ප්‍රශ්නයත්. දවසක් ගෙදර සියල්ල නොපෙනෙන කම් ඉද. දවස් දෙකක් හෝ තුනක් වන කුකුළු පැටවෙක් ගෙන ඌගේ නාසය තිබේදැයි බැලීම. නමුත් මා දුටුවේ හොටය හා ඇස් පමණි. මිනිසාට කටින් හා නාසයෙන් හුස්ම ගැනීමට පුළුවන. නමුත් කුකුල් පටවාගේ නාසය නොදුටු මට, ඒ ගැන ප්‍රශ්නයක් මතු වුනෙමි. ඒ නිසා මා උගේ හොටය, තත්පර 1 හෝ 2 අල්ලාගෙන සිට අත ඇරියෙමි. ඌ මැරී ඇති බව මා දුටුවේ ඉන් පසුවයි. හිතේ එති වූ බය නිසා, මේ ගැන කාගෙන්වත් ප්‍රශ්න නොකළ මා, මාගේ හිතේ ප්‍රශ්ණ මතු වූ වාර ගණන නිම කල නොහැක.
තවත් දවසක මුස්ලිම් කාන්තාවක් ශරීරයේ සියල්ල වසා, මා නගින්නාවූ බසයටම නැගීමට සිටියේය. ඇය දිහා මා සැරින් සැරේ හොරාට බැලුවෙමි. ඇයි ඇය එසේ අදින්නේ යන ප්‍රශ්ණය මා වරින් වර සිතුවෙමි.
මෙවැනි සිදුවීම් කෙතරම් මා ජිවිතේ අත් වින්දත්, එයට පිළිතුර දිය හැකි කිසිවෙක් ම දුටුවේ නැත. මෙසේ කාලය ගෙවී මා දවසක සවුදි අරබියාවට රැකියාවක් සඳහා පැමිණියෙමි. එහි පරිසරය මට විශාල බලපෑමක් විය. ඔවුන්ගේ ජිවන රටාව, ආගම සහ නොයෙකුත් දේවල් විවිධ විය. පිළිතුරු ලබා ගැනීමට කිසිවෙක් නැත. ප්‍රශ්ණ වැලක් ඉතිරි විය.
මේ සියල්ලට වඩා මා කුඩා කල සිට විවිධ පොත්, පත්තර, සගරා කියවීම මගේ විශේෂත්වයයි. එය මරණ දැන්වීමක් හෝ කම් නැත. මේ නිසා මා රැකියා කල ස්ථානයේ මාගේ භාෂාවෙන් ඉස්ලාම් සම්බන්ධ පොත් කීපයක් කියවීමට ලැබුණි. එහි “ සත්‍ය ආගම, ඉස්ලාම් හැදින්වීමක්, ආදරණිය අම්මා හා කාන්තා පිරිසිදු කම ” නම් පොත් කියවීමට ලැබුණි. හිත වෙනම පැත්තක් කරා ගමන් කරවීමට මේ පොත් මා ජිවිතේට බලපෑ අපූරුව. “ අල්ලාහ් විසින් පිළිගන්නා එකම දහම ඉස්ලාම් පමණි.” එනම් අන් සියළු ආගමිකයන් අපා ගත වන බවත්ය. සේරම පැත්තක දමා මා ඉස්ලාම් පොත් කියවීමට උනන්දු උනෙමි. තවත් හේතුවක් නම්, කාන්තා පිරිසිදු කම පොත මා සිත් ගත්තෙමි. එයට මා ගොඩක් වෙහෙස වී ඉස්ලාම් පිළිබද මා විසින්ම දැනුම සොයා මා විසින්ම ඉස්ලාම් සත්‍ය බව තහවුරු කර, එය පිළිගෙන අද මා මුස්ලිම් කාන්තාවක් වී සිටිමි.
අතීතයේ සියළු සිදුවීම් හා ප්‍රශ්ණ රාශියට, අද මා මා විසින්ම පිළිතුරු සොයා ගෙන සිටිමි. මා කිසි විටක කිසිම කෙනෙකු ලග ඉස්ලාම් ඉගනගෙන නොමැත. නොදන්නා කරුණු කිපදෙනෙකුගෙන් ඇසුවත්, ඔවුන්ගේ පිළිතුරු මා සිත් ගත්තේ නැත. ඒ ඔවුන්ට ඉස්ලාම්හි මනා අවබෝධයක් නැති කමය. මා දැන් ඉස්ලාම් වැළදගෙන අවුරුදු 10 ගෙවී අවසන්ය. අවුරුදු 7 පෙර මා හට ඉස්ලාම් ප්‍රශ්න විසදා ගැනීමට කවුරුත් නැති වුවත්, මීට අවුරුදු 3 පෙර මා හට ඇති ගැටළු විසදා ගැනීමට ජිවිතේ සමහර හොද පුද්ගලයන්ව මට මුණ ගැසුණි. දැන් මා ඉස්ලාම් පිළිබද මනා අවබෝධයක් ඇති කෙනෙකි.
මෙයට උදාහරණයක් ලෙස, නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාගේ, අපූරු ආදර්ශමත් කියමනක් නම්, “ සෑම දරුවෙක්ම ස්වභාවික වශයෙන් අල්ලාහ්ට අවනත වූ තත්වයකින් උපත ලබයි. එනමුත් පසු කලෙක ඔහුගේ දෙමාපියන් විසින් ඔහු කිතුනුවකු හෝ යුදෙව්වෙකු හෝ මුජිසිවරයෙකු ( ගින්නට නමස්කාර කරන ) බවට පත් කරන්නේය. { බුහාරි හා මුස්ලිම් ග්රන්ථ }.
මිනිසාට මොලයක් හා හදවතක් ඇත්තේ කුමකටද යනු, අද මා මානව අවබෝධ කරගෙන සිටිමි. මේ සියල්ලෙහි අයිතිය අල්ලාහ් සතු වේ. ඔහුයි මට පාර පෙන්වූ කෙනා. සියළු ප්‍රශංසා අල්ලාහ් සතුයි !!!
www.yayuthumaga.com