සකල ලෝකයට අල්ලාහ්ගේ කරුණාව ලෙස එවනු ලැබූ අවසාන දූතයාණන් මුහම්මද් ﷺ තුමාණන්ගේ උතුම් ගුණාංග ලොවට හඳුන්වා දෙමු. 

01. අල්ලාහ්ගේ දූතයාණන් ﷺ සියලු මිනිසුන් අතරින් ඉතාමත් සුන්දර මුහුණක් සහ මනා සිරුරක් හිමි තැනැත්තා වූහ. ඔවුන් අධික ලෙස උසද නොවූහ, ඉතා කෙටියද නොවූහ. වාර්තාකරු: බරාඉ ඉබ්නු ආසිබ් (රළි). (බුහාරි: 3549)


02. නබි ﷺ තුමාණන් මිනිසුන් අතරින් වඩාත්ම ත්‍යාගශීලී වූහ. රමළාන් මාසයේදී ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා ඔවුන් හමුවීමට පැමිණෙන විට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය තවත් වැඩි විය. ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) සෑම රාත්‍රියකම පැමිණ අල්-කුර්ආනය ඔවුන් සමඟ පුනරාවර්තනය කළහ. එම අවස්ථාවේ නබි ﷺ තුමාණන් අඛණ්ඩව හමන වැසි සුළඟටත් වඩා යහපත බෙදා දෙන අය වූහ.
වාර්තාකරු: ඉබ්නු අබ්බාස් (රළි). (බුහාරි: 3549)


03. එක් අවස්ථාවක නබි ﷺ තුමාණන්ගේ මුහුණ ප්‍රීතියෙන් දිලිසෙමින් තිබුණි. එවිට ඔවුන් මෙසේ පැවසූහ: “මුද්ලිජී (පරම්පරාව හඳුනාගන්නා පුද්ගලයා) සයිද් සහ ඔහුගේ පුත්‍රයාගේ පාද දැක, ‘මෙම පාද එකම පරම්පරාවකට අයත්ය’ යැයි පැවසූ බව ඔබට ආරංචි නොවුණාද?” වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 3555)


04. නබි ﷺ තුමාණන් මිනිසුන් අතරින් වඩාත්ම රූමත්, වඩාත්ම ධෛර්යවන්ත සහ වඩාත්ම ත්‍යාගශීලී වූහ. එක් වරක් මදීනාවට සතුරන් පැමිණෙන බවට ආරංචියක් පැතිර ගිය විට, මිනිසුන්ට පෙර නබි ﷺ තුමාණන්ම අශ්වයෙකු පිට නැගී ගොස් තත්ත්වය පරීක්ෂා කළහ. ආපසු පැමිණ ඔවුන් පැවසුවේ: “මෙම අශ්වයා ඉතා වේගවත්ය.” වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 2820)


05. තබූක් සටනට සහභාගි නොවී පසුබැසී සිටීමෙන් පසු කඅබ් ඉබ්නු මාලික් (රළි) නබි ﷺ තුමාණන් වෙත පැමිණ සලාම් පැවසීය. එවිට නබි ﷺ තුමාණන්ගේ මුහුණ ප්‍රීතියෙන් පුරපස සඳ මෙන් බැබළෙමින් තිබුණි. ඔවුන් සතුටු වූ විට ඔවුන්ගේ මුහුණ එලෙසම දිලිසෙන බව අපි දැන සිටියෙමු.(බුහාරි: 3556)


06. නබි ﷺ තුමාණන් ස්වභාවයෙන් හෝ හිතාමතා හෝ කිසිවිටෙකත් නරක වචන කතා නොකළහ. ඔවුන් නිතරම මෙසේ පැවසූහ: “ඔබ අතරින් හොඳම තැනැත්තා වන්නේ යහපත් චරිතයෙන් යුත් තැනැත්තාය.” වාර්තාකරු: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළි). (බුහාරි: 3559)


07. විකල්ප දෙකකින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලැබුණු විට, එය පාපයක් නොවේ නම් නබි ﷺ තුමාණන් සෑම විටම පහසු දෙය තෝරා ගත්හ. එය පාපයක් නම්, මිනිසුන් අතරින් එයින් වඩාත්ම දුරස් වූයේ ඔවුන්ය. තමන් වෙනුවෙන් කිසිවෙකුගෙන් පළි නොගත් ඔවුන්, අල්ලාහ්ගේ නීතිය උල්ලංඝනය වූ විට පමණක් යුක්තිය ඉටු කළහ. වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 3560)


08. “නබි ﷺ තුමාණන්ගේ අත්ලට වඩා මෘදු සේද රෙද්දක්වත් මම ස්පර්ශ කර නැත. ඔවුන්ගේ ශරීරයේ සුවඳට වඩා සුගන්ධවත් සුවඳක්ද මම ආඝ්‍රාණය කර නැත.” වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 3561)


09. නබි ﷺ තුමාණන් තිරය පිටුපස සිටින කන්‍යාවකටත් වඩා ලැජ්ජාශීලී වූහ. ඔවුන් යම් දෙයකට අකමැති වූ විට එය ඔවුන්ගේ මුහුණෙන්ම පැහැදිලි විය.
වාර්තාකරු: අබූ සඊද් අල්-කුද්රි (රළි). (බුහාරි: 3562)


10. නබි ﷺ තුමාණන් කිසිම ආහාරයක් නින්දා නොකළහ. කැමති නම් අනුභව කළහ, කැමති නැතිනම් අත්හැර දැමූහ. වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 3563)


11. නබි ﷺ තුමාණන් කතා කළේ ඉතා පැහැදිලිව සහ සෙමින්ය. එබැවින් ඔවුන්ගේ වචන ගණන් කිරීමට කැමති කෙනෙකුට ඒවා එකින් එක ගණන් කළ හැකි විය.
වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 3567)


12. නබි ﷺ තුමාණන්ගෙන් කිසියම් දෙයක් ඉල්ලා සිටි විට, “නැහැ” යන පිළිතුර ඔවුන් කිසිවිටෙකත් ලබා නොදුන්හ. වාර්තාකරු: ජාබිර් (රළි). (බුහාරි: 6034)


13. “මම අවුරුදු දහයක් නබි ﷺ තුමාණන්ට සේවය කළෙමි. එම කාලය තුළ ඔවුන් කිසිදා ‘ඇයි මෙය කළේ?’ හෝ ‘මෙය එසේ කළ යුතුව තිබුණා නොවේද?’ යැයි මට දොස් නොකීහ.” වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 6038)


14. ආයිෂා (රළි) තුමියගෙන් “නබි ﷺ තුමාණන් නිවසේ සිටින විට කුමක් කළේද?” යැයි විමසූ විට, ඇය මෙසේ පිළිතුරු දුන්නාය: “ඔවුන් තම පවුලේ අයට ගෙදර වැඩවලදී උපකාර කළහ. සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත් වූහ.”
වාර්තාකරු: අස්වද් ඉබ්නු යසීද් (රහ්). (බුහාරි: 6039)


15. නබි ﷺ තුමාණන් සෆිය්යා (රළි) තුමිය ඔටුවෙකු මත නැගීමට පෙර රෙද්දකින් ඇයට ආවරණයක් සකස් කළහ. පසුව තම දණහිස ඉදිරිපත් කළ අතර, ඇය එය මත පාදය තබා ඔටුවා මතට නැගියාය. වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 2235)


16. මානසික අපහසුතාවයකින් පෙළුණු කාන්තාවක් නබි ﷺ තුමාණන් වෙත පැමිණ, “අල්ලාහ්ගේ දූතයාණෙනි! මට ඔබ සමඟ කතා කළ යුතු අවශ්‍යතාවයක් ඇත” යැයි පැවසුවාය. එවිට ඔවුන්, “ඔබ කැමති වීථියක් පවසන්න. මම ඔබ සමඟ එහි ගොස් ඔබගේ අවශ්‍යතාව ඉටු කර දෙමි” යැයි පවසා, ඇයගේ අවශ්‍යතාව අවසන් වන තෙක් ඇය සමඟ සිටියහ. වාර්තාකරු: අනස් (රළි). (මුස්ලිම්: 4648)


17. මක්කා ජයග්‍රහණය කළ අවස්ථාවේ මක්සූම් ගෝත්‍රයේ කාන්තාවක් සොරකමක් කළාය. ඇය වෙනුවෙන් උසාමා ඉබ්නු සයිද් (රළි) මැදිහත් වූ විට, නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ නියම කළ දඬුවමක් සම්බන්ධයෙන් ඔබ මැදිහත් වන්නේද?” ඉන්පසු ජනතාව අමතා මෙසේ පැවසූහ: “ඔබට පෙර සිටි ජනතාව විනාශ වූයේ උසස් පෙළේ අය සොරකම් කළ විට ඔවුන්ව නිදහස් කර, දුර්වලයන්ට පමණක් දඬුවම් කළ නිසාය. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි! මුහම්මද්ගේ දියණිය ෆාතිමා සොරකම් කළේ නම් ඇගේ අතද මම කපා දමමි.” වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 3475)


18. නබි ﷺ තුමාණන්ගේ නිවසේ කිරි බඳුනක් තිබෙනු දැක, ඔවුන් අබූ හුරෙයිරා (රළි)ට “සුෆ්ෆාහි වාසය කරන අයව කැඳවාගෙන එන්න” යැයි පැවසූහ. ඔවුන් පැමිණීමට අවසර ඉල්ලා ඇතුළු වූහ. වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 6246)


19. අනස් ඉබ්නු මාලික් (රළි) කුඩා දරුවන් පසුකර යන විට ඔවුන්ට සලාම් පැවසූහ. පසුව ඔහු මෙසේ කීවේය: “නබි ﷺ තුමාණන් ද මෙලෙසම කළහ.”
වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 6247)


20. නබි ﷺ තුමාණන් යම් දෙයක් ප්‍රකාශ කළ විට, එය හොඳින් අවබෝධ වන පරිදි තුන්වරක් නැවත කියූහ. එසේම යම් පිරිසක් වෙත පැමිණි විට තුන්වරක් සලාම් පැවසූහ. වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 95)

21. නබි ﷺ තුමාණන්ගේ භාර්යාව වූ ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය පැවසුවාය: “නබි ﷺ තුමාණන්ගේ උගුරේ ඇතුළත පෙනෙන තරමට සිනාසෙන අයුරු මම කිසිදා දැක නැත. ඔවුන් නිතරම මෘදු සිනහවකින් යුතුව සිටියහ.”
වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 4828)


22. නබි ﷺ තුමාණන් මෙන් කෙටිවද, එහෙත් සම්පූර්ණවද සලාතය මෙහෙයවන ඉමාම්වරයෙකු පිටුපස මම කිසිදා සලාතය ඉටු කර නැත. සලාතය අතරතුර ළදරුවෙකුගේ හැඬීම ඇසුණහොත්, එම දරුවාගේ මව කලබලයට පත්වේ යැයි සිතා ඔවුන් සලාතය කෙටිකර අවසන් කළහ. වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 708)


23. අල්ලාහ්ගේ දූතයාණන් ﷺ මෙසේ ප්‍රාර්ථනා කළහ:
“අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මමද මනුෂ්‍යයෙකි. එබැවින් මම කිසියම් මුස්ලිම්වරයෙකුට බැණ වැදී ඇත්නම්, ඔහුට ශාප කර ඇත්නම් හෝ පහර දී ඇත්නම්, එය ඔහුට පව් කමා වීමටත් ඔබගේ කරුණාව ලැබීමටත් හේතුවක් බවට පත් කරනු මැනව.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (මුස්ලිම්: 6781)


24. නබි ﷺ තුමාණන් තම අතින් කිසිවෙකුට පහර දුන්නේ නැත. කිසිදු කාන්තාවකට හෝ සේවකයෙකුටද පහර දුන්නේ නැත. අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධයේදී හැර, කිසිවෙකුගෙන් පළි නොගත්හ. අල්ලාහ්ගේ නීතිය උල්ලංඝනය වූ විට පමණක් අල්ලාහ් වෙනුවෙන් යුක්තිය ඉටු කළහ. වාර්තාකරු: ආයිෂා (රළි). (මුස්ලිම්: 6195)


25. තුෆයිල් ඉබ්නු අම්ර් අද්-දව්සී (රළි) සහ ඔහුගේ පිරිස නබි ﷺ තුමාණන් වෙත පැමිණ, “දව්ස් ගෝත්‍රය ඉස්ලාමය ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ට එරෙහිව දුආ කරන්න” යැයි ඉල්ලා සිටියහ. එවිට නබි ﷺ තුමාණන් මෙසේ ප්‍රාර්ථනා කළහ:
“අහෝ අල්ලාහ්! දව්ස් ගෝත්‍රයට යහමඟ පෙන්වා ඔවුන් ඉස්ලාමයට ගෙන එනු මැනව.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 2937)


26. “අල්ලාහ්ගේ දූතයාණෙනි! දේවත්වයට හවුල් තබන්නන්ට ශාප කරන්න” යැයි නබි ﷺ තුමාණන්ගෙන් ඉල්ලා සිටි විට, ඔවුන් මෙසේ පැවසූහ:
“මම ශාප කරන්නෙකු ලෙස එවනු ලැබුවේ නැත. මම කරුණාවක් ලෙසම එවනු ලැබුවෙමි.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (මුස්ලිම්: 6778)


27. එක් ගැමි පුද්ගලයෙකු මස්ජිදය තුළ මුත්‍රා කළේය. සහාබාවරු ඔහු වෙත ඉක්මනින් ගිය විට, නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “ඔහුව නවත්වන්න එපා.” ඉන්පසු වතුර බාල්දියක් ගෙන්වා එම ස්ථානයට වත් කරන ලෙස ඔවුහු අණ කළහ. වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 6025)


28. යුදෙව්වන් පිරිසක් නබි ﷺ තුමාණන් වෙත පැමිණ “අස්-සාමු අලයිකුම්” (ඔබට මරණය වේවා) යැයි කීහ. එය තේරුම්ගත් ආයිෂා (රළි) ඔවුන්ට දැඩි ලෙස පිළිතුරු දුන්නාය. එවිට නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “ආයිෂා! මෘදු වන්න. අල්ලාහ් සියලු කාරණාවලදී මෘදු බව ප්‍රිය කරයි.” ඇය, “ඔවුන් පැවසූ දේ ඔබට ඇසුණේ නැද්ද?” යැයි ඇසූ විට, ඔවුන් මෙසේ පැවසූහ: “මම ‘ඔබටත් එසේම වේවා’ යැයි පිළිතුරු දුන්නෙමි.” වාර්තාකරු: ආයිෂා (රළි). (බුහාරි: 6024)


29. එක් පුද්ගලයෙක් නබි ﷺ තුමාණන් අමතා, “සියලු මැවීම් අතරින් උතුම්ම තැනැත්තාණෙනි!” යැයි කීවේය. එවිට නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ:
“එම ගෞරවය හිමි වන්නේ ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාටය.”
වාර්තාකරු: අනස් ඉබ්නු මාලික් (රළි). (මුස්ලිම්: 6287)


30. නබි ﷺ තුමාණන් එක් පුද්ගලයෙකුගෙන් ණයට ගත් ඔටුවෙකු ආපසු ලබා දීමට සූදානම් වූ විට, එම වයසේ ඔටුවෙකු සොයාගත නොහැකි වූ බැවින් ඊට වඩා හොඳ ඔටුවෙකු ලබා දෙන ලෙස තම සහාබාවරුන්ට අණ කළහ. එවිට එම පුද්ගලයා, “අල්ලාහ් ඔබටත් යහපතෙන් ප්‍රතිඵල දේවා” යැයි පැවසීය. නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “ඔබ අතරින් උතුම්ම අය වන්නේ ණය ඉතා හොඳ ආකාරයෙන් ආපසු ගෙවන අයයි.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 2305)


31. නබි ﷺ තුමාණන් බැණ වැදෙන, නරක වචන කතා කරන හෝ ශාප කරන අයෙකු නොවූහ. අප අතරින් කෙනෙකුට අවවාද කළ විට පවා ඔවුන් මෙසේ පවසන ලදී: “ඔහුට කුමක් වීද? ඔහුගේ නළල දූවිල්ලේ වැටේවා!” (එය දැඩි ශාපයක් නොව, අරාබි භාෂාවේ මෘදු අවවාදාත්මක ප්‍රකාශයකි.)
වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 6031)

32- අල්ලාහ්ගේ දූතයාණන් ﷺ නජ්රාන් ප්‍රදේශයේ ඝන දාරයක් සහිත සළුවක් පැළඳගෙන ගමන් කරමින් සිටියහ. එවිට එක් ගැමි මිනිසෙකු එම සළුව තදින් ඇද දැමීය. එතරම් තදින් ඇදීම නිසා සළුවේ දාරය නබි ﷺ තුමාණන්ගේ උරහිසේ සලකුණක් ඇති කළේය. ඉන්පසු ඔහු, “මුහම්මද්! අල්ලාහ් ඔබට ලබා දී ඇති ධනයෙන් මටත් දෙන ලෙස අණ කරන්න” යැයි කීවේය. එවිට නබි ﷺ තුමාණන් ඔහු දෙස සිනාසී, ඔහුට යමක් ලබා දෙන ලෙස අණ කළහ. වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 5809)


33- නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “මට එළුමස් කකුලක් හෝ උරහිස් කොටසක් තෑග්ගක් ලෙස ලබා ගැනීමට ආරාධනා කළහොත් මම එය පිළිගනිමි. එවැනි තෑග්ගක් මට දුන්නොත් මම එය සතුටින් භාර ගනිමි.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 2568)


34- නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “උහුද් කන්ද තරම් රත්තරන් මා සතුව තිබුණත්, ණයක් ගෙවීම සඳහා වෙන් කර තබන සුළු ප්‍රමාණයක් හැර, එයින් කිසිවක් මා සතුව තිබියදී දින තුනක් ගත වීම මට ප්‍රිය නොවේ.” වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (බුහාරි: 2389)


35- අන්සාර්වරුන්ගෙන් කිහිපදෙනෙක් නබි ﷺ තුමාණන්ගෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ට නැවත නැවතත් ලබා දුන්හ. අවසානයේ තමන් සතුව තිබූ සියල්ල ලබා දී අවසන් වූ විට නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “මා සතුව ඇති කිසිවක් ඔබට නොදී සඟවා තබන්නේ නැත. නමුත්, තම ගෞරවය රැක ගන්නා අයව අල්ලාහ් ගෞරවයෙන් ජීවත් කරවයි. අන් අයගෙන් අවශ්‍යතාවක් නොමැතිව සිටීමට උත්සාහ කරන අයව අල්ලාහ් ස්වයංපෝෂිත කරවයි. ඉවසීමට උත්සාහ කරන අයව අල්ලාහ් ඉවසිලිවන්තයන් බවට පත් කරවයි. ඉවසීමට වඩා උතුම් හා විශාල දානයක් කිසිවෙකුට ලබා දී නැත.” වාර්තාකරු: අබූ සඊද් අල්-කුද්රී (රළි). (බුහාරි: 1469)


36- අතා ඉබ්නු යසාර් (රහ්) පැවසුවේ: මම අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළි) වෙත ගොස්, “තව්රාතයේ නබි ﷺ තුමාණන් පිළිබඳ සඳහන් විස්තරය මට කියන්න” යැයි ඉල්ලා සිටියෙමි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය:

“අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි! අල්-කුර්ආනයේ සඳහන් නබි ﷺ තුමාණන්ගේ ඇතැම් ගුණාංග තව්රාතයේද සඳහන් වේ. එහි මෙසේ සඳහන්ය: ‘නබිවරයෙනි! සැබවින්ම අපි ඔබව සාක්ෂිකරුවෙකු, සුබාරංචි දන්වන්නෙකු, අනතුරු අඟවන්නෙකු සහ අකුරු නොදත් ජනතාවගේ ආරක්ෂකයෙකු ලෙස එවා ඇත්තෙමු. ඔබ මාගේ දාසයාද මාගේ දූතයාද වෙහිය. ඔබ සියලු කටයුතුවලදී අල්ලාහ් මත පූර්ණ විශ්වාසය තබන්නෙකි.’

තවද එහි නබි ﷺ තුමාණන් ගැන මෙසේද සඳහන් වේ:

‘ඔහු දැඩි හදවතක් ඇති අයෙකු නොවෙයි. රළු නොවෙයි. වෙළඳපොළවල කෑගසමින් ආරවුල් කරන අයෙකු නොවෙයි. නපුරට නපුරෙන් ප්‍රතිචාර නොදක්වයි. ඒ වෙනුවට සමාව දෙයි. අල්ලාහ් ඔහුගේ ජීවිතය අවසන් නොකරනුයේ ඔහු මඟින් වංක මාර්ගය සෘජු කරන තුරුය. ඔහු මඟින් මිනිසුන් ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි ප්‍රකාශ කරනු ඇත. එමඟින් අන්ධ ඇස්, බිහිරි කන් සහ වසා ඇති හදවත් විවෘත වනු ඇත.’” වාර්තාකරු: අතා ඉබ්නු යසාර් (රහ්). (බුහාරි: 2125)


37- ජරීර් (රළි) පැවසුවේ: “මම ඉස්ලාමය වැළඳගත් දින සිට නබි ﷺ තුමාණන් කිසි දිනෙක මට තම නිවසට ඇතුළු වීම වැළැක්වූයේ නැත. මාව දුටු සෑම අවස්ථාවකම ඔවුන් සිනහමුසු මුහුණින් මට මුහුණ දුන්හ.” වාර්තාකරු: ජරීර් (රළි). (බුහාරි: 3035)


38- නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “මට නම් කිහිපයක් තිබේ. මම මුහම්මද් (බොහෝ ප්‍රශංසාවට ලක් වූ තැනැත්තා) වෙමි. මම අහ්මද් (අල්ලාහ්ට වැඩියෙන් ප්‍රශංසා කරන තැනැත්තා) වෙමි. මම මාහී වෙමි. අල්ලාහ් මා මඟින් ප්‍රතික්ෂේපය විනාශ කරනු ඇත. මම හාෂිර් වෙමි. මිනිසුන් මාගේ නායකත්වය යටතේ එක්රැස් කරනු ලබනු ඇත. මම ආකිබ් වෙමි. එනම් මාගෙන් පසු කිසිදු නබිවරයෙකු නොපැමිණේ.” වාර්තාකරු: ජුබයිර් ඉබ්නු මුත්ඉම් (රළි). (බුහාරි: 4896)


39- අනස් ඉබ්නු මාලික් (රළි) පැවසුවේ: “අල්ලාහ්ගේ දූතයාණන් ﷺ මෙන් තම පවුලට ආදරය කළ වෙනත් කිසිවෙකු මම දැක නැත. ඔවුන්ගේ පුත් ඉබ්රාහීම් මදීනාවේ ග්‍රාමීය ප්‍රදේශයක කිරි මවක් ළඟ හැදී වැඩුණේය. නබි ﷺ තුමාණන් ඔහුව බැලීමට යන විට අපිද ඔවුන් සමඟ ගියෙමු. ඔවුන් නිවසට ඇතුළු වී දරුවා තම දෑතින් ගෙන සිපගෙන නැවත පැමිණියහ.” වාර්තාකරු: අනස් (රළි). (මුස්ලිම්: 4635)


40- අක්රාඉ ඉබ්නු හාබිස් (රළි) නබි ﷺ තුමාණන් තම මුනුබුරා හසන් (රළි) සිපගන්නා අයුරු දැක, “මට දරුවන් දසදෙනෙක් සිටිනවා. මම ඔවුන්ගෙන් කිසිවෙකුත් කිසිදා සිපගෙන නැහැ” යැයි පැවසීය. එවිට නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ: “කරුණාව නොදක්වන අයට කරුණාව නොදක්වනු ලැබේ.”
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළි). (මුස්ලිම්: 4637)


41- මදීනාවේ සාමාන්‍ය සේවිකාවක් වුවද, නබි ﷺ තුමාණන්ගේ අතින් අල්ලාගෙන, තම අවශ්‍යතාවය සඳහා කැමති ස්ථානයකට ඔවුන් රැගෙන යා හැකි විය. මෙයින් නබි ﷺ තුමාණන්ගේ අතිශය නිහතමානී බව හා සරලත්වය පැහැදිලි වේ.
වාර්තාකරු: අනස් (රළි). (බුහාරි: 6072)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *