අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ තව්රාත් (යුදෙව් ආගම), ඉන්ජිල් (කිතුනු දහම) සහ කුර්ආන් යන ආගමික ග්‍රන්ථවල විනිශ්චය දිනය ගැන පැහැදිලිව සඳහන් කොට ඇත. එබැවින් එය අනිවාර්යයෙන්ම සිදු වීමට නියමිතය. විනිශ්චය දිනය සිදු වන්නේ ලෝක අවසානයෙන් පසුය. දෙවියන් නියම කළ දිනයකදී එය සිදු වනු ඇත. එය කවදා සිදුවේදැයි දෙවියන් හැර වෙන කිසිවෙකුට දන්නේ නැත. එහෙත් එම දිනයට පෙර සිදුවීමට නියමිත පෙරනිමිති ගැන සෑම නබිවරයෙකු විසින්ම අනතුරු හඟවා තිබේ. මෙම පෙරනිමිතිවලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදුවී හමාරය. දැන් ඉතිරිව ඇත්තේ නබිතුමා සඳහන් කළ ප්‍රධාන සිදුවීම් දහය පහළ වීමට පමණි.ඇතැම් අයට විනිශ්චය දිනය විහිළුවකි. එබැවින් ඔවුන් එය විශ්වාස කරන්නේ නැත. ඔවුන් මෙලෙස ප්‍රශ්න කරන බව කුරානයේ සඳහන් කොට ඇත.
“මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද වූ පසු අපි නැගිට්ටවනු ලබන්නෙමුද? තවද අපගේ මුතුන්මිත්තන්වත් (නැගිටුවන්නේ) දැයි අසන්නන් ලෙස මොවුන් සිටියහ. නියතව පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත වේලාවක එක්රැස් කරනු ලබන බව නුඹ පවසන්න” (කුරානය 56:47-50).
කුරානයට අනුව මියගිය සියළුදෙනාම ඔවුන්ගේ අනන්‍යතාව සමග නැවත නැගිටවනු ලබන්නේය. ඒ අනුව ඔවුන්ගේ ඇඟිලි තුඩු පවා පෙර තිබුනු පරිදිම සකස් කරනු ඇත.
විනිශ්චය දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසකි. එම දිනයේදී සුර්යයා ඉතා ලඟින් ස්ථාපනය කරනු ලබන බව පැවසේ. එම හේතුවෙන් ජනතාව දහදිය දමා එය තුල ගිලී සිටින්නේය. එහෙත් මෙලොවදී පින් දහම් කළ කණ්ඩායම් හතකට පමණක් එම දිනයේදී දෙවියන්ගේ සිංහාසනයේ සෙවන ලැබෙන බව සඳහන් වේ.
විනිශ්චය දිනය ආරම්භ කරනු ලබන්නේ සෑම කෙනෙකුටම ඔවුන් මෙලොවදී කළ දේවල් ලියා තබන ලද ලේඛනයක් ලබා දීමෙන් පසුවය. එබැවින් කිසිවෙකුට තමන් මෙලොවදී කළ කිසිම දෙයක් සැඟවිය නොහැකිය. ස්වර්ගවාසින්ට එම ලේඛනය දකුණු අතටද නිරා වැසියන්ට එය වම් අතටද ලබා දෙන්නේය. එම ලේඛනය දකුණු අතට ලැබුණු අය ඉතාමත් සතුටට පත්වන අතර අනෙක් අය ඉතාමත් දුකට පත්වනු ඇත. එම විනිශ්චය දිනයේදී කිසිවෙකුට අසාධාරණයක් සිදු කරනු ලබන්නේ නැත. එම දිනයෙදී මුඛයට මුද්‍රා තබා ප්‍රශ්න කරනු ලැබේ. එවිට ඔවුන්ගේ අත් කථා කොට තමන් කළ දේවල් කියා පෙන්වනු ඇත. ඔවුන්ගේ පාද ඊට සාක්ෂි කියනු ඇත. එබැවින් කිසිවෙකුට එම දිනයේදී බොරු කියා බේරීමට ලැබෙන්නේ නැත.
විනිශ්චය දිනයේදී මිනිසා දෙවියන්ගේ අණ පිළිපැදීම ගැන ප්‍රශ්න කිරීමේදී ඇතැම් අයගෙන් එය ඉතා ලිහිල් ආකාරයට සිදු කරනු ලබන බවත් ඇතැම් අයගෙන් ඉතා දරුණු ලෙස සිදු කරනු ලබන බවත් සඳහන් වේ. කෙසේ වෙතත් එම දිනයේදී දෙවියන්ගේ කරුණාව විශ්වාසවන්තයින් සඳහා ඉතා විශාල ලෙස ලැබීමට නියමිතය. ලෞකික ජීවිතයේදී දෙවියන් වෙනුවට වෙනත් දේවල් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිදු වන්නේ ඒවායේ පිහිට පැතීමටය.
එම දිනයේදී මිනිසාටත් දෙවියන්ටත් අතර ඇති දේවල් විනිශ්චය කළ පසු මිනිසා මිනිසාට කළ වැරදි සමතයකට පත් කර ගැනීමෙන් පසුව පමණක් ස්වර්ගයට යෑමට හැකි වන්නේය. ඒ අනුව කෙනෙක් තවත් කෙනෙකුට ණයක් දීමට තිබුනේ නම් එය ගෙවීමට සිදු වන්නේ තමන් කළ කුසල් (පින්) වලිනි. මේ හේතුවෙන් ඇතැම් අය කන්දක් තරම් පින්දහම් කර තිබුනත් ඒවායින් වන්දි ගෙවා අවසාන වූ පසු නරකාදියට යෑමට සිදු වන්නේය.
මෙවැනි විනිශ්චය දිනයක් නොතිබුනේ නම් ඇතැම් අය පවසන අකාරයේ පුනරුත්පත්තියකින් පහත දැක්වෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැත.
- මිනිසෙකු කළ වැරැද්ද නිසා ඔහු මෙලොවදී තිරිසන් සතෙකු වී ඉපදුනේ නම් තිරිසනාට හොඳ නරක නොතේරෙන බැවින්ද තිරිසන් සතුන්ට දහමක් නොමැති නිසා ද නැවත මිනිස් ආත්මයක් ලැබීමට කිසිම අවස්ථාවක් උදා වන්නේ නැත.
- තිරිසන් සතුන් උන්ට ආවේනික ලක්ෂණ අනුව ජිවත් වන බැවින් උන්ට පින් දහම් කළ නොහැකි අතර නැවතත් මිනිස් ආත්මයක් ලැබිය නොහැකිය.
- පුනරුත්පත්තියෙන් බලාපොරොත්තු වන්නේ පෙර ආත්මයේදී සිදු කල වැරදි වලට වන්දි ගෙවා නැවතත් මිනිස් ආත්මයක් ලැබීම නම් ඔහුට පෙර ආත්මයේදී කල වැරදි සියල්ල මතකයේ තිබිය යුතුය. එසේම එම වැරදි සිදු කල පුද්ගලයින් හමුවී තමන් කළ වරදට සමාව ගැනීමට ක්‍රමයක් තිබිය යුතුය. එහෙත් එය ප්‍රායෝගිකව සිදු විය නොහැකිය.
- මෙලොවදී පුනරුත්පත්තිය ලබන එක් කෙනෙක් මිනිස් ආත්මයකද වෙනත් කෙනෙක් තිරිසන් ආත්මයකද උපත ලබන්නේ නම් ඔවුන් කළ වැරදි සමතයකට පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.
- පෙර ආතාමයේදී වැරදි කළ අය නැවත ඉපදුනු පසු එකම කාල වකවානුවේදී හමු නොවූ විටද ඔවුන් කළ වැරදි සමතයකට පත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
කෙසේ වෙතත් ඇතැම් අය පෙර ආත්මය ගැන විස්තර කිරීම අපි දැක ඇත්තෙමු. එසේ සිදු වන්නේ මිනිස් ඇසට නොපෙනෙන ජින්වරුන් සිටින නිසාය. සෑම මිනිසෙකු සමගම ජින් වරුන් සිටින බව නබිතුමා පවසා ඇත. එක් මිනිසෙකුගේ මරණයෙන් පසු එම ජින් වරයාට වෙනත් මිනිසෙකුගේ ශරීරයට ඇතුල් විය හැකිය. එසේ ඇතුල් වීමෙන් කලින් ජිවත් වූ අයගේ වත ගොත මෙම තැනැත්තාගේ මුවින් ප්‍රකාශ කළ හැකිය. මේ නිසා යම් කිසි කෙනෙක් පෙර ආත්මය කිව් පමණින්ම ඔහු කලින් ජිවත් ව සිටි කෙනෙක් යැයි තීරණය කළ නොහැකිය.
ඉහත දැක්වූ අකාරයේ විනිශ්චයකින් පසුව සෑම මිනිසෙකුම ස්වර්ගයට හෝ නිරයට නියම කරනු ලබන්නේය. ස්වර්ගයේ සහ නිරයේ ජිවිතයට කෙළවරක් නොමැත. ඒ අනුව ස්වර්ගවාසින් අසීමිත සතුටටත් නිරා වැසියන් අසීමිත දුකටත් වත්වනු ඇත.
By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.