කපුටාගේ කතාව

(අල්-කුර්ආනයේ සඳහන් සත්‍ය කතා – 1)

අල්-කුර්ආනය 5:27–31

“(නබියේ!) ආදම්ගේ පුතුන් දෙදෙනාගේ පුවත ඔවුන්ට සත්‍ය ලෙස කියා දෙන්න. ඔවුන් දෙදෙනා පූජාවක් (කුර්බානයක්) ඉදිරිපත් කළ විට, ඔවුන්ගෙන් එක් අයෙකුගේ පූජාව පිළිගනු ලැබූ අතර, අනෙක් අයගේ පූජාව පිළිගනු නොලැබීය. එවිට (පූජාව පිළිගනු නොලැබූ තැනැත්තා) ‘මම නියත වශයෙන්ම ඔබව ඝාතනය කරමි’ යැයි පැවසීය. එවිට (අනෙක් තැනැත්තා) ‘අල්ලාහ් පිළිගන්නේ බිය බැතිමතුන්ගෙන් (තාක්වා ඇති අයගෙන්) පමණි’ යැයි පැවසීය.”

“‘ඔබ මාව ඝාතනය කිරීමට ඔබේ අත මා වෙත දිගු කළත්, මම ඔබව ඝාතනය කිරීමට මගේ අත ඔබ වෙත දිගු නොකරමි. මම ලෝකවාසීන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට බිය වෙමි. ඔබ මගේ පාපයත් ඔබේ පාපයත් රැගෙන නිරාගින්නෙහි වාසීන්ගෙන් කෙනෙකු වීම මම කැමැත්තෙමි. අයුක්තිකාරයන්ගේ ප්‍රතිඵලය එයයි.’”

එසේ පැවසූ පසුවත්, තම සහෝදරයා ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහුව පොළඹවා, අවසානයේ ඔහු තම සහෝදරයාව ඝාතනය කළේය. ඒ නිසා ඔහු විනාශයට පත් වූවන් අතරට ඇතුළත් විය.

ඉන්පසු, තම සහෝදරයාගේ මෘත දේහය කෙසේ මිහිදන් කළ යුතුදැයි ඔහුට පෙන්වා දීමට අල්ලාහ් පොළොව හාරමින් පෙන්වන කපුටෙකු යැවීය. එය දුටු ඔහු, “අහෝ! මට සිදු වූ විනාශය! මේ කපුටා මෙන්වත් සිටීමට මට නොහැකි වූයේද? එසේ වූවානම් මගේ සහෝදරයාගේ මෘත දේහය මිහිදන් කළ හැකිව තිබුණි” යැයි පසුතැවිලි විය.


මෙම සිදුවීම අල්-කුර්ආනයේ සඳහන් සත්‍ය කතාවකි. මෙය දරුවන්ට “කපුටාගේ කතාව” ලෙස කියා දිය හැකිය. එහෙත් මෙය කිසිදු කල්පිතයක් හෝ බොරුවක් නොව, අල්ලාහ් විසින් අල්-කුර්ආනයේ සඳහන් කළ සත්‍ය ඉතිහාසයක් බව ඔවුන්ට පැහැදිලි කළ යුතුය.

කපුටා යනු එකමුතුකමේ සංකේතයක් ලෙස සැලකෙන පක්ෂියෙකි. මිනිසා විසින් සිදු කළ පළමු මිනීමැරුම සමඟ කපුටා සම්බන්ධ වූ බව අල්-කුර්ආනය අපට උගන්වයි.

කපුටන් පරිසරය පිරිසිදු කිරීමට ද විශාල දායකත්වයක් ලබා දෙති. ඔවුන් බීජ පැතිරවීමෙන් ගස් වර්ධනයට ද උපකාර කරන බව සඳහන් වේ. මේ තුළින් අල්ලාහ්ගේ මැවීම්වල ප්‍රයෝජන දරුවන්ට අවබෝධ කර දිය හැකි අතර, සතුන්ට සහ පක්ෂීන්ට ආදරය කිරීමටද ඔවුන් පෙළඹවිය හැකිය.

නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමාට පුතුන් දෙදෙනෙක් සිටියහ. ඔවුන් හාබීල් සහ කාබීල් ය. හාබීල් යහපත් ගුණ ඇති පුද්ගලයෙකු වූ අතර, කාබීල් නරක ගුණ ඇති අයෙකි.

දිනක් ඔවුන් අතර ගැටලුවක් ඇති විය. එය විසඳීම සඳහා දෙදෙනාම කුර්බානයක් ඉදිරිපත් කළහ. අල්ලාහ් කාගේ කුර්බානය පිළිගන්නේද, තීරණය ඔහුගේ පාර්ශ්වයට විය යුතු බව තීරණය විය.

එම කාලයේ කුර්බානය පිළිගත් බව පෙන්වීමට අල්ලාහ් අහසින් ගින්නක් යවා එම පූජාව දවා හරින්නට සලස්වනු ලැබීය. එය පිළිගැනීමේ ලකුණ විය.

හාබීල්ගේ කුර්බානය පිළිගනු ලැබීය. කාබීල්ගේ කුර්බානය පිළිගනු නොලැබීය.

එවිට කාබීල් දැඩි කෝපයටත් ඊර්ෂ්‍යාවටත් පත් විය. “මගේ කුර්බානය පිළිගත්තේ නැහැ. ඔහුගේ කුර්බානය පමණක් පිළිගත්තා” යැයි සිතා තම සහෝදරයාට, “මම නියත වශයෙන්ම ඔබව මරා දමමි” යැයි පැවසීය.

හාබීල් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය:

“මම ඔබට කුමක් කළේද? ඔබ තුළ අල්ලාහ් පිළිබඳ බිය (තාක්වා) තිබුණා නම් ඔබගේ කුර්බානයත් පිළිගන්නා ලදී. වැරැද්ද ඔබේ සිත තුළයි.”

එසේම ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

“ඔබ මාව මරා දැමීමට උත්සාහ කළත්, මම ඔබට එරෙහිව එසේ නොකරමි. මම අල්ලාහ්ට බිය වෙමි. ඔබ මාව ඝාතනය කළහොත්, ඔබ ඔබේ පාපයත් මගේ පාපයත් දරා ගන්නා අතර, ඔබේ පරලොව ජීවිතය විනාශ කර ගන්නෙහිය.”

මෙතරම් අවවාද කළත්, කාබීල් තම සහෝදරයා ඝාතනය කළේය. එය මිනිස් ඉතිහාසයේ සිදු වූ පළමු මිනීමැරුම විය.

ඝාතනයෙන් පසු, සහෝදරයාගේ මෘත දේහය කුමක් කළ යුතුදැයි නොදැන ඔහු අසරණ විය.

එවිට අල්ලාහ් කපුටෙකු යවා, එය පොළොව හාරමින් තවත් මියගිය කපුටෙකු වසා දමන ආකාරය ඔහුට පෙන්වීය.

එය දුටු කාබීල් පසුතැවී,

“අහෝ! මේ කපුටා මෙන්වත් වීමට මට නොහැකි වූයේද? මගේ සහෝදරයාගේ මෘත දේහය මිහිදන් කරන ආකාරයවත් මම නොදැන සිටියෙමි” යැයි කනගාටු විය.

මේ අනුව, මිනිසාට මෘත දේහයක් මිහිදන් කරන ආකාරය ඉගැන්වූයේ කපුටෙකු බව මෙම සිදුවීමෙන් අපට වැටහේ.

මෙම කතාවෙන් දරුවන්ට උගන්විය හැකි පාඩම්

  • ඊර්ෂ්‍යාවෙන් වැළකිය යුතුය.
  • අනවශ්‍ය කෝපය පාලනය කළ යුතුය.
  • ඉක්මන් තීරණ නොගත යුතුය.
  • රළු හා හිංසාකාරී හැසිරීමෙන් වැළකිය යුතුය.
  • අන් අයට හානි නොකළ යුතුය.
  • “මට නොලැබුණු දෙය වෙනත් කෙනෙකුටත් නොලැබිය යුතුය” යන වැරදි සිතිවිල්ලෙන් වැළකිය යුතුය.
  • අල්ලාහ් පිළිගන්නේ තාක්වා (දේවභීතිය) ඇති අයගේ ක්‍රියාවන් බව මතක තබා ගත යුතුය.
  • සෑම මැවීමකම අල්ලාහ්ගේ ප්‍රඥාව සහ ප්‍රයෝජනයක් තිබෙන බව අවබෝධ කර ගත යුතුය.

අල්-කුර්ආනයේ සඳහන් කතා – 2

ආදරණීය මල්ලීලා සහ නංගීලා!

ඔබලාට අලියා කියන්නේ ගොඩක් ආස සතෙක් නේද? ඔව්. ගොඩබිම ජීවත් වන සතුන් අතරින් විශාලතම සත්වයා අලියාය. එය ඉතා බලවත් සතෙකි. අලියාගේ බලය එහි සොඬෙහි ඇති බව කියනු ලැබේ. ඒ ආකාරයෙන්ම, අපගේ සැබෑ ශක්තිය ඇත්තේ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය (ඊමානය) තුළය.

ඇත් සේනාව

අල්-කුර්ආනයේ විනාශ කරන ලද අලි හමුදාවක් පිළිබඳ කතාවක් සඳහන් වේ.

ඒ කුමක්ද? එම හමුදාව විනාශ කරනු ලැබුවේ ඇයි?

එය දැනගැනීමට කැමතිද? එහෙනම් අපි මේ කතාවට පිවිසෙමු.

මක්කා යනු ඉතා පූජනීය භූමියක් බව ඔබ දන්නවා. එය “උම්මුල් කුරා” (නගරයන්ගේ මව) යන නාමයෙන්ද හඳුන්වනු ලැබේ. එහිම පිහිටා ඇත්තේ ඉතා පැරණි හා පූජනීය දේව මන්දිරය වන කඅබාව ය.

ඒ කාලයේ යේමනයේ අබ්රහා නම් රජෙකු පාලනය කළේය. ඔහු සනා නගරයේ ඉතා විශාල හා අලංකාර පල්ලියක් ඉදිකර, මිනිසුන් කඅබාවට යෑම අත්හැර එම පල්ලියට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු නොවීය.

කඅබාවේ ගෞරවය අඩු කිරීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක විය. එම අතර, ඔහුගේ කුමන්ත්‍රණයට කෝපයට පත් සමහර අය එම පල්ලියට හානි කළහ.

එයින් කෝපයට පත් අබ්රහා, “මම කඅබාව සම්පූර්ණයෙන්ම විනාශ කළහොත්, ඉන්පසු මිනිසුන් මගේ පල්ලියටම පැමිණෙනු ඇත” යැයි සිතුවේය.

එක් දිනක් ඔහු විශාල අලි හමුදාවක් සමඟ මක්කා දෙසට ගමන් කළේය. කඅබාවට ගෞරව කළ සමහර අරාබිවරු ඔහුට එරෙහිව සටන් කළත්, ඔවුන් පරාජයට පත් වූහ.

අබ්දුල් මුත්තලිබ්

මක්කා අසලට පැමිණි අබ්රහාගේ හමුදාව එහි තිබූ සතුන් අල්ලා ගත්තේය. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් තුමාට අයත් ඔටුවන් 200ක්ද ඔවුන් අල්ලා ගත්හ.

අබ්රහා මක්කා වැසියන්ට පණිවිඩයක් යැවීය.

“ඔබලා සමඟ සටන් කිරීමට මට අවශ්‍ය නැහැ. මගේ අරමුණ කඅබාව විනාශ කිරීම පමණයි.”

මක්කාවේ නායකයා වූ අබ්දුල් මුත්තලිබ් තුමා අබ්රහා හමුවීමට ගියේය.

ඔහුගේ ගෞරවනීය පෙනුම හා වයස දැක අබ්රහා ඔහුට ගෞරව කළේය.

අබ්දුල් මුත්තලිබ් තුමා මෙසේ පැවසීය:

“ඔබගේ හමුදාපතිවරු මගේ ඔටුවන් 200ක් අල්ලාගෙන තිබෙනවා. කරුණාකර ඒවා මට ආපසු දෙන්න.”

මෙය ඇසූ අබ්රහා පුදුම වී මෙසේ පැවසීය:

“මම ඔබගේ කඅබාව විනාශ කිරීමට පැමිණ තිබෙනවා. ඔබ ඒ ගැන කතා කරයි කියලා මම හිතුවා. නමුත් ඔබ කතා කරන්නේ ඔබගේ ඔටුවන් ගැනයි!”

එවිට අබ්දුල් මුත්තලිබ් තුමා ඉතා විශ්වාසයෙන් මෙසේ පිළිතුරු දුන්නේය:

“ඔටුවන්ගේ අයිතිකරු මමයි. ඒ නිසා මම ඒ ගැන කතා කරනවා. නමුත් මේ කඅබාවට අයිතිකරු අල්ලාහ්ය. එය ආරක්ෂා කරන්නේ ඔහුමයි.”

අබ්දුල් මුත්තලිබ් තුමාට ඔහුගේ ඔටුවන් ආපසු ලබා දෙන ලදී.

ඉන්පසු ඔහු කඅබාව වෙත ගොස් අල්ලාහ්ගෙන් ආරක්ෂාව ප්‍රාර්ථනා කළේය.

“මෙම හමුදාවට මුහුණ දීමට අපට ශක්තියක් නැත” යැයි පවසා අල්ලාහ්ගෙන් උපකාර ඉල්ලා සිටියේය.

ඉන්පසු ජනතාවට කඳු මුදුන්වලට යන ලෙස උපදෙස් දුන්නේය.

මේ අතර, අලි හමුදාව අහංකාරයෙන් කඅබාව දෙසට ගමන් කරමින් සිටියේය.

හදිසියේම, හමුදාවේ ප්‍රධාන අලියා කඅබාව දෙසට යාම ප්‍රතික්ෂේප කළේය.

එය යේමනය දෙසට හරවා ගත් විට ගමන් කළද, කඅබාව දෙසට හරවා ගත් විට බිම වැතිර ගත්තේය. කොපමණ උත්සාහ කළත් එය ඉදිරියට ගෙන යාමට නොහැකි විය.

අබාබීල් පක්ෂීන්

එම අවස්ථාවේදී, අබාබීල් නම් කුඩා පක්ෂීන් දහස් ගණනක් කණ්ඩායම් වශයෙන් පැමිණියහ.

ඔවුන්ගේ හොටවලත් පාදවලත් කුඩා ගල් කැට තිබුණි.

ඔවුන් එම ගල් කැට අලි හමුදාව මත හෙළූහ.

ඒ ගල් වැදුණු සොල්දාදුවන් විනාශ වූහ.

අහංකාරයෙන් පැමිණි අලි හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ විය. අබ්රහාද එම හමුදාව සමඟ විනාශයට පත් විය.

මෙම සිදුවීමෙන් කඅබාවේ ගෞරවය සහ පූජනීයත්වය තවදුරටත් ඉහළ ගියේය.

ඉන්ෂාඅල්ලාහ්, ලෝක විනාශය ආසන්න වන තෙක් කිසිවෙකුට කඅබාවට හානි කළ නොහැක.

ලෝක විනාශයට ආසන්න කාලයේදී පමණක් කඅබාව විනාශ කරනු ලැබේ.

අලි හමුදාව විනාශ වූ එම වසර “ආමුල් ෆීල්” (අලි වර්ෂය) ලෙස හැඳින්වේ.

අවසන් දූතයා වන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා උපත ලැබුවේද එම වසරේය.

අල්ලාහ් මෙම සිදුවීම සූරා අල්-ෆීල් (105 වන පරිච්ඡේදය) තුළ මෙසේ සඳහන් කරයි:

“අලි හමුදාවේ අය සමඟ ඔබේ පරමාධිපති කෙසේ ක්‍රියා කළේදැයි ඔබ නොදුටුවෙහිද?”

“ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු නිෂ්ඵල කළේ නැද්ද?”

“ඔවුන් වෙත කණ්ඩායම් වශයෙන් පක්ෂීන් එවීය.”

“ඒවා පිළිස්සූ මැටි ගල් ඔවුන් මත හෙළූහ.”

“එවිට ඔවුන් කා දමා ඉතිරි වූ වියළි පිදුරු මෙන් කළේය.”
(සූරා අල්-ෆීල් 105:1–5)

මූසා නබිතුමා සහ… අද්භූත සර්පයා…

(අල්-කුර්ආනයේ සඳහන් කතා – 3)

මූසා (අලෙයිහිස් සලාම්) තුමා අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ නබිවරයෙකි. අල්ලාහ් ඔහුට තව්රාත් ග්‍රන්ථය පිරිනැමූ අතර, ඉස්රායීල් ජනතාව වෙත දේවදූතයෙකු ලෙස එවනු ලැබීය.

දිනක් මූසා (අලෙයිහිස් සලාම්) තුමා තම බිරිඳ සමඟ මිසරය බලා ගමන් කරමින් සිටියේය. මඟදී රාත්‍රිය උදා විය. එවිට දුරින් ආලෝකයක් දිස් විය.

“එම ස්ථානයේ මිනිසුන් සිටිය හැකිය. ඔවුන්ගෙන් මඟ පිළිබඳ හෝ වෙනත් උපකාරයක් ලබාගත හැකිය. එසේත් නැත්නම් ගින්නක් රැගෙන ඒමටත් හැකි වේවි” යැයි ඔහු සිතුවේය.

එබැවින්, තම බිරිඳ එක් තැනක නතර කර, එම ආලෝකය දෙසට ගමන් කළේය.

එහි ගිය විට ඔහු අතිවිශිෂ්ට සිදුවීමක් දුටුවේය.

එහි කිසිදු මිනිසෙකු නොසිටියේය. එහෙත් දීප්තිමත් ආලෝකයක් තිබුණි. එහිදී අල්ලාහ් මූසා (අලෙයිහිස් සලාම්) තුමා සමඟ සෘජුවම කතා කළේය.

අල්ලාහ් මෙසේ පැවසීය:

“මූසා! සැබැවින්ම මම ඔබගේ පරමාධිපතියි. ඔබ දැන් සිටින්නේ ‘තුවා’ නම් පූජනීය මිටියාවතේය. එබැවින් ඔබගේ පාවහන් ගලවා දමන්න.”

මෙය මූසා (අලෙයිහිස් සලාම්) තුමාට මහත් ආශ්චර්යයක් විය.

ඉන්පසු අල්ලාහ් තවදුරටත් මෙසේ පැවසීය:

“මූසා! සැබැවින්ම අපි ඔබව නබිවරයෙකු ලෙස තෝරාගෙන ඇත. මම පමණක් නමස්කාරයට සුදුස්සා වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නැත. එබැවින් ඔබ මා පමණක් නමස්කාර කරන්න. අවසන් දිනය (පරලොව) නියත වශයෙන්ම පැමිණේ. මෙම පණිවිඩය ඉස්රායීල් ජනතාවට දන්වන්න.”

අල්ලාහ් තම දූතයන් යවන විට, ඔවුන්ගේ සත්‍යභාවය තහවුරු කිරීම සඳහා විශේෂ ආශ්චර්යයන් ද පිරිනමයි. එවැනි ආශ්චර්යයන් මුආජිසා (Muʿjizah) ලෙස හැඳින්වේ.

මූසා (අලෙයිහිස් සලාම්) තුමාගේ අතේ සැරයටියක් තිබුණි.

අල්ලාහ් ඔහුගෙන් මෙසේ විමසීය:

“මූසා! ඔබගේ දකුණු අතේ තිබෙන්නේ කුමක්ද?”

අල්ලාහ් සමඟ කතා කිරීම මූසා (අලෙයිහිස් සලාම්) තුමාට මහත් සතුටක් ගෙන දුන්නේය.

ඔහු මෙසේ පිළිතුරු දුන්නේය:

“මෙය මගේ සැරයටියයි. මම එය මත හේත්තු වෙමි. මගේ බැටළුවන් සඳහා කොළ සහ අතු පහළට ඇද ගැනීමටද එය භාවිතා කරමි. තවත් බොහෝ අවශ්‍යතා සඳහාද එය මට ප්‍රයෝජනවත් වේ.”

එවිට අල්ලාහ් මෙසේ පැවසීය:

“මූසා! ඔබගේ සැරයටිය බිම දමන්න.”

මූසා (අලෙයිහිස් සලාම්) තුමා එය බිම දැමූ විට, එය විශාල සර්පයෙකු බවට පත් විය.

සර්පයෙකු දුටු විට බලවත් මිනිසුන්ද බිය වන බව අපි දනිමු. මූසා (අලෙයිහිස් සලාම්) තුමාද බියට පත් වී පසුපසට යාමට උත්සාහ කළේය.

එවිට අල්ලාහ් වහාම මෙසේ පැවසීය:

“මූසා! බිය නොවන්න. එය අතට ගන්න. අපි එය නැවත පෙර තිබූ සැරයටිය බවට පත් කරන්නෙමු.”

මූසා (අලෙයිහිස් සලාම්) තුමා එය අතට ගත් විට, එය නැවත සැරයටියක් බවට පත් විය.

මෙම විශ්මිත ආශ්චර්යය අල්ලාහ් මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ලබා දුන්නේ, ඉස්රායීල් ජනතාව අතර ඔහුගේ දූත මෙහෙවර තහවුරු කිරීම සඳහාය.

සැරයටිය සර්පයෙකු බවට පත් වූ මෙම ආශ්චර්යමත් සිදුවීම අල්-කුර්ආනයේ පහත ස්ථානවල සඳහන් වේ:

  • සූරා තාහා (20:9–21)
  • සූරා අන්-නම්ල් (27:7–13)
  • සූරා අල්-කසස් (28:29–31

සාලිහ් නබිතුමා සහ අද්භූත ඔටුවා (අල් කුර්ආනයේ සඳහන් සත්‍ය කථා – 4)

“ඔටුවා කෙසේ නිර්මාණය කර තිබේදැයි ඔවුන් නොබලන්නේද?” යැයි අල් කුර්ආනය ප්‍රශ්න කරයි. ඔටුවා අල්ලාහ්ගේ විස්මිත නිර්මාණවලින් එකකි. එය කාන්තාර ගමන් සඳහා ඉතා සුදුසු සත්වයකි. ඒ නිසා එය “කාන්තාරයේ නැව” ලෙසද හැඳින්වේ.

ඉතා පැරණි කාලයක සමූද් (Thamūd) නම් ජනතාවක් ජීවත් වූහ. අල්ලාහ් ඔවුන්ට මහත් ධනයද ශක්තිමත් ශරීර බලයද ලබා දී තිබුණි. ඔවුහු කඳු කපා අලංකාර නිවාස සාදා එහි ජීවත් වූහ. අල්ලාහ්ගේ ආශීර්වාද භුක්ති විඳි ඔවුහු පසුව උඩඟු වූහ. “අපව කිසිවෙකුට පරාජය කළ නොහැක” යන අහංකාර සිතින් ජීවත් වූහ.

එම ජනතාවට සත්‍යය ඉගැන්වීම සඳහා අල්ලාහ් සාලිහ් (අලෙයිහිස් සලාම්) නබිතුමාව යැව්වේය. නබිතුමා ඔවුන්ට අල්ලාහ්ට පමණක් නමස්කාර කරන ලෙස දේශනා කළහ. එහෙත් උඩඟු සහ අහංකාර වූ ඔවුහු එම දේශනාව පිළිගත්තේ නැත.

සාලිහ් නබිතුමාව පිළිගත්තේ එම සමාජයේ දුර්වල හා සාමාන්‍ය ජනතාව පමණි. එය හේතුවක් කරගෙන අහංකාර නායකයෝ සත්‍යයට විරුද්ධ වූහ. ඔවුහු, “ඔබ සැබෑ නබිවරයෙකු නම් එයට සාක්ෂියක් පෙන්වන්න. මේ පර්වතයෙන් අද්භූත ලෙස ඔටුවෙකු පිටතට පැමිණිය යුතුය” යැයි ඉල්ලා සිටියහ.

සාලිහ් නබිතුමා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. අල්ලාහ්ගේ අවසරයෙන් අද්භූත ඔටුවා ප්‍රකාශ විය. එහෙත් එය දැකත් ඔවුන් සත්‍යය පිළිගත්තේ නැත.

එවිට සාලිහ් නබිතුමා මෙසේ අවවාද කළහ: “මෙය අල්ලාහ්ගේ ඔටුවාය. එයට කිසිදු හානියක් නොකරන්න. නගරයේ ළිඳෙන් එයට ජලය පානය කිරීමට ඉඩ දෙන්න. එය පොළොවේ නිදහසේ තණකොළ කෑමට ඉඩ හරින්න. එයට හානි කළහොත් අල්ලාහ්ගේ දඬුවම ඔබ වෙත පැමිණෙනු ඇත.”

එහෙත් එම නගරයේ සිටි කැරලිකාරයන් නව දෙනෙක් එකතු වී එම අද්භූත ඔටුවා මරා දැමූහ. එපමණක් නොව, “ඔබ අපට බිය ගැන්වූ දඬුවම ගෙන එන්න. අපි බලමු!” යැයි සාලිහ් නබිතුමාට අභියෝග කළහ.

එවිට සාලිහ් නබිතුමා, “ඔබට තවත් දින තුනක කාලයක් ඇත. ඉන් පසු ඔබ විනාශ කරනු ලබනු ඇත” යැයි පැවසූහ.

සමූද් ජනතාව තමන්ගේ ගල් කඳු තුළ කැටයම් කළ නිවාස තමන්ව ආරක්ෂා කරනු ඇතැයි සිතා සිටියහ.

දින තුන අවසන් වූ පසු, මහත් ගිගුරුම් හඬක් සමඟ අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පැමිණියේය. ඔවුහු තම නිවාස ඇතුළේම මළ සිරුරු බවට පත්ව සිටියහ.

එම ජනතාව විනාශ වූ ප්‍රදේශය අදත් මදාඉන් සාලිහ් (Madā’in Ṣāliḥ) නමින් ප්‍රසිද්ධව පවතී.

කුහුඹුවාගේ කතාව (අල් කුර්ආනයේ සඳහන් සත්‍ය කථා – 5)

අල්ලාහ් මෙසේ පවසයි:

“සුලෙයිමාන් දාවූද්ගේ උරුමක්කාරයා විය. ඔහු මෙසේ පැවසීය: ‘අහෝ මිනිසුනි! අපට පක්ෂීන්ගේ භාෂාව උගන්වා ඇත. තවද අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දී ඇත. නියත වශයෙන්ම මෙය පැහැදිලි මහත් වරප්‍රසාදයකි.’”

“ජින්වරුන්ගෙන්, මිනිසුන්ගෙන් හා පක්ෂීන්ගෙන් සමන්විත සුලෙයිමාන්ගේ හමුදාව ඔහු වෙත එක්රැස් කරනු ලැබූ අතර, ඔවුන් පිළිවෙළින් පෙළගස්වා තබන ලදී.”

“ඔවුන් කුහුඹුවන්ගේ නිම්නයට පැමිණි විට, එක් කුහුඹුවෙකු මෙසේ පැවසීය: ‘අහෝ කුහුඹුවනි! ඔබේ වාසස්ථානවලට ඇතුළු වන්න. නැතහොත් සුලෙයිමාන් සහ ඔහුගේ හමුදාව නොදැනුවත්වම ඔබව පාගා දමනු ඇත.’”

“එවිට එහි කතාව ඇසූ සුලෙයිමාන් සිනහවෙන් පිරි පිනිමුසු මුහුණක් පෙන්වා මෙසේ ප්‍රාර්ථනා කළේය: ‘මාගේ පරමාධිපතියාණෙනි! ඔබ මා හා මාගේ දෙමාපියන්ට ලබා දුන් ඔබගේ ආශීර්වාදයට ස්තුති කිරීමටත්, ඔබ සතුටු වන යහපත් ක්‍රියාවන් කිරීමටත් මට ශක්තිය ලබා දෙන්න. ඔබගේ කරුණාවෙන් ඔබගේ යහපත් ගැත්තන් අතරට මාද ඇතුළත් කරනු මැනවි.’”
(සූරා අන්-නම්ල් 27:16–19)

මෙම අල් කුර්ආනීය සිදුවීම සුලෙයිමාන් (අලෙයිහිස් සලාම්) නබිතුමා හා සම්බන්ධ වූ කුහුඹුවාගේ කතාව ලෙස දරුවන්ට පහසුවෙන් පැහැදිලි කළ හැකිය.

අල්ලාහ් සුලෙයිමාන් නබිතුමාට අතිවිශාල රාජ්‍යයක් හා බලයක් ලබා දුන්නේය. එමෙන්ම පක්ෂීන්ගේ සහ අනෙකුත් සතුන්ගේ භාෂාවන් තේරුම් ගැනීමේ විශේෂ දැනුමද ඔහුට ලබා දුන්නේය.

දිනක් සුලෙයිමාන් නබිතුමා තම හමුදාව සමඟ ගමන් කරමින් සිටියදී කුහුඹුවන් ජීවත් වූ නිම්නයක් අසලට පැමිණියේය. එවිට එක් කුහුඹුවෙකු තම සගයන්ට මෙසේ පැවසීය:

“අහෝ කුහුඹුවනි! ඉක්මනින් ඔබේ ගුහාවලට ඇතුළු වන්න. සුලෙයිමාන් සහ ඔහුගේ හමුදාව පැමිණෙමින් සිටිති. ඔවුන් නොදැනුවත්වම ඔබව පාගා දමනු ඇත.”

අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් සුලෙයිමාන් නබිතුමාට එම කුහුඹුවාගේ කතාව ඇසුණි. එහි අර්ථයද ඔහු තේරුම් ගත්තේය. එවිට ඔහු සිනාසෙමින්, අල්ලාහ් තමන්ට ලබා දුන් රාජ්‍යය හා දැනුම වෙනුවෙන් කෘතඥතාව පළ කළේය.

මෙම කුහුඹුවාගේ කතාව තුළින් දරුවන්ට කුහුඹුවන්ගේ එකමුතුකම, ක්‍රියාශීලී බව, උනන්දුව, විනය, වගකීම් ඉටු කිරීම සහ සංවිධානාත්මක බව වැනි යහපත් ගුණාංග ඉගැන්විය හැකිය.

තම සග කුහුඹුවන් අනතුරට පත් නොවීමට කුහුඹුවා දැක්වූ සැලකිල්ල මගින්, සමාජ වගකීම, අන් අයගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම සහ එකිනෙකාට උපකාර කිරීමේ වැදගත්කම ද දරුවන්ට අවබෝධ කර දිය හැකිය.

එසේම, අල්ලාහ් සුලෙයිමාන් නබිතුමාට මහත් රාජ්‍යයක්, බලය, දැනුම, ධනය සහ සෞභාග්‍යය ලබා දුන්නද, ඔහු කිසිවිටෙක අහංකාර වූයේ නැත. මේ සියල්ල ලබා දුන්නේ අල්ලාහ් බව ඔහු හොඳින් දැන සිටියේය. ඒවා අල්ලාහ්ගේ කරුණාව ලෙස සලකා, නිහතමානීව ජීවත් වූ අතර, සෑම විටම අල්ලාහ්ට කෘතඥතාව පළ කළේය.

අපද අල්ලාහ් අපට ලබා දී ඇති සියලු ආශීර්වාද වෙනුවෙන් කෘතඥ වන, නිහතමානීව ජීවත් වන අය බවට පත්විය යුතු බව මෙම කතාව අපට උගන්වයි.

සුලෙයිමාන් නබිතුමා සහ හුද්හුද් පක්ෂියා (අල් කුර්ආනයේ සඳහන් සත්‍ය කථා – 6)

අල්ලාහ් මෙසේ පවසයි:

“(සුලෙයිමාන්) පක්ෂීන් පරීක්ෂා කරමින්, ‘මට කුමක් වීද? හුද්හුද් පක්ෂියා මට නොපෙනෙන්නේ ඇයි? නැතහොත් එය නොපැමිණි අය අතර සිටින්නේද?’ යැයි පැවසීය.”

“‘නියත වශයෙන්ම මම එයට දැඩි දඬුවමක් දෙමි. නැතහොත් එය මරා දමමි. නැතහොත් එය නොපැමිණීමට පැහැදිලි සාක්ෂියක් මා වෙත ගෙන ආ යුතුය.’”

ටික වේලාවකට පසු එය පැමිණ, ‘ඔබ නොදන්නා කරුණක් මම දනිමි. මම සබා (Saba’) නම් දේශයෙන් ස්ථිර තොරතුරක් රැගෙන ඔබ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය.”

“‘ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටුවෙමි. ඇයට අවශ්‍ය සියලු සම්පත් ලබා දී ඇත. තවද ඇයට අතිවිශාල සිංහාසනයක්ද ඇත.’”

“‘ඇයත් ඇගේ ජනතාවත් අල්ලාහ් වෙනුවට සූර්යයාට සුජූද් කරන බව මම දුටුවෙමි. ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාර කර පෙන්වා, සෘජු මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එබැවින් ඔවුන් යහමඟ නොලබති.’”

“‘අහස් හා පොළොවේ සැඟවුණු දේ හෙළි කරන, ඔබ සඟවන දේත් ප්‍රකාශ කරන දේත් දන්නා අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකළ යුතුද?’”

“‘සැබැවින්ම නමස්කාරයට සුදුසු දෙවියන් වහන්සේ අල්ලාහ් පමණි. ඔහු මහත් අර්ෂ්හි ස්වාමියාය.’”

එවිට සුලෙයිමාන් නබිතුමා මෙසේ පැවසීය: ‘ඔබ සත්‍යය පැවසුවේද? නැතහොත් ඔබ බොරුකාරයන් අතරද? අපි එය පරීක්ෂා කර බලමු.’”

“‘මගේ මෙම ලිපිය රැගෙන ඔවුන් වෙත ගොස් එය ඔවුන්ට භාර දෙන්න. ඉන්පසු මඳක් ඉවත්ව ඔවුන් කුමක් තීරණය කරන්නේදැයි බලා සිටින්න.’”

එවිට සබා රැජින මෙසේ පැවසුවාය: ‘අහෝ ප්‍රභූවරුනි! මට ඉතා වැදගත් ලිපියක් ලැබී ඇත.’”

“‘එය සුලෙයිමාන්ගෙන් ලැබී ඇත. එය “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන වදනින් ආරම්භ වේ.’”

“‘මා ඉදිරියේ උඩඟු නොවන්න. මුස්ලිම්වරුන් ලෙස මා වෙත පැමිණෙන්න’ යනුවෙන් එහි ලියා ඇත.”

ඇය තම ප්‍රභූවරුන්ගෙන් මෙසේ ඇසුවාය: ‘මේ කාරණය පිළිබඳව ඔබගේ උපදෙස් මට දෙන්න. ඔබගේ අදහස නොමැතිව මම කිසිදු තීරණයක් නොගනිමි.’”

ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ: ‘අපි බලවත් අය වෙමු. අපට සටන් කිරීමටද හැකියාව ඇත. නමුත් තීරණය ඔබ සතුය. ඔබ අණ කරන දේ අපි ඉටු කරන්නෙමු.’”

එවිට රැජින මෙසේ පැවසුවාය: ‘රජවරුන් යම් නගරයකට ඇතුළු වූ විට එය විනාශ කරති. එහි ගෞරවණීය ජනතාව නින්දිත තත්ත්වයට පත් කරති. ඔවුන්ද එසේම කරනු ඇත.’”

“‘එබැවින් මම ඔවුන් වෙත තෑග්ගක් යවා, දූතයන් කුමන පිළිතුරක් රැගෙන එනවාදැයි බලා සිටින්නෙමි.’”

දූතයන් සුලෙයිමාන් නබිතුමා වෙත පැමිණි විට, ඔහු මෙසේ පැවසීය: ‘ඔබ ධනයෙන් මට උදව් කිරීමටද? අල්ලාහ් මට ලබා දී ඇති දේ, ඔබට ලබා දී ඇති දේට වඩා ශ්‍රේෂ්ඨය. ඔබේ තෑගි ගැන සතුටු විය යුත්තේ ඔබමය.’”

“‘ඔවුන් වෙත ආපසු යන්න. ඔවුන්ට මුහුණ දිය නොහැකි හමුදාවක් සමඟ අපි ඔවුන් වෙත පැමිණෙන්නෙමු. ඔවුන් නින්දාවට පත් කර එම දේශයෙන් පිටුවහල් කරන්නෙමු.’”
(සූරා අන්-නම්ල් 27:20–37)

මෙම සිදුවීම තවත් දිගු කතාවකි. දිනක් සුලෙයිමාන් (අලෙයිහිස් සලාම්) නබිතුමා තම පක්ෂි හමුදාවේ සිටි හුද්හුද් පක්ෂියා නොපැමිණි බව දුටුවේය. ටික වේලාවකට පසු එය පැමිණ, තම ප්‍රමාදයට හේතුව පැහැදිලි කළේය.

එය සබා නම් රාජ්‍යය ගැනත්, එහි පාලනය කළ රැජිනක් ගැනත් සුලෙයිමාන් නබිතුමාට දැනුම් දුන්නේය. එම රටට සියලු සම්පත් තිබුණද, රැජින සහ ඇගේ ජනතාව අල්ලාහ් වෙනුවට සූර්යයාට නමස්කාර කරන බව එය පැවසීය. ඔවුන් නමස්කාර කළ යුත්තේ අල්ලාහ්ට පමණක් බවද හුද්හුද් පක්ෂියා සඳහන් කළේය.

මෙම හුද්හුද් පක්ෂියාගේ විශ්වාසය සහ ආගමික හැඟීම අප දරුවන් තුළද ඇති කළ යුතුය. නමස්කාරයට සුදුසු වන්නේ අල්ලාහ් පමණි. සූර්යයා, සඳ, පොළොව, ගස් හෝ වෙනත් කිසිවක් නමස්කාරයට සුදුසු නොවේ. මේ සියල්ල නිර්මාණය කළ අල්ලාහ් පමණක් නමස්කාරයට සුදුස්සාය. හුද්හුද් පක්ෂියා මේ සත්‍යය හොඳින් දැන සිටියේය. මිනිසුන් සූර්යයාට නමස්කාර කිරීම පවා එයට පිළිගත නොහැකි දෙයක් විය.

පසුව සුලෙයිමාන් නබිතුමා හුද්හුද් පක්ෂියා මඟින් සබා රැජින වෙත ලිපියක් යැව්වේය. එම ලිපිය ලැබුණු පසු ඔවුන් කුමක් සාකච්ඡා කරන්නේදැයි නිරීක්ෂණය කර නැවත වාර්තා කරන ලෙසද එයට උපදෙස් දුන්නේය.

හුද්හුද් පක්ෂියා ගෙන ආ නිවැරදි තොරතුරු අනුව සුලෙයිමාන් නබිතුමා කටයුතු කළ අතර, අවසානයේ සබා රැජින ඉස්ලාමය පිළිගත් බව සූරා අන්-නම්ල් (27:38–44) ආයත්වල සඳහන් වේ.

මෙම කතාවෙන් අප ඉගෙන ගත යුත්තේ, ඉස්ලාමයේ සත්‍ය විශ්වාසය මත ස්ථිරව සිටීමත්, එම සත්‍යය අන් අයටද ප්‍රඥාවෙන් හා යහපත් ආකාරයෙන් පැහැදිලි කිරීමත් මුස්ලිම්වරයෙකුගේ වගකීම බවයි.

By: Asshaikh Ismail Salafi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *